ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක යනු කවුද?
[මෙය Who is Sri Lanka’s new President, Anura Kumara Dissanayake? යන මැයෙන් 2024 නොවැම්බර් 05 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සහ ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 21 වැනි දින ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසු, 1948 නිදහස ලැබූ දා සිට රට පාලනය කල සම්ප්‍රදායික පක්ෂ පරාජය කල මාක්ස්වාදී වාමාංශිකයෙකු, “ලෙනින්ට ආදරය කරන ජනාධිපතිවරයෙක්” සහ “ජනතාවාදී ජනාධිපතිවරයෙක්” ලෙස ඔහුව විස්තර කරන ලද ලිපි විශාල ප්‍රමානයක් දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
සිංහල ස්වෝත්තමවාදයේ ගිලී සිටින, ධනවාදය ආරක්ෂා කිරීමට කැප වූ ජවිපෙ මාක්ස්වාදය නියෝජනය කරන පක්ෂයක් ලෙස හෝ එහි නායක දිසානායක, ලෙනින් අගය කරන්නෙකු ලෙස හෝ ජනතාවගේ ජනාධිපතිවරයෙකු ලෙස සැලකිය හැකි ආකාරය පැහැදිලි කිරීමට කිසිදු ලේඛකයෙකු උත්සුක වූයේ නැත.
අතීතයේ දී, ජවිපෙහි ම මාධ්‍ය, ඔවුන්ගේ ධනේශ්වර ගැති ප්‍රතිපත්ති සහ ක්‍රියා සාධාරනීකරනය කිරීමට මාක්ස් සහ ලෙනින් සන්දර්භයෙන් උගුලුවා උපුටා දක්වා ඇත. ජවිපෙ ආධාරකරුවෝ එහි මැයි දින පෙලපාලිවල දී මාක්ස්, එංගල්ස්, ලෙනින් සහ විශේෂයෙන් ස්ටැලින් සහ එහි නායකයින්ගේ ඡායාරූප ඵලක රැගෙන සමාජවාදය සංකේතවත් කරන රතු කමිසවලින් සැරසී ගමන් කලහ.
යථාර්ථය නම්, මාක්ස්වාදයේ ප්‍රතිපක්ෂය නියෝජනය කරන ස්ටැලින් වැලඳ ගැනීමෙන් පෙන්නුම් කරන පරිදි, ජවිපෙ කිසිවිටෙකත් සැබෑ මාක්ස්වාදී පක්ෂයක් නොවීය. මෙවර මැයි දිනයේදී, ජනාධිපති ධූරයට තරග කිරීමට සූදානම් වන විට, ජවිපෙ රතු කමිස සහ ඡායාරූප පුවරු අතහැර දැමීය. ජනතා විමුක්ති පෙරමුන, එහි අතීත නායකයින් සහ දිසානායක, වචනයක හෝ විවේචනයකින් තොරව “මාක්ස්වාදීන්” ලෙස ඉදිරිපත් කරන අය, එක්කෝ දේශපාලනික වශයෙන් අඥානයින් ය; එසේ නොවේ නම්, හිතාමතාම වැඩකරන ජනතාව රැවටීමේ යෙදී සිටිති.
අද දවසේ මාක්ස්වාදය ට්‍රොට්ස්කිවාදය වන අතර එය නියෝජනය කරන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය ඇතුලු ලොව පුරා එහි ශාඛා විසින් ම පමනි. ලෝක සමාජවාදී විප්ලවය ප්‍රතික්ෂේප කරමින්, “තනි රටේ සමාජවාදය” යන ප්‍රතිගාමී ජාතිකවාදී න්‍යාය අනුගමනය කල, 1917 ඔක්තෝබර් විප්ලවයේ මිනී වල කැනූ ස්ටැලින්වාදයට එරෙහි සටනේ දී ට්‍රොට්ස්කිවාදය මාක්ස්වාදය ආරක්ෂා කර වර්ධනය කලේය.
1964 දී අගමැතිනි සිරිමා බන්ඩාරනායක යටතේ ධනේශ්වර සභාග ආන්ඩුවට ඇතුල් වූ ලංකා සමසමාජ පක්ෂය (ලසසප) සමාජවාදී ජාත්‍යන්තරවාදය පාවා දීමෙන් පසුව 1960 ගනන් අග භාගයේ දී ජවිපෙ මතු විය. ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගන්නා පක්ෂයක් විසින් කරන ලද පලමු පාවාදීම වූ ලසසප පාවාදීම, ජවිපෙ වැනි සුලු ධනේශ්වර රැඩිකල් කන්ඩායම්වලට සහ දෙමල සංවිධානවලට වර්ධනය වීමට දොර විවර කලේය.
ජවිපෙ පිහිටුවන ලද්දේ, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ බීජිං-ගැති කන්ඩායමෙන් කැඩී ගොස්, කැස්ත්‍රෝ, චේ ගෙවාරා සහ මාඕ සේතුං ගේ ගොවි ගරිල්ලාවාදයේ සාරසංග්‍රාහක මිශ්‍රනයක් වැලඳගත්, දිවයිනේ සිංහල බෞද්ධ බහුතරයේ සිංහල දේශප්‍රේමය හා අධිපතිවාදය සමඟ බැඳී සිටි කන්ඩායමක් විසිනි.
1971 දී 15,000 ක් මිය ගිය, ග්‍රාමීය සිංහල තරුනයන්ගේ ව්‍යසනකාරී නැගිටීමට මෙන්ම, 1980 ගනන් අග භාගයේ ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව දස දහස් ගනන් ග්‍රාමීය තරුනයින් ඝාතනයට දොර විවර කල ප්‍රතිගාමී ව්‍යාපාරයකට ජවිපෙ වගකිව යුතු විය. කෙසේ වෙතත්, පසුගිය දශක තුන පුරා, මෙම සුලු ධනේශ්වර සංවිධානය, ධනේශ්වර දේශපාලන සංස්ථාපිතය තුලට තරයේ ඒකාබද්ධ වී දක්ෂිනාංශික, අධිරාජ්‍ය-ගැති පක්ෂයක් බවට පරිවර්තනය වී ඇත.
ප්‍රගාඪ ආර්ථික හා සමාජ අර්බුදයක් මධ්‍යයේ, ධනේශ්වර පාලනයේ දිගුකාලීන පක්ෂ—එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) මේ වන විට කැබලි ගනනාවකට කැඩී ගොස් ඇත—සහ ඒවාට නායකත්වය දුන් පාලක පන්තියේ වංශාධිපති පරම්පරාව කෙරෙහි ජනතාව අතර තිබූ ගැඹුරු වෛරය ගසාකමින්, ජවිපෙ/ජාජබ, සංස්ථාපිත-විරෝධී පක්ෂයක් ලෙස ජනාධිපතිවරනයේදී පෙනී සිටියේය.
ඒ අතරම, දිසානායක සහ ඔහුගේ පක්ෂය, පාලක පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කරන බවට ඔවුනට සහතික වෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) දැඩි කප්පාදු න්‍යාය පත්‍රයට ඔහු යලි යලිත් සිය සහයෝගය ප්‍රකාශ කර ඇති අතර ඒ සඳහා අනුමැතිය දුන් එක්සත් ජනපද හා ඉන්දියානු නිලධාරීන් හමුවිය.
2022 දී, දරාගත නොහැකි සමාජ තත්වයන්ට එරෙහිව දිග්ගැස්සුනු මහජන නැගිටීමක්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට බල කල විට පාලක ප්‍රභූව ගැඹුරු කම්පනයකට ලක්විය. නව ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ක්‍රියාවට නංවම්න්, ඔවුනගේ ජීවන තත්වයන්ට වඩාත් ගැඹුරු ප්‍රහාරයක් එල්ල කරමින් පවතින තතු තුල, වැඩකරන ජනතාව තුලින් යලි මතුවන එවන් නැගිටීමක් යටපත් කිරීමේ මාධ්‍යයක් ලෙස ජවිපෙ දැක ගන්නා ධනපකි පංතියේ සැලකිය යුතු කොටසක් එය වෙත හැරී ඇත.
2022 නැගිටීම අතරතුර, ගැඹුරු “දේශපාලන අස්ථාවරත්වයක්” නිර්මානය කරමින් තිබූ “අරාජිකත්වය” මැඩපැවැත්වීම සඳහා එක්වන ලෙස සියලු පාර්ලිමේන්තු පක්ෂවලින් ඉල්ලා සිටිමින්, දිසානායක, මහජනතාව කෙරෙහි ජවිපෙ හි සතුරුකම අවධාරනය කලේය. මහජන ව්‍යාපාරය පීලි පැන්නවීමට සහ එය පාර්ලිමේන්තු උපාමාරුවලට යටත් කිරීමේ මාධ්‍යයක් ලෙස ඔහු අන්තර්වාර පාලනයක් යෝජනා කලේය. එහි ප්‍රතිඵලය වූයේ එක්සත් ජනපද-ගැති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පක්ෂපාතී—කිසිදු මහජන සහයෝගයක් නැති පුද්ගලයෙකු වන—රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් කර ගැනීමයි.
ජනාධිපතිධුරය දිනාගත් දිසානායක, බහුතරයක් දිනාගෙන “ශක්තිමත් ආන්ඩුවක්” පිහිටුවීමේ අරමුනින් හදිසි පාර්ලිමේන්තු මැතිවරනයක් කැඳවා තිබේ. ජවිපෙ, තම ආන්ඩුවේ මර්දනීය අවි ගබඩාවේ කොටසක් ලෙස, කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) රඳවා ගන්නා බව දැනටමත් අවධාරනය කර ඇත.
නව ආන්ඩුවේ කම්කරු පන්ති-විරෝධී ස්වභාවය පිලිබඳ පැහැදිලිම ඇඟවුම, දිසානායකගේ දකුනු-අත බඳු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුන ආරච්චි, පසුගිය සතියේ දී ලබා දුන්නේය. මැතිවරනයෙන් පසු එහි පලමු ක්‍රියාවන්ගෙන් එකක් වන්නේ, පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති විසුරුවා හැර, “වර්ජන” යනු අතීතයට අයත් දෙයක් බවට පත් කිරීම බව ඔහු ප්‍රකාශ කලේය. මෙම පියවර ඉලක්ක කර ඇත්තේ, වෘත්තීය සමිති නිලධරය වෙත නොව, කම්කරු පන්තියටත්, එහි පන්ති අවශ්‍යතා සඳහා සටන් කරනුවස්, කාර්මික ක්‍රියාමාර්ගවල නියැලීමට සහ සංවිධානය වීමට එයට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියටත් එරෙහිව ය.
මෙම ප්‍රකාශයන් සහ ක්‍රියාමාර්ග, මාක්ස්වාදය සමග කිසිදු සම්බන්ධයක් නොමැති අතර, එය වඩාත් සමාන වන්නේ, තම මහා ව්‍යාපාරික පිලිවෙත්වලට එරෙහි කම්කරු පන්තියේ ඕනෑම ප්‍රතිරෝධයක් තලා දැමීම සඳහා බලයට පැමිනීමට සූදානම් වන ෆැසිස්ට් පක්ෂයකට ය.
දිසානායක යනු කවුද?
අනුර දිසානායක යනු ජීවිත-කාලීන ජවිපෙ සාමාජිකයෙකි. ඔහු ජවිපෙ වෙත ආකර්ෂනය වූයේ, 1987 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව එහි උග්‍ර ඉන්දීය-විරෝධී, සිංහල ස්වෝත්තමවාදී ව්‍යාපාරය මධ්‍යයේ ය. ඔහු, ග්‍රාමීය උතුරු-මැද පලාතේ පිහිටි තඹුත්තේගම මහා විද්‍යාලයේ, 19 හැවිරිදි අපොස උසස් පෙල සිසුවෙකු ව සිටියදී, තම ඥාති සොහොයුරෙකු වන සුනිල් අයියා හරහා ජවිපෙ හි සමාජවාදී ශිෂ්‍ය සංගමයට (සශිසං) සම්බන්ධ විය.
තම ආන්ඩුව, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව දියත් කරන ලද වාර්ගික යුද්ධය මගින් උග්‍ර කෙරුනු ගැඹුරු වන අර්බුදය මධ්‍යයේ, 1987 ජූලි මාසයේදී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සමග ගිවිසුමට අත්සන් තැබීය. ගිවිසුම යටතේ, එල්ටීටීඊය නිරායුධ කිරීම සඳහා, දිවයිනේ උතුරට හා නැගෙනහිරට ඉන්දියානු හමුදා යවන ලද අතර පලාත් සභා ක්‍රමයක් ස්ථාපිත කිරීමෙන් දෙමල ප්‍රභූන්ට සීමිත බලතල ලබා දිය යුතු විය.
වාර්ගික යුද්ධය සඳහා එහි අඛන්ඩ උද්‍යෝගිමත් සහයෝගයේ දී, ජවිපෙ, ජාතිකවාදයේ සහ ස්වෝත්තමවාදයේ පදනම මත ගිවිසුමට දැඩි ලෙස විරුද්ධ වූ අතර එය “මව්බිම පාවාදීමක්” බව ප්‍රකාශ කලේය. “ඉන්දියානු අධිරාජ්‍යවාදය” හෙලා දුටු ජවිපෙ, බලය බෙදීමෙන් ජාතිය දෙකඩ කෙරෙනු ඇතැ යි පැවසීය.
1983 ම්ලේච්ඡ දෙමල විරෝධී සංහාරය උසිගන්වා සමස්ත සිවිල් යුද්ධය අවුලුවාලූ බවට ව්‍යාජව චෝදනා කරමින්, ජයවර්ධනගේ එජාප තන්ත්‍රය ජූලි මාසයේදී ජවිපෙ තහනම් කර තිබුනි. යථාර්ථය නම්, කොලඹ සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල දෙමල විරෝධී ප්‍රචන්ඩත්වයේ රැල්ල අවුලුවාලනු ලැබුවේ එජාප මැරයන් විසිනි.
ගිවිසුමට ප්‍රතිචාර වශයෙන්, ජවිපෙ, “මව්බිම නැතිනම් මරනය!” යන සටන් පාඨය යටතේ කොලඹ ආන්ඩුවට එරෙහිව ෆැසිස්ට්වාදී දේශප්‍රේමී ව්‍යාපාරයක් දියත් කලේය. එහි රහසිගත හමුදා අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය (දේජව්‍යා) විසින් විරෝධතා සංවිධානය කෙරුනි. ඔවුන්ගේ උද්ඝෝෂනයට විරුද්ධ වූ දේශපාලන විරුද්ධවාදීන්, වෘත්තීය සමිති සහ ශිෂ්‍ය නායකයින් සහ කම්කරුවන් දහස් ගනනක් ජවිපෙ තුවක්කුකරුවන් විසින් ඝාතනය කරන ලදී.
සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) සාමාජිකයින් තිදෙනෙකු—ආර්.ඒ. පිටවල 1988 නොවැම්බර් 12; පී.එච්.ගුනපාල 1988 දෙසැම්බර් 23 දින; සහ 1989 ජූනි 24 දින ග්‍රේෂන් ගීකියනගේ—ජවිපෙ විසින් ඝාතනය කරන ලදී. විකොස, ගිවිසුමට විරුද්ධ වූ අතර, එය කම්කරු පන්තියට එරෙහිව යොමු කරන ලද බවට අනතුරු අඟවමින්, සමාජවාදී පිලිවෙත් මත සිංහල හා දෙමල කම්කරුවන්ගේ එකමුතුව කැඳුවුම් කලේය.
ජයවර්ධන සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රනසිංහ ප්‍රේමදාස, ජවිපෙට එරෙහිව පමනක් නොව, ග්‍රාමීය තරුනයින් අතර පුලුල්ව පැතිරුනු නොසන්සුන්තාව මැඩපැවැත්වීම ඉලක්ක කරගත් භීෂනයක් මුදා හැරීමේ කඩතුරාව ලෙස ජවිපෙ ව්‍යාපාරය ගසාකෑහ. හමුදාව සහ එහි ඝාතක කල්ලි විසින්, බොහෝ විට, ඉතාමත් බිහිසුනු ආකාරයෙන්, තරුනයින් 60,000 ක් පමන ඝාතනය කරන ලදී.
ජනතා විමුක්ති පෙරමුනේ නායක රෝහන විජේවීර, තවත් දේශපාලන මන්ඩල නායකයින් 13 දෙනෙකු සහ ප්‍රාදේශීය නායකයින් සහ ක්‍රියාකාරීන් සිය ගනනක් ඝාතනය කෙරුනි. කැපී පෙනෙන ව්‍යතිරේකයක් වූයේ දේශපාලන මන්ඩල සභික සෝමවංශ අමරසිංහ රටින් පලා ගොස් පක්ෂයේ අනාගත නායකයා බවට පත් වීමයි.
විකොස සහ හජාජාක, විජේවීර සහ අනෙකුත් නායකයින් ඝාතනය කිරීම සහ ග්‍රාමීය තරුන සංහාරය හෙලා දුටු අතර ප්‍රේමදාස ආන්ඩුවේ මිනීමරු රාජ්‍ය මර්දනයට එරෙහිව ජාත්‍යන්තර උද්ඝෝෂනයක් දියත් කලේය.
දිසානායකගේ පවුල ද, තවත් දස දහස් ගනන් ගම්බද පවුල්වල අය මෙන් ම, ආරක්ෂක අංශවල සහ ඔවුන්ට සම්බන්ධ මැරයන්ගේ හිරිහැරවලට හා තර්ජනවලට මුහුන දුන්නේය. කෙසේ වෙතත්, දිසානායක එම වකවානුවේ කරමින් සිටියේ කුමක්ද යන්න තවමත් නොදනිමු.
ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියේ හැඳින්වීමක සටහන් වන්නේ, ඔහු “එවක ආන්ඩුව විසින් අත්සන් කරන ලද ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව පුලුල්ව පැතිරුනු විරෝධතාවලට සහභාගී වූ” බව පමනි. ජවිපෙ/දේජව්‍යා රට පුරා සිය ප්‍රචන්ඩ ක්‍රියා සිදු කල බැවින්, ඔහු එහි සමාජිකයෙකු වූයේ අරවින්ද යන අන්වර්ථ නාමයෙනි.
දිසානායක සහ ජවිපෙ, මිනීමරු, ස්වෝත්තමවාදී ව්‍යාපාරයෙන් ඈත් වීමට උත්සාහ කරන අතරම, සෑම විටම එයට නායකත්වය දුන් අය සහ සහභාගී වූවන් “දේශප්‍රේමී වීරයන්” ලෙස හුවා දක්වයි. එම කාලය තුල දිසානායකගේ ක්‍රියාකාරකම් සැබැවින්ම මොනවාද?
ගිවිසුමට එරෙහි ජවිපෙ දුෂ්ට ව්‍යාපාරය, සියල්ලටත් වඩා, කම්කරු පන්තියෙන් “මව්බිමට” එල්ල වන ඕනෑම තර්ජනයකට ප්‍රතිචාර වශයෙන් නව ආන්ඩුව භාවිතා කරන ක්‍රමෝපායන් පිලිබඳ අනතුරු ඇඟවීමකි.
දිසානායක සහ ජවිපෙ ප්‍රතිසංවිධානය
එජාප ආන්ඩුවේ භීෂන සමය පහව යද්දී, 1992 දී භෞතික විද්‍යා විෂය ධාරාව හැදෑරීමට කැලනිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට හැකියාව ලැබූ දිසානායක, ජවිපෙ ශිෂ්‍ය අංශයේ ක්‍රියාකාරිකයෙකු බවට පත්විය.
1990 මාර්තු මාසයේදී, බලගතු එජාප සාමාජිකයෙකුගේ සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගේ සහාය ඇතිව රටින් පලා ගොස් ලන්ඩනයේ පිටුවහලේ ජීවත් වූ අමරසිංහ ඔහු හා සම්බන්ධ විය. ජවිපෙ දැඩි ලෙස සතුරු වූ මූලාශ්‍රවලින්, තමාට එවැනි උපකාර ලැබුනේ කෙසේදැයි අමරසිංහ කිසිදා පැහැදිලි කර නැත.
අමරසිංහ සිටියේ, පක්ෂය පුනර්ජීවනය කිරීමේ අරමුනින්, ජවිපෙ කොටස් එක්‍රැස් කරමිනි. ඊලඟ දශක දෙක තුල, ජවිපෙ විවෘතව ම ධනේශ්වර-ගැති දිශානතියක් අනුගමනය කරමින්, කොලඹ දේශපාලන සංස්ථාපිතය තුලට ඒකාග්‍ර වීමත් සමග, දිසානායක, පක්ෂය තුල ඔහුගේ නැගීම සහතික කරමින් අමරසිංහගේ දකුනත බවට පත් විය.
මෙම ක්‍රියාවලිය, 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් කූටප්‍රාප්තියට පත් වූ ස්ටැලින්වාදයේ අර්බුදය මධ්‍යයේ, ජාත්‍යන්තරව සිදුවෙමින් පැවති දේශපාලන පරිවර්තනයන් පිලිබිඹු කලේය. ලොව පුරා “සන්නද්ධ අරගල” මත පදනම් වූ ජාතිකවාදී සුලු ධනේශ්වර සංවිධාන, ව්‍යාපාරික ඇඳුම් සහ පාර්ලිමේන්තුවේ හෝ සංගත මන්ඩලවල ආසන සඳහා සිය ස්වයංක්‍රීය රයිෆල් සහ කැලෑ ඇඳුම් හුවමාරු කර ගනිමින් සිටියහ.
විශේෂයෙන්ම 1993 මැයි දිනයේ, එල්ටීටීඊය විසින් ජනාධිපති ප්‍රේමදාස ඝාතනය කිරීමෙන් පසු ඇති වූ වාර්ගික යුද්ධයේ ව්‍යාප්තියත් සමඟ කම්කරුවන් හා තරුනයන් අතර විරුද්ධත්වය සීමා කිරීමේ සහ මැඩපැවැත්වීමේ ප්‍රයෝජනවත් මෙවලමක් ලෙස පාලක පන්තියේ කොටස් ද ජවිපෙ වෙත හැරී ගත්හ. චන්ද්‍රිකා කුමාරතුරංගගේ නායකත්වය යටතේ ශ්‍රීලනිප ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමට සූදානම් වීම, ඒ අතර ප්‍රමුඛ විය.
විමල් වීරවංශ සහ ටිල්වින් සිල්වා සමග එක්ව, මෙම මාරුවට පූර්න පිටුබලය දීමත්, එහි පෙර පැවති අධිරාජ්‍ය විරෝධී කයිවාරු ඉවත දැමීම සහ අමරසිංහගේ පිටුබලයත් සමග ජවිපෙ නායකත්වය තුල දිසානායක ශීඝ්‍රයෙන් ඉහල නැංගේය.
1997 දී දිසානායක ජවිපෙ මධ්‍යම කාරක සභාවට ද ඊලඟ වසරේ පක්ෂයේ තීරන ගැනීමේ ඉහලම ආයතනය වන දේශපාලන මන්ඩලයට ද උසස් කරන ලදී. 2000 දී ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු ඉක්මනින්ම එහි ප්‍රධාන කථිකයා බවට පත්විය.
2001 නොවැම්බරයේදී ශ්‍රී ලංකාවට ආපසු පැමිනීමට පෙර, Lacnet.org වෙබ් අඩවිය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී, අමරසිංහ, ස්ටැලින්වාදයෙන් නිපන් ජවිපෙ හි පැරනි මාක්ස්වාදී වාගාලාපයන් එය විසින් අත්හැර දැමීම සමිබන්ධයෙන් ගසාබසා දැමීය. “19 වැනි සියවසේ අගභාගය වන විට මාක්ස්වාදය පැරනි විලාසිතාවක් බවට පත් වී තිබුනා” යැයි ඔහු ප්‍රකාශ කලේය. “අපි පරන තාලේ මාක්ස්වාදීන් නෙවෙයි. අපට නව අදහස් සපයන වෙනත් ඕනෑම ‘වාදයක’ බලපෑමකට අපි විවෘතයි.”
පක්ෂයේ අතීත අධිරාජ්‍ය විරෝධී පූච්චානම් ඉවත දමමින්, ජවිපෙ නායක අමරසිංහ, 2001 සැප්තැම්බර් 11 ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව “ත්‍රස්තවාදයට එරෙහි සටන” ප්‍රකාශයට පත් කිරීම අගය කරමින් සහ ශ්‍රී ලංකාවේ “එල්ටීටීඊ ත්‍රස්තවාදයට” එරෙහිව සටන් කිරීමට බුෂ්ගේ සහාය ඉල්ලා සිටිමින් එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් වෙත ලිවීය.
2001 දෙසැම්බර් පාර්ලිමේන්තු මැතිවරනය සඳහා ජවිපෙ මැතිවරන ප්‍රකාශනය කියා සිටියේ, ශ්‍රී ලංකාව, බුෂ්ගේ “ත්‍රස්තවාදයට එරෙහි සටන” සමග පෙලගැසී, “කොටි [එල්ටීටීඊ] ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් අතුගා දැමීම” සඳහා “මෙම වාසිදායක තත්වය මුලුමනින්ම ප්‍රයෝජනයට ගතයුතු” බවයි.
ආයෝජකයින් සඳහා ත්‍යාගශීලී බදු විරාම ඇතුලු සහන ලබා දෙන බවට පොරොන්දු වෙමින් සහ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් මගින් ඒවාට එරෙහි මහජන විරුද්ධත්වය —එනම්, විශේෂයෙන්ම, සංගත ප්‍රභූවෙන් මතුවන විරුද්ධත්වය— අවුලුවා නොගත යුතු බව අවධාරනය කරමින් ජවිපෙ වෙලඳපොල ගැති දිශානතිය ද ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පැහැදිලි කර ඇත. බිස්නස් ටුඩේ සමඟ සම්මුඛ සාකච්ඡාවකදී, ටිල්වින් සිල්වා “ශ්‍රම බලකාය අතර දැඩි නොසන්සුන්තාවක්” ගැන අනතුරු ඇඟවූ අතර, ඉහල ආර්ථික වර්ධනය සඳහා ආදර්ශයක් ලෙස, කම්කරු පංතිය දැඩි මර්දනයකට යටත්කර ඇති චීන පාලන තන්ත්‍රය ප්‍රවර්ධනය කලේය.
ජවිපෙ නායකයෝ, 1994 ජනාධිපතිවරනයේදී චන්ද්‍රිකා කුමාරතුංගට සහාය දැක්වීමට ගිවිසුමක් අත්සන් කරමින්, තමන්ගේම අපේක්ෂකයා ඉවත් කර ගත්තේ, අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට කුමාරතුංග පොරොන්දු වූ බව කියමිනි; එහෙත් බලයට පත්වීමෙන් පසු ඇය එය නොතකා හරින ලදී.
ජවිපෙ කුමාරතුංග සමග පෙල ගැසුනේ, ඇගේ ආන්ඩුවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එජාපයට පලායාම හේතුවෙන් එයට ආන්ඩුවක් පිහිටුවීමට හැකිවීමෙන් පසුවය. 2003 නොවැම්බරයේදී, ජවිපෙ පීඩනය යටතේ, ජනාධිපති කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂ කැබිනට් මන්ඩලයෙන් ප්‍රධාන අමාත්‍යාංශ තුනක් පැහැරගෙන, පසුව 2004 මාර්තු මාසයේදී එම ආන්ඩුව නෙරපා හරින ලදී.
2004 අප්‍රේල් පාර්ලිමේන්තු මැතිවරනයට තරඟ කිරීම සඳහා නව මැතිවරන සන්ධානයක් වන එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) පිහිටුවීමට ජවිපෙ, ශ්‍රීලනිපය සමග එක් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගෙන ජනතා විමුක්ති පෙරමුන ආසන 39 ක් ලබා ගැනීමෙන් පසුව එයට අමාත්‍ය ධුර හතරක් ඊට හිමි විය.
එහි දී, කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය ධුරයට දිසානායක ද, විජිත හේරත්, කේ.ඩී. ලාල්කාන්ත සහ චන්ද්‍රදාස විජේසිංහ පිලිවෙලින් සංස්කෘතික කටයුතු, ග්‍රාමීය ආර්ථිකය සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරුන් ලෙස ද පත්වූහ. ජනතා විමුක්ති පෙරමුනේ තවත් මන්ත්‍රීවරුන් හතර දෙනෙකු එම අමාත්‍යාංශවල නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාගත්හ.
එල්ටීටීඊය සමග සාම ගිවිසුමකට එලැඹීමට එජාපය ප්‍රමුඛ ආන්ඩුව දැරූ උත්සාහයන් යටපත් කරනුවස්, කුමාරතුංග විසින් කලින් අත්හිටුවා තිබූ ජාමූඅ හි ඇප නය ලබා ගැනීම සඳහා ඇගේ ආන්ඩුව මංමුලා සහගත ප්‍රයත්නයක නිරත විය.
කුමාරතුංග, ජාමූඅ හි කප්පාදු පැනවීමට තම සූදානම ඇඟවුම් කරමින්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මිල සහනාධාර ඉවත්කොට වැඩ කරන ජනතාව ඉතා දුෂ්කර තත්වයකට ඇද දැමුවාය. පෙට්‍රල්, පිසුම් ගෑස්, රටේ ප්‍රධාන ආහාරය වන සහල් සහ පිටි කිරි යන මේ සියල්ලේ මිල වැඩි කෙරුනු මෙම පියවර වලට ජවිපෙ විරුද්ධ නොවුනි. ග්‍රාමීය වැව් 1000 ක් ප්‍රතිසංස්කරනය කිරීම, ගොවීන් සහ ධීවරයින් සඳහා පහසුකම් සැලසීම ගැන ජවිපෙ පම්පෝරි ගැසූ නමුත් කිසිවක් ඉටු වූයේ නැත.
දිවයිනේ දකුනු වෙරල තීරයෙන් වැඩි කොටසක් විනාශයට පත්කල 2004 දෙසැම්බර් සුනාමියෙන් පසු, ජවිපෙ, වර්ගවාදී පදනමක් මත, කුමාරතුංග සමග ගැටුමකට පැමිනියේය. විශේෂයෙන්ම, දෙමල පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් සැලසුම් කිරීම ඇතුලුව, 2004 දෙසැම්බර් සුනාමියෙන් විපතට පත් වූවන් සඳහා අධාර ලබා දීමට යෝජනා කෙරුනු “පශ්චාත් සුනාමි මෙහෙයුම් කලමනාකරන ව්‍යුහය (පීටොම්ස්)’, “එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට” ප්‍රතිලාභ ලබා දීමක් බව ප්‍රකාශ කරමින්, ජනතා විමුක්ති පෙරමුනේ ඇමැතිවරු ආන්ඩුවෙන් ඉවත් වූහ.
2005 අවසානයේ, ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ, එල්ටීටීඊය සමඟ සටන් විරාම ගිවිසුම අවසන් කරන බවට ප්‍රතිඥා දීමෙන් පසු, ඔහු සමඟ ජවිපෙ තවත් ගිවිසුමකට එලැඹුනි. දිසානායක අනෙකුත් ජවිපෙ නායකයන් සමග රාජපක්ෂගේ ජයග්‍රහනය සඳහා උද්ඝෝෂනය කල නමුත් ආන්ඩුවට එකතු වූයේ නැත.
පාර්ලිමේන්තුවේදී ඔවුහු ඔහුගේ යුද අයවැයට සහ මර්දනකාරී හදිසි නීති රෙගුලාසි දීර්ඝ කිරීමට සහාය දුන්හ. කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (පීටීඒ) යලි බලාත්මක කරන ලෙස ජවිපෙ ඔහුට බලපෑම් කල අතර යුද්ධයේ නාමයෙන් පන්ති අරගලය යටපත් කිරීමට උදව් කලේය.
2008 මැයි මාසයේදී විමල් වීරවංශ රාජපක්ෂ ආන්ඩුවට එකතුවීමෙන් පසු, පක්ෂය ඔහු නෙරපා හැරීමත් සමඟ, ජවිපෙ පාර්ලිමේන්තු කන්ඩායම් නායකයා බවට දිසානායක පත් විය. යුද්ධයේ අවසන් මාසවල දස දහස් ගනනක් සිවිල් වැසියන්ට එරෙහිව මිලිටරිය විසින් සිදු කරන ලද යුද අපරාධ ආරක්ෂා කරන අතරම, 2009 මැයි මාසයේ එල්ටීටීඊයේ පරාජයෙන් පසුව, ජවිපෙ රාජපක්ෂගෙන් ඈත් විය.
2010 ජනාධිපතිවරනයේදී ජවිපෙ එජාපය සමග සන්ධානගත වූයේ ඔවුන්ගේ “පොදු අපේක්ෂකයා” ලෙස හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට සහාය දීම සඳහා ය. මිලිටරියේ කුරිරුකම් සම්බන්ධයෙන්, රාජපක්ෂ ආන්ඩුවේ හමුදාපතිවරයා ලෙස, ඔහුට ඇති වගකීම නොතකා, ජවිපෙ “ප්‍රජාතන්ත්‍රවාදී විකල්පය” ලෙස ෆොන්සේකාව ප්‍රවර්ධනය කලේය.
දිසානායක පක්ෂ නායකයා වෙයි
1992 සිට පක්ෂයට නායකත්වය දුන් අමරසිංහ වෙනුවට, 2014 පෙබරවාරි මාසයේදී දිසානායක පක්ෂ නායකත්වයට පත් විය. මධ්‍යම කාරක සභාවේ බහුතරය දිසානායකට පක්ෂ වූ බව වාර්තා වූ අතර අමරසිංහට විශ්‍රාම යාමට බල කෙරුනි.
ජවිපෙ යනු, අතීත ප්‍රචන්ඩත්වය අත්හැර “ජාතික සමගිය” වෙනුවෙන් පෙනී සිටින, ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ගෞරවනීය පක්ෂයක් ලෙස හුවා දැක්වීමේ ප්‍රයත්නයක් සමඟ මෙම නායකත්ව වෙනස සම්බන්ධ කෙරුනි. මහා ව්‍යාපාර සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනය සඳහා වන සහයෝගය නැවත වරක් ඉදිරියට පැමිනියේය.
දිසානායක, 2014 මැයි මාසයේ ලන්ඩනයේ පැවති සිංහල ඩයස්පෝරාවේ රැස්වීමක් අමතමින්, 1988-1990 කාලය තුල ගිවිසුමට එරෙහි ස්වෝත්තමවාදී ව්‍යාපාරයේ දී ජවිපෙ ප්‍රචන්ඩත්වය සම්බන්ධයෙන් පක්ෂය වෙනුවෙන් පලමු වරට සමාව අයැද සිටියේය. කෙසේ වෙතත්, ඒ හුස්මටම, එය හුදෙක් එජාප ආන්ඩුවේ මර්දනයට ප්‍රතිචාර දැක්වීමක් යන බොරුව පවසමින් ඔහු පක්ෂයේ ක්‍රියාව සාධාරනීකරනය කලේ ය.
ජනවාර්ගික ගැටුම් නිර්මානය කිරීම සම්බන්ධයෙන් දිසානායක නරුම ලෙස පසුගිය ආන්ඩුවලට දොස් පැවරූ අතර, එය සත්‍යයක් වුවද, එම බොහෝ ආන්ඩුවලට පිටුබලය දීමේ ජවිපෙහිම භූමිකාව සහ “එල්ටීටීඊ ත්‍රස්තවාදයට” එරෙහිව නිර්දය යුද්ධයක් සඳහා වූ එහි ඉල්ලීම හිතාමතාම වසන් කලේය.
සිංහල වර්ගවාදය, දූෂනය සහ ඒකාධිපති පාලනය වෙනුවෙන් රාජපක්ෂට පහර දෙන අතර, ජවිපෙ සහ එහි නව නායකයා, රාජපක්ෂ නෙරපා හැරීමේ වොෂින්ටනයේ පිටුබලය ලත් කුමන්ත්‍රනයට දක්ෂිනාංශික එජාපය සමඟ එක් විය. ජ්‍යේෂ්ඨ ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන, රාජපක්ෂ සමග හවුල බිඳ දමමින්, එජාප ප්‍රමුඛ සන්ධානයක පිටුබලය ඇතිව, 2015 ජනවාරියේ ජනාධිපතිවරනය ජයග්‍රහනය කලේය. එල්ටීටීඊයට එරෙහි රාජපක්ෂගේ යුද්ධයට එක්සත් ජනපදය සහාය දුන් නමුත්, මූල්‍ය ආධාර සහ ආයුධ සඳහා බීජිං දෙසට වූ ඔහුගේ නැඹුරුවට සතුරු විය.
ජවිපෙ, සෘජුවම සිරිසේනට ඡන්දය දෙන ලෙස ඉල්ලා නොසිටි මුත්, රාජපක්ෂ නෙරපා හරින ලෙස බලකරමින් ඝෝෂාකාරී මැතිවරන ව්‍යාපාරයක් දියත් කලේය. ඡන්ද බෙදී නොයනුවස්, ජවිපෙ, තමන්ගේම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කලේ නැත.
2014 දෙසැම්බර් 1 දා ඩේලි මිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් දිසානායක මෙසේ ප්‍රකාශ කලේය: “[රාජපක්ෂගේ] මෙම ඒකාධිපතිත්වය පෙරලා දැමීමට සියලුදෙනාම එක්ව ක්‍රියා කල යුතුය… [එසේ වුවද] විපක්ෂය ජයග්‍රහනය කලහොත් පිහිටුවනු ලබන ආන්ඩුවක බහුතර බලය අප නොවනු ඇත.” ඔහු, “[එජාප නායක] රනිල් (වික්‍රමසිංහ) අගමැති වීම ගැන අපට ප්‍රශ්නයක් නැතැ” යි විශේෂයෙන් අවධාරනය කලේය:
රාජපක්ෂ නෙරපා හැරීමට එක්සත් ජනපදය යෙදූ පීඩනය ගැන සඳහන් කරමින් දිසානායක පැවසුවේ, “ජාත්‍යන්තරය තුල හුදකලා වීමේ අවදානම,” විසඳිය යුතු එක් ගැටලුවක් වන බවයි.
ජනතා විමුක්ති පෙරමුන මැතිවරනයෙන් පසු ආන්ඩුවට එකතු වුයේ නැත. කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මැතිවරනය අවසන් වන තුරු ඔහුගේ සුලුතර ආන්ඩුවට මුක්කු ගැසීමට සිරිසේන විසින් පත් කරන ලද 13 දෙනෙකුගෙන් යුත් ජාතික විධායක සභාවට, දිසානායක පත් කරන ලදී. ජවිපෙ නායකයා, සිරිසේන සහ අගමැති බවට පත් වූ වික්‍රමසිංහගේ යහපාලන මවාපෑමට ප්‍රශංසා කල අතර ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය හදිසියේ වොෂින්ටනය දෙසට මාරුවීම ගැන කිසිදු තැකීමක් නොකලේය.
සිරිසේන-වික්‍රමසිංහගේ “ජාතික එකමුතුව” ආන්ඩුව කම්කරුවන්, ශිෂ්‍යයන් සහ ගම්බද දුගීන් අතර පුලුල්ව පැතිරුනු විරෝධය අවුලුවාලමින් කුරිරු කප්පාදු වැඩපිලිවෙලක් ක්‍රියාවට නැංවීය. ජවිපෙ ඉන් පසුව පමනක්, ආන්ඩුව කෙරෙහි විවේචනාත්මක ආකල්පයක් ගන්නා අතරේම, එහි පාලනයට තර්ජනයක් වීම වැලැක්වීම සඳහා කම්කරු අරගල අවහිර කලේය.
2019 පාස්කු ඉරිදා, පල්ලිවලට සහ සුඛෝපභෝගී හෝටල්වලට අයිඑස්අයිඑස් පිටුබලය ලත් ඉස්ලාමීය කන්ඩායමක් විසින් එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය, ජවිපෙ සහ දිසානායකගේ අතීත වර්ගවාදී දේශපාලන මවාපෑම් පැහැදිලි ලෙස හෙලිදරව් කලේය. දිසානායක, පාර්ලිමේන්තුවේදී කතා කරමින් මුස්ලිම් “ත්‍රස්තවාදය” හෙලා දුටුවා පමනක් නොව, “මෙම විනාශකාරී කලලය මුස්ලිම් ගර්භාශය තුල වර්ධනය වෙමින් පවතී” යැයි පවසමින් සමස්ත මුස්ලිම් ප්‍රජාවටම දොස් පැවරීය.
ජවිපෙ නායකත්වය, 2019 අගෝස්තු මාසයේදී, එහි අතීතය තවදුරටත් වසන්කොට එයට නීත්‍යානුකූලභාවය ලබාදෙනුවස්, ඉහල මධ්‍යම පන්තියේ ස්ථර ඇද ගැනීමට, ජාතික ජන බලවේගය (ජාජබ) යනුවෙන් මැතිවරන පෙරමුනක් පිහිටුවීම නිවේදනය කලේය.
ඔක්තෝබර් 20 දා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මෑත දේශපාලන තීරු ලිපියක්, ජාජබ පිහිටුවීම පිටුපස පැවති පාලක කවයන්ගේ හවුල පිලිබඳ යමක් හෙලි කලේය. 2019 මැතිවරනයට මාස කිහිපයකට පෙර, සිරිසේන-වික්‍රමසිංහ පාලන සමයේදී ගොඩනැගුනු සංවාදයක කොටසක් ලෙස, දිසානායක එක්සත් ජාතික පක්ෂයේ ඉහල නායකයින් හමුව තිබේ.
සන්ඩේ ටයිම්ස් මෙසේ පැහැදිලි කලේය: “කතිකාව අතරතුර, එජාපයේ ප්‍රබලයෙකු… යෝජනාවක් ඉදිරිපත් කලේය… ඒ, ජවිපෙ අනන්‍යතාවය රඳවා ගනිමින්, පක්ෂය නැවත-සන්නාම ගන්වන ලෙසට යි. අනන්‍යතාව රැකගැනීමේ යෝජනාව, සාමාන්‍ය ජනතාව සතුටු කිරීමට යි. නව මූනත්තහඩුවක්, දේශීයවත්, බාහිර ලෝකයටත් ආකර්ශනීය වනු ඇති බව ඔහු පැවසීය.”
එවැනි යලි-සන්නාමකරනයක් “ජවිපෙ ප්‍රචන්ඩ සිද්ධීන් හා සම්බන්ධ පූර්ව වාර්තාව පිලිබඳ විවේචන ද ඉවත් කර දමනු ඇති” බවට ඔහු ජවිපෙ නායකයින්ට උපදෙස් දුන්නේය.
යලි-සන්නාමකරනයෙන් ජාජබ උපත ලැබුවේ, දැන් අගමැතිනිය වන ආචාර්ය හරිනි අමරසූරිය ඇතුලු ජවිපෙ වටා දැනට ඒකරාශී වී සිටින ප්‍රමුඛ ශාස්ත්‍රාලිකයින් සහ රාජ්‍ය නොවන සංවිධානවල ඉහල ක්‍රියාකාරීන් සමඟිනි. ඊලඟ වසර පහ තුල, විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සහ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුලත් කර ගනිමින් ජාජබ පුලුල් විය.
මෙම කාල පරිච්ඡේය තුල, විශේෂයෙන්ම 2022 මහජන නැගිටීමෙන් පසුව, ජවිපෙ/ජාජබ කොලඹ රාජ්‍ය තාන්ත්‍රික කවයන් තුල සහ විශේෂයෙන්ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ සමීප සබඳතා වර්ධනය කර ගෙන ඇත.
2022 ජූලි මාසයේ දී, ජවිපෙ කාර්යාලයේ දී දිසානායක සහ අනෙකුත් නායකයන් හමුවීමෙන් පසු එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් මෙසේ ප්‍රකාශ කලා ය: “මට නම් ජවිපෙ යනු සැලකිය යුතු පක්ෂයකි. ඔවුන්ට වර්ධනය වන පැවැත්මක් ඇත. ඔවුන් මෑත කාලයේ මහජනතාව සමඟ අනුනාද වේ… එක්සත් ජනපද ආන්ඩුව සමග, පක්ෂයක් ලෙස පමනක් නොව, පුද්ගලික ලෙස ඉතා සමීපව ජනතා විමුක්ති පෙරමුනේ නායකත්වය සමඟ සම්බන්ධ වීම සැබවින්ම මගේ යුතුකම බව මම සිතුවෙමි.”
සමාජවාදී වාගාලාප ඉවත දැමීමෙහි සහ ශ්‍රී ලංකාවේ පාලක පන්තියේ අධිරාජ්‍ය ගැති දේශපාලන මෙවලමක් බවට පරිවර්තනය වීමෙහි ලා දිසානායක විශේෂ කාර්යභාරයක් ඉටුකර ඇති ජවිපෙ ඉතිහාසය කම්කරුවන්ට හා තරුනයින්ට අනතුරු ඇඟවීමකි. දිසානායක ආන්ඩුව, කම්කරුවන් හා දුගීන් මත ගැඹුරු ආර්ථික අර්බුදයේ බර පැටවීමට සහ පොලිස්-රාජ්‍ය පියවරයන් ඇතුලුව ඕනෑම විරුද්ධත්වයක් නිර්දය ලෙස මර්දනය කිරීමට මුලුමනින්ම කැපවී සිටී.
ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), තම මූලික සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට දිසානායක ආන්ඩුව එල්ල කරන ප්‍රහාරයට එරෙහිව ඉදිරි පන්ති සටන් සඳහා දේශපාලනිකව සූදානම් වන ලෙස කම්කරුවන්ට කැඳවුම් කර සිටී. අවශ්‍ය වන්නේ, ජාත්‍යන්තර සමාජවාදය මත පාදක වෙමින්, ජවිපෙ/ජාජබ සහ ධනේශ්වර දේශපාලන සංස්ථාපිතයේ අනෙකුත් සියලුම පක්ෂවලටත්, ඔවුන්ගේ ව්‍යාජ-වාම හෙංචයියන්ටත් එරෙහිව, ග්‍රාමීය දුගීන් හා තරුනයන් පෙලගස්වා ගනිමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගැන්වීමයි.
නොවැම්බර් 14 දා පැවැත්වෙන මහ මැතිවරනයට සසප මැදිහත් වෙමින්, මැතිවරන දිස්ත්‍රික්ක තුනක්—අගනුවර වන කොලඹ, උතුරේ යාපනය සහ මධ්‍යම වතුකරයේ නුවරඑලිය—සඳහා අපේක්ෂකයින් 41 ක් ඉදිරිපත් කරයි. තම පන්ති අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට සහ සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා වන අරගලය ඉදිරියට ගෙන යාමට, වෘත්තීය සමිතිවලින් හා සියලු ධනේශ්වර පක්ෂවලින් ස්වාධීනව, ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස අපි කම්කරුවන්ගෙන් හා ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිමු. අපගේ ව්‍යාපාරයට සහාය දෙන ලෙසත්, අපගේ අපේක්ෂකයින්ට ඡන්දය දෙන ලෙසත්, මෙම ඉදිරිදර්ශනය සඳහා වන අරගලයට අප හා එක්වන ලෙසත් අපි කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් සහ ගම්බද දුගීන්ගෙන් ඉල්ලා සිටිමු.
මෙම ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.