සමගි ජන බලවේගයේ හමුදා අංශ නායකයා ශතවර්ෂ කාලක “ස්ථාවර” පාලනයක් ඉල්ලා සිටී

රොහන්ත ද සිල්වා විසිනි

ජුලි 21 දින, සමගි රනවිරු බලකාය (සරබ), ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපතිවරයෙකු වන විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් දකුනේ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්සේදී රැස්වීමක් පැවැත්වූයේය. සරබ යනු ප්‍රධාන පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) මෑතකදී පිහිටවූ හිටපු හමුදා නිලධාරීන්ගේ එකතුවයි.

රැස්වීම ඇමතූ ජෙනරාල්වරයා, රට තුල ආඥාදායක පාලනයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරමින් කියා සිටියේ තවත් වසර “25ක් පවතින ස්ථාවර රජයක් අප ගොඩනැගිය යුතු” බවයි.

අතීතයේදී, “අපි හැම විටම අස්ථාවරයි” යනුවෙන් ඔහු සඳහන් කලේය. “මේ නිසා කලාපීය බලවතුන්ගේ ප්‍රහාරවලට අපි ගොදුරු වුනා. ….අපි එක්ව මේ මැතිවරනනය ජයග්‍රහනය කරනවා. එම ජයග්‍රහනයේදී සජිත් ප්‍රේමදාස මහතා අවම වශයෙන් ඡන්ද ලක්ෂ 85ක් ලබා ගත යුතුයි.” සේනානායක අදහස් කලේ ප්‍රේමදාසට ඒකාධිපති පාලනයක් ඇති කිරීමට හැකි වන පරිදි දැවැන්ත ජයග්‍රහනයක් වෙනුවෙන් පක්ෂය කටයුතු කල යුතු බවයි.

2017 වසරේ සිට 22 වැනි යුද හමුදාපතිවරයා ලෙස වසර දෙකකට වැඩි කාලයක් සේවය කල සේනානායක 2019 ජනාධිපතිවරනයට ජාතික මහජන පක්ෂය යටතේ තරග කලේය. මේ වසරේ මැයි මාසයේදී සජබ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු ඔහු දැන් සරබ හි නායකත්වය දරයි. ඔහුට පෙර තවත් හිටපු හමුදාපතිවරයෙකු වන ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක ජනවාරි මාසයේදී සජබ සාමාජිකත්වය ලබාගත් අතර, ඔහු සජබ හි රාජ්‍ය ප්‍රතිපත්ති පිලිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කෙරුනි. පෙබරවාරි මාසයේදී හිටපු නාවික හමුදාපති දයා සඳගිරි සජබ වෙත තම සහය පල කලේය.

මෙම සන්නද්ධ හමුදාපතිවරුන් බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව වසර 26ක් පුරා රටෙහි පැවති වර්ගවාදී යුද්ධයේ සහ, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) වර්ගිය ප්‍රකෝපකාරීත්වයන් උපයෝගී කරගෙන 1987-1990 ග්‍රාමීය තරුනයින්ට එරෙහි මිලිටරි-පොලිස් සමූලඝාතන ව්‍යාපාරයේ සේවය කර ඇත.

ඉදිරි ජනාධිපතිවරනයේ ජයග්‍රහනය ජවිපෙ/ජාජබ නායකයා අතර උච්ඡාවචනය වෙමින් පවතින නමුත් සජබ නායක සජිත් ප්‍රේමදාස ට වැඩි ඉඩක් ඇති බව ඇතැම් මත විමසුම්වලින් පෙන්වා දීමට සමගාමීව හිටපු ඉහලම හමුදා නිලධාරීන් සජබ වෙත එක්වීම සිදුවිය.

ස්ථාවර රජයක් සඳහා හිටපු හමුදාපතිවරයාගේ කැඳවුම හුදකලා ප්‍රකාශයක් නොවේ. 2048 වන විට රටේ ආර්ථිකය සම්පූර්නයෙන් යථා තත්ත්වයට පත් කල හැකි බව ප්‍රකාශ කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම අවධාරනය කරන්නේ ආර්ථික ප්‍රතිපත්තියේ අඛන්ඩතාවයක් තිබිය යුතු බව ය. ඔහුගේ පාලන තන්ත්‍රය ත්‍රස්තවාදයට එරෙහි පනත සහ ඔන්ලයින් ආරක්ෂන පනත වැනි දුරදිග යන ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති පාර්ලිමේන්තුව හරහා ඉදිරියට තල්ලු කලේය. “මගේ වැයික්කියට” අත තබන්න එපා යැයි වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරනයට අනතුරු ඇඟවීය. මෑතකදී, ඔහු ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ දෝෂ “නිවැරදි කිරීමේ” මුවාවෙන් පනතක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරනය කල් දැමීමට උත්සාහ කලේය.

වික්‍රමසිංහ අවධාරනය කරන්නේ “ආර්ථික ප්‍රකෘතිය” සාක්ෂාත් කරගත හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) විසින් නියම කරන ලද කුරිරු කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට නැංවීමෙන් පමනක් බවයි. කප්පාදු වැඩපිලිවෙලේ ප්‍රධානම කර්තව්‍ය වනුුුයේ, කම්කරු පන්තියේ හා දුගීන්ගේ වියදමින් විදේශ නය ආපසු ගෙවීම සහ මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ ඉහල නැංවීම සහතික කිරීමයි.

පසුගිය වසර දෙකේදී, වික්‍රමසිංහගේ පාලන තන්ත්‍රය බොහෝ කප්පාදු පිලිවෙත් නිර්දය ලෙස ක්‍රියාවට නැංවීය. කෙසේ වෙතත්, ලබන වසර අවසන් වන විට රාජ්‍ය මූල්‍ය ගිනුමේ අතිරික්තයක් පෙන්නුම් කිරීමට තිබේ. ඒ සඳහා රජය සතු ව්‍යාපාර පෞද්ගලීකරනය හෝ වානිජකරනය කිරීම, බදු වැඩි කිරීම සහ මහජන සෞඛ්‍ය හා අධ්‍යාපනය අවම තත්වයකට කප්පාදු කිරීමට රජයට සිදු වේ.

2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීම අත්විඳ ඇති පාලක පන්තිය, කප්පාදුවට එරෙහිව කම්කරු පන්තිය අතර වර්ධනය වන ප්‍රබල විරුද්ධත්වය ගැන භීතියෙන් පසුවෙයි.

විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ එහි මැතිවරන පෙරමුන, ජාතික ජන බලවේගය (ජාජබ) ද “ශක්තිමත් ආන්ඩුවක්” සඳහා උද්ඝෝෂනය කරති. එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස තෝරා පත් කර එහි වැඩපිලිවෙල ක්‍රියාවට නැංවීම සඳහා ජාතික මැතිවරනයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බලයක් ලබා දෙන ලෙස ඔවුහු ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටිති. වික්‍රමසිංහ මෙන්ම සජබ සහ ජාජබ/ජවිපෙ ද, ජාමුඅ වැඩසටහනට සම්පූර්නයෙන්ම කැපවී සිටිති.

පාලක ප්‍රභූවේ කොටස් “ස්ථාවර” පාලනයක් අවධාරනය කරන විට, වැඩකරන ජනතාව එය අනතුරු ඇඟවීමක් ලෙස බැරෑරුව ගත යුතුය. එය, කම්කරු පන්තියේ සහ දුප්පතුන්ගේ සංවිධානය වීමේ අයිතිය ඇතුලුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, සහ ඔවුන්ගේ සාමාජීය සහ ජීවන කොන්දේසි සඳහා සටන් කිරීමේ අයිතිය සහ ප්‍රකාශනයේ නිදහස අහෝසි කරන ආඥාදායකත්වයක් මිස අන් කිසිවක් නොවේ.

මිලිටරියේ හිටපු ඉහලම නායකයන් සහ සන්නද්ධ හමුදාවල සිටින ඔවුන්ගේ අනුගාමිකයින් බඳවා ගනිමින්, සජබය, විපක්ෂයේ ජවිපෙ/ජාජබ සමඟ තරඟ කරයි. ජවිපෙ/ජාජබ, 2023 වසරේ මුල් භාගයේ සිට හමුදා නිලධාරීන්ගේ සහ සොල්දාදුවන්ගේ සංවිධානයක් පිහිටුවීමට පටන් ගත්තේය. එය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හා පහල මට්ටමේ හමුදා නිලධාරීන් 1000ක් සමඟ මහරගම ජාතික තරුන සේවා ශ්‍රවනාගාරයේදී “ත්‍රිවිධ හමුදා සාමූහිකය” ලෙස සමුලුවක් කැඳවූයේය.

මේ වසරේදී, තවත් පියවරක් ඉදිරියට තබමින්, ජාජබ/ජවිපෙ විශ්‍රාමික ඉහල පොලිස් නිලධාරීන්ගේ සාමූහිකයක්ද පිහිටුවා ගත්හ.

වික්‍රමසිංහට වෙනස්ව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැපවී සිටින බවට සජබ කරන ප්‍රකාශය බොරුවකි. මෙම පක්ෂය වික්‍රමසිංහගේ දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයෙන් (එජාප) කැඩීගිය ශාඛාවක් වන අතර එහි සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වල සහ සමාජ අයිතීන් පාගා දැමීම්වල වගකීම් දරයි.

ත්‍රිවිධ හමුදාව තිබියදී සජබ සහ ජාජබ /ජවිපෙ හිටපු හමුදා නිලධාරීන් සංවිධානය කරන්නේ ඇයි? සියලුම පාලක සහ විරුද්ධ පක්ෂ මිලිටරිය මත යැපෙන අතර, විශේෂයෙන්ම බලයට පැමිනිවිට, කම්කරු පන්තියට සහ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව මුදා හැරීමට, ඔවුන්ට පැරා මිලිටරි ආකාරයේ සංවිධාන අවශ්‍ය වේ.

අර්බුදකාරී ධනේශ්වර ක්‍රමය සාමකාමී මාර්ගයකින් ඉදිරියට ගෙන යා නොහැකි බව පාලක සහ විපක්ෂයේ සියල දේශපාලන පක්ෂ හොඳින් දනී. ඔවුන්ට අවශ්‍ය වන්නේ කම්කරු පන්තිය තලා පෙලා, පීඩිතයන් හා තරුනයන් මර්දනය කර ඒකාධිපතිත්වයක් ස්ථාපිත කිරීමයි.

1971 අප්‍රේල් කැරැල්ල දක්වා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව, ප්‍රධාන වශයෙන් සැරසිලිකාරී භූමිකාවක් ඉටු කලේය. එහෙත් කැරලිකාර සිංහල තරුනයන්ට මුහුන දුන් කොලඹ පාලක ප්‍රභූව ආරක්ෂක හමුදා ශක්තිමත් කිරීමට පටන් ගත්හ. දෙමල ජනතාවට එරෙහි වසර 25ක යුද්ධය තුල, එය මිලියන 22ක ජනගහනයක් සිටින රටක ආරක්ෂක හමුදා සහ පොලිසියේ සාමාජිකයින් 400,000කින් පමන සමන්විත වූ දැවැන්ත බලයක් බවට වර්ධනය විය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *