සසප, ශ්‍රී ලංකාවේ උග්‍ර ප්‍රති-මාක්ස්වාදී ප්‍රවනතාවයකට එරෙහි අරගලය දිගු කාලීනව අත්හැරීමේ කූටප්‍රාප්තිය සනිටුහන් කරයි

සංජය ජයසේකර විසිනි.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්ධන සහ ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර, පසුගිය සෙනසුරාදා (18දා) පෙරවරුවේ කම්කරු පන්තියේ පරම සතුරෙකු වන දීප්ති කුමාර ගුණරත්න විසින් මෙහෙයවන ලද ITN රාජ්‍ය රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වූහ. ඔක්කාරය දනවන දර්ශනයක් වූ සම්මුඛ පරීක්ෂණය,   විනාඩි 45 ක් පැවති අතර එය YouTube හි දැක බලා ගත හැක.

මෙම වසරේ සැප්තැම්බර් 21 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරනය සඳහා වන පක්ෂයේ වැඩ සටහන පිලිබඳව කථා කිරීමට සසප නායකයින්ට ආරාධනා කර ඇති බව වැඩසටහනේ සම-සත්කාරකවරිය ප්‍රකාශ කළාය.

ප්‍රධාන ලේකම්, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශ්‍රී ලංකා අංශය ලෙස පක්ෂය හඳුන්වා දුන් අතර, එහි ඓතිහාසික මූලාරම්භය සාරාංශ කර, එහි දේශපාලන වැඩපිළිවෙල ගෙනහැර දැක්වීය. පක්ෂයට වෙනම මැතිවරන වැඩපිළිවෙලක් නොමැති නමුත් මෙවර මැතිවරණයට තරඟ වදින්නේ කප්පාදුවට, ඒකාධිපතිත්වයට සහ ලෝක යුද්ධයට එරෙහි පක්ෂයේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලේ පණිවිඩය හැකිතාක් කම්කරු පන්තිය වෙත ගෙනයාමට බව විජේසිරිවර්ධන ප්‍රකාශ කළේය. මෙම රූපවාහිනී වැඩසටහනට ඔවුන් සහභාගී වීමේ ප්‍රධාන උත්සුකය මෙයින් ඉස්මතු විය.

කෙසේ වෙතත්, සසප නායකයින් හුදු මධ්‍යස්ථ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූයේ නැත. රාජ්‍ය රූපවාහිනියේ දෛනික උදෑසන වැඩසටහනක් වන “දීප්ති සමග”, එහි සත්කාරකයාගේ (host) නමින් නම් කර ඇති අතර, එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීම ඉලක්ක කරගත් වැඩපිළිවෙළේ දේශපාලන සතුරෙකු විසින් මෙහෙයවනු ලබන බව ඔවුන් සම්පූර්ණයෙන්ම දැන සිටියහ. ITN විසින් ගුණරත්නට මෙම රාජ්‍ය මාධ්‍යයේ ප්‍රමුඛ වේදිකාවක් ලබාදී ඔහුව තම සත්කාරකයා ලෙස තබාගෙන ඇත්තේ දශක දෙකහමාරක් පුරා දිව ගිය ඔහුගේ නිශ්චිතවම ධනපති ගැති සහ මාක්ස්වාදී විරෝධී දේශපාලනය නිසා බව ද ඔවුහු දැන සිටියහ. කෙසේ වෙතත්, මෙම නායකයින් කියා සිටින්නේ තමන් පක්ෂයේ වැඩපිළිවෙළ පිලිබඳ පණිවිඩය රටේ කම්කරු පන්තිය වෙත බෙදා හැරීම සඳහා රූපවාහිනී වැඩසටහන භාවිතා කළ යුතු වූ බවයි.

සසප නායකයින් වසර විස්සකට වැඩි කාලයක් රටේ කම්කරු පන්තියෙන්, තරුනයන්ගෙන් හා ශිෂ්‍යයන්ගෙන් සඟවාගෙන සිටි අත්‍යවශ්‍ය ප්‍රශ්නය මෙයයි: දීප්ති කුමාර ගුණරත්න යනු කවුද, ඔහුගේ දේශපාලන ප්‍රවනතාවය කුමක්ද? ගුණරත්න යනු 1990 දශකයේ අගභාගයේ දී දළුලා වැඩුනු, මේ සියවසේ දශක එකහමාරක් පමන කාලයක් තුල විශ්වවිද්‍යාල සිසුන්, උගතුන්, කලාකරුවන් සහ වැඩ කරන තරුණයන් අතර සැලකිය යුතු බලපෑමක් ඇති කළ පශ්චාත් නූතනවාදයේ ව්‍යාජ වාම දෘෂ්ටිවාදී ව්‍යාපාරය මත පදනම් වූ අතාර්කික, ආත්මීය විඥානවාදී සහ ප්‍රතිගාමී දේශපාලන ප්‍රවනතාවක ගෝඩ්ෆාදර් ය. කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය (දැන් මහාචාර්ය) නිර්මාල් රංජිත් දේවසිරි ඇතුළු ව්‍යාජ වාම බුද්ධිමතුන් කිහිප දෙනෙකු සමඟ ඔහු මෙම මතවාදය මත පදනම් වූ “X-Group” හි ප්‍රමුඛ නායකයෙකි. කණ්ඩායම, ඩෙරිඩියානු “විසංයෝජනය” සහ ලැකානියානු “මනෝවිශ්ලේෂණය” මත පදනම්වූ ද, ඔවුන් “සංස්කෘතික දේශපාලනය” ලෙස හැඳින්වූ දෙයට කැප වූ ද, මූලික වශයෙන් නාගරික මධ්‍යම පන්තිය වෙත නැඹුරුවූ එහි සාහිත්‍යය සහ “ලන්ඩන්” නම් සගරාවක් ඇතුලු සඟරා කිහිපයක් ප්‍රකාශයට පත් කළහ. 2004 දී මෙම සංවිධානය විසුරුවා හැරීමෙන් පසු ගුණරත්න විසින් මීට වසර කිහිපයකට පෙර “සමබිම පක්ෂය” බවට පරිවර්තනය වූ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය (SLVP) නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත් අතර 3mana.com වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරයි. 

මේ කාලය පුරාවටම, ගුණරත්න ඓතිහාසික භෞතිකවාදයට හා ඉතිහාසයට මෙන්ම ඔහු එහි පැවැත්මම පවා  ප්‍රතික්ෂේප කළ කම්කරු පන්තියේ විප්ලවවාදී විභවයට දැඩි ලෙස විරුද්ධ විය. විටෙක ඔහු, කම්කරු පන්තිය සුළු ධනේශ්වරය මත යැපෙන පරිපෝෂිතයන් සේ හඳුන්වමින්, “පීඩිත” සුළු ධනේෂ්වරය වෙනුවෙන් වෘත්තීය සමිති “මර්දනය” කිරීමට පවා කැඳවුම් කරමින්, කම්කරු අරගල හෙළා දකිනා ෆැසිස්ටික කෑ මොර දීම් මඟින් කම්කරු පන්තිය කෙරෙහි තම බලවත් ද්වේශය ප්‍රකාශයට පත් කළේය. ඔහු සහ ඔහුගේ දේශපාලන ව්‍යාපාර ට්‍රොට්ස්කිවාදයට ඝෝෂාකාරී ලෙස සතුරු වී ඇත. හිටපු ඇමතියෙක් වන මංගල සමරවීර වැනි ධනේශ්වර වෙලඳපොල ගැති පක්ෂවල සහ දේශපාලකයින්ගේ හෙංචයියකු වන ගුණරත්න ඔවුන්ගෙන් දේශපාලන සහ මූල්‍ය ආධාර ලබාගෙන සහ ලබා ගනිමින් ඇත. ඔහු දැනට ආසන්න-ආඥාදායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිවලට විවෘතව සහාය දක්වයි. “පරිභෝජනවාදය” ලෙස ඔහු සඳහන් කරන දෙයට එරෙහිව සටන් කිරීම සඳහා බදු වැඩිකිරීම් අනුමත කරන අතර ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කරන ලද කප්පාදු පියවර සහ පුද්ගලීකරණ වැඩසටහන් අගය කරයි.

මධ්‍යම පන්තික නැගිටීමක් ලෙස ගුණරත්න ව්‍යාජ ලෙස ලඝු  කරන, 2022 අප්‍රේල්-ජූලි මහජන අරගල මධ්‍යයේදී “පරිප්පු සහ සීනි” ඉල්ලා සිටීම නිසා, යථාර්ථයේ නොපවතී යි ඔහු කියා සිටින “ජනතාව”  ඔහු රෞද්‍ර ලෙස හෙළා දුටු අතර, සමබිම පක්ෂයට බලය ලැබුණහොත්  “ජනප්‍රිය නොවන” පටි තද කිරීමේ පියවර දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට ඔහු යෝජනා කළේය.

ගුණරත්නගේ දේශපාලනය යන්තමින් විවේචනය කල සසප යේ පලමු සහ අවසාන ලිපිය පදනම් වූයේ 2014 අප්‍රේල් මාසයේ කොලඹ රැස්වීමකදී SLVP නායකයා ලෙස ඔහු කල ප්‍රසිද්ධ කථාවක් මත ය. සසප නායකත්වය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) සිංහල අංශයේ මෙසේ ලිවීය: 

ගුනරත්න සිය කතාවේදී මෙසේ කීවේය: “ලංකාවේ ධනවාදය හා ධනපතියො කවුද කියල ප‍්‍රශ්නයක් තියනවා. සම්ප‍්‍රදායික වමේ භාෂාව අනුව නම් මට මේ වෙලාවේ උදවු කරන්නේ ධනපතියො කියන්න පුලුවන් [සත්තකින්ම]”. ගුනරත්නට ලංකාවේ මූල්‍ය ධනපතියෙක් වන ටිරාන් අලස් සමග වැඩ කිරීමේ අවස්ථාවක් ලැබී තිබේ. “එයා සාමාන්‍ය විදිහට කාල බීල ඇඳල ඉන්නවා. බීඑම්ඩබ්ලිවු කාර් එකක් එලියෙ නතර කරලා තියෙනවා. ඒත් එයාගෙ රියැදුරු ඒ කාර් එක ඇතුලට වෙලා ඒසී දාගෙන ආතල් එකේ ඉන්නවා. පැරනි වමේ භාෂාවෙන් කම්කරුවා තමයි ඒසී එක දාගෙන ආතල් එකේ ඉන්නෙ. ලංකාවේ ඇත්තටම තියෙන ධනවාදය මොකක්ද කියල හඳුනාගන්න ඕනෙ. මේ ක‍්‍රමය ඇත්තටම පවත්වාගෙන යන්නේ පීඩිතයා.”

මේ ප‍්‍රකාශවල සාරය නම් කම්කරු පන්තියක් යනුවෙන් හඳුනා ගත හැකි පන්තියක් නැත: ධනපති ක‍්‍රමය පවත්වා ගෙන යන්නේ “පීඩිතයන් ය”.

ලිපිය තවදුරටත් මෙසේ පැහැදිලි කරයි.

“අද්‍යතන මාක්ස්වාදය වන ට්‍රොට්ස්කිවාදය කෙරෙහි ගුනරත්න වෛරයෙන් දැවෙයි. ඊට හේතුව, ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) හා එහි සමාජවාදී සමානතා පක්ෂ පමනක්ම කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය ද ඇතුලු සම්භාව්‍ය මාක්ස්වාදී සංකල්ප හා මූලධර්ම තරයේ ආරක්ෂා කරන බැවිනි. අනෙකුත් සියලු වමේ යයි කියාගත් සංවිධාන මාක්ස්වාදය ද කම්කරු පන්තිය ගැන ද යම් උත්සුකයක් ඇතැයි කල මවා පෑම් පවා හැරපියා ධනේශ්වරයේ කඳවුරට සීග‍්‍රයෙන් මාරුවී ගියේ 1991 සෝවියට් සංගමය බිඳ වැටීමත් සමගයි.

ගුනරත්න තම වෛරය වමාරා ඇත්තේ මෙසේය: “අද වෙන කොට ට්‍රොට්ස්කිවාදය ඉවරයි. මගේ අදහස ගෝලීය ධනවාදය විග‍්‍රහ කිරීම සඳහා ලෝක දැක්මක් විධියට ටෙ‍්‍ර‍්‍රාට්ස්කිවාදයට තව දුරටත් බැහැ. ට්‍රොට්ස්කිවාදය හැම වෙලේම අවධාරනය කරන්නේ වාස්තවික යතාර්ථය. එහෙත් ගෝලීයකරනය එක්ක ප‍්‍රශ්නය තිබෙන්නේ ආත්ම මූලිකත්වය තුල”.

මෙම තකතිරු ප‍්‍රකාශ කරන පුද්ගලයා ට්‍රොට්ස්කිවාදය ගැන පමනක් නොව හජාජාක නිෂ්පාදනයේ ගෝලීය කරනය ගැන කර ඇති බැරෑරුම් විශ්ලේෂනය ගැන පවා දැනීමක් නැත්තෙකි.

ගුනරත්න, ධනපති නිෂ්පාදනයේ ගෝලීයකරනය සමග මුදා හැරුනු ප‍්‍රතිගාමී දෘෂ්ටිවාදයන් විසින් අවශෝෂනය කර ගැනුනු මධ්‍යම පන්තික සමාජ තට්ටුවල එක නියෝජිතයෙකි. ඔහු හෝ එම සභාවේ කතාකල එක අයෙකු හෝ “වාස්තවික යථාර්ථය” -එනම් අද ලෝක දේශපාලනය සංලක්ෂිත වන, ගෝලීයකරනය තුල ධනවාදයේ පරස්පරවිරෝධයන් තියනුවී බිඳවැටීමක් කරා එය ගමන් කිරීම හා මානව වර්ගයා න්‍යෂ්ටික බලයෙන් අතුගෑවී යාහැකි තුන්වන ලෝක යුද්ධයක තර්ජනයක් මතුවීම–ගැන කතා නොකිරීම පුදුමයක් නොවේ. රැුස්වීමේ කථිකයෝ කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය ගැන හා මාක්ස්වාදය ගැන අසාරදර්ශනය වපුරා අධිරාජ්‍යවාදයට තම කැපවීම පෙන්නුම් කලහ.”

සසප ලිපියේ සඳහන් වන රැස්වීම ව්‍යාජ වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් “වමේ සංවාදයක්” සඳහා සංවිධානය කරන ලද රැස්වීම් මාලාවක කොටසකි. 2013 නොවැම්බරයේදී එකල සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස්, එම සාකච්ඡාවට සහභාගී වීමට ලැබුණු ආරාධනය ප්‍රතික්ෂේප කරමින් පෙසප වෙත විවෘත ලිපියක් ලිවීය. 

ඩයස් මෙසේ ප්‍රකාශ කළේය. 

“යෝජිත රැස්වීමේ අරමුන වනාහී විවිධ ධනේශ්වර හා සුලු ධනේශ්වර සංවිධානවල යලි කාන්ඩ ගැසීමකට පදනම දැමීම යි. එවැනි යලි කාන්ඩ ගැසීමක් සිදුවුවහොත් එය කම්කරු පන්තිය සඳහා නිර්මානය කෙරෙන තවත් දේශපාලන උගුලක් වනු ඇත්තේ ය. වසර 45කට අධික කාලයක් ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ආරක්ෂා කලා වූ ද කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා වෙහෙස නොතකා සටන් කලා වූ ද සමාජවාදී සමානතා පක්ෂය ඔබ විසින් ක‍්‍රියාවට නගනු ලබන ප‍්‍රතිගාමී යලි කාන්ඩ ගැසීමකට වලංගුභාවයක් සැපයීමට අපේක්ෂා නොකරයි. මේ හෙයින් සමාජවාදී සමානතා පක්ෂය ඔබේ ආරාධනය අවධාරනයෙන් ප‍්‍රතික්ෂේප කරයි”

“කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා” එතරම් වෙහෙස නොබලා සටන් කළ පක්ෂය, ජාත්‍යන්තර කමිටුව විසින් සම්මත කර තිබූ පරිදි, වර්ධනය වෙමින් පවතින ව්‍යාජ වාම ප්‍රවනතාවන්ට එරෙහිව අධිෂ්ඨානශීලී සටනක් දියත් කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, තරුණයින් අතර  X-කණ්ඩායම විසින් මූලිකත්වය ගත් පශ්චාත් නූතනවාදී ප්‍රවනතාවයේ වැඩෙන බලපෑම නොතකා, සසප නායකත්වය මුරණ්ඩු ලෙස මෙම ප්‍රතිගාමී ව්‍යාපාරය නොසලකා හැරි අතර, මෙම ප්‍රවනතාවය “හෙලිදරව්” කරන එක ලිපියක්වත් ප්‍රකාශයට පත් නොකළේය. ගුණරත්නගේ පෙරටුගාමී පක්ෂයේ සහ සමබිම පක්ෂයේ දේශපාලනය සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයේ ප්‍රවේශය මීට වෙනස් නොවීය. මෙම අත්හැරීම, අවම වශයෙන් පරම්පරා දෙකක තරුනයින්, බුද්ධිමතුන් සහ කම්කරු පන්තියේ දේශපාලනිකව සවිඥානික දියුණු කොටස් පාවාදීම සඳහා බොහෝ දුරට මග පෑදූ අතර ඔවුන්ව, අවමංගත භාවයට හා අධෛර්යයට ඇද දැමීමෙන්, හජාජාක පමණක්ම ඉදිරියට ගෙන ගිය මාක්ස්වාදී විප්ලවවාදී වැඩපිලිවෙලෙන් ඔවුන්ව පලවා හැරුනි.

ගුණරත්නගේ ආරාධනය පිළිගැනීමට තීරණය කිරීමේදී, පක්‍ෂ නායකත්වය, තම පන්ති සතුරා සමග මුහුණට මුහුණ ලා සිටිද්දී, ඔහු පුරසාරම් දොඩන, තරුන පරම්පරාවක් සහ කම්කරු පන්තිය නොමඟ යැවීමේ දී ගුණරත්න විසින් ඉටු කරන ලද ද්‍රෝහී සහ ප්‍රතිගාමී භූමිකාව ගැන තම මුව වසා සිටීමට තීරණය කළ බව පැහැදිලිය. ගුණරත්නගේ දශක ගණනාවක ප්‍රතිගාමී දේශපාලනය පිලිබඳ සැලකිය යුතු හෙලිදරව්වක් සිදුකිරීම පැහැර හැර, ඔහුගේ ප්‍රවනතාවයේ අදහස් සමග වාද විවාදවල (polemics) නියැලීමට (ජේම්ස් පී. කැනන් වරක් පැවසූ පරිදි විප්ලවවාදී පක්ෂයක් සංලක්ෂනය කරන මූලිකම කර්තව්‍යක්) කිසිදු උත්සාහයක් නොගෙන  තිබීමෙන් ගුණරත්නගේ ආරාධනය ප්‍රතික්ෂේප කිරීමට පක්ෂ නායකත්වයට ධෛර්යයක් නොතිබුණි. සම්මුඛ සාකච්ඡාවේදී විජේසිරිවර්ධන, මාක්ස්වාදය “මහා ආඛ්‍යානයක්” ලෙස ප්‍රතික්ෂේප කළ හා ඥානවිභාගයේ දී බහුත්වවාදය වෙනුවෙන් පෙනී සිටිමින් අනුභූතික තර්කනය භාවිතා කළ “සමාජවාදී සංස්කෘතිය” ඛාදනය කිරීමට දායක වූ පශ්චාත්-1991 ප්‍රවණතා ගැන සඳහන් කළ නමුත්,  මෙම දේශපාලන අපරාධයේ ප්‍රධාන චූදිතයෙක් වන ගුණරත්න දෙසට ඇඟිල්ල දිගු කිරීමෙන් වැලකී සිටීමට ප්‍රවේශමෙන් වග බලා ගත්තේය. 

කම්කරු පන්තියේ සහ එහි අරගලවල සතුරෙකු වන ගුණරත්න සසප නායකත්වය වඩාත්ම අස්ථායී කරවන ප්‍රශ්න මතු නොකිරීමට වගබලා ගන්නා බව සසප අවස්ථාවාදී නායකත්වය හොඳින් දැන සිටියේය: ඔබේ පක්ෂයට 2022 මහජන අරගල තුල, ඒ සඳහා අවශ්‍ය නායකත්වය ලබා දීම පසෙක තබා, අවම වශයෙන් සැලකිය යුතු බලපෑමක්වත්  කිරීමට නොහැකි වූයේ මන්ද?  ඔබේ විප්ලවීය වැඩපිළිවෙළ තිබියදී පවා ඔබේ පක්ෂයට හොඳ පිළිගැනීමක් නොලැබුණේ ඇයි? මේ පෙර නොවූ විරූ අරගලවලදී පවා ඔබේ පක්ෂයේ සාමාජිකත්වය වර්ධනය නොවුණේ ඇයි? මෙම ප්‍රශ්නවලින් අභියෝගයට ලක් වන සසප නායකත්වයට, මහජන අරගලයේ ගෙල සිරකර එය පාර්ලිමේන්තුවාදය දෙසට යොමු කිරීම සම්බන්ධයෙන් පෙසප හෝ අනෙකුත් කන්ඩායම්වලට සරලව දොස් පැවරීමෙන් නැවතිය නොහැකි වනු ඇත. ඇත්ත වශයෙන්ම, ගුණරත්න එවැනි අරගලය පාවාදීමක් යෝජනා කර තිබුණේ 2022 අප්‍රේල් මස අග තරම් කලින්ය.

මෙම අන්‍යෝන්‍ය අවබෝධය ලැජ්ජා සහගත සහජීවනයක කූටප්‍රාප්තිය සනිටුහන් කළේය. සසප නායකත්වය අමාරුවේ දමන මෙම ප්‍රශ්නවලට අපගේ ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨ නායකයින් විසින් දැනටමත් පිළිතුරු දී ඇත:

විප්ලවයක් අතරතුර, එනම් සිදුවීම් වේගයෙන් ගමන් කරන විට, දුර්වල පක්ෂයකට විප්ලවයේ ගමන් මග පැහැදිලිව අවබෝධ කර ගන්නේ නම් සහ වාක්‍ය ඛණ්ඩවලින් මත් නොවන සහ තාඩන පීඩනවලින් බියට පත් නොවන ස්ථීර කාඩර්වරුන් සතු වන්නේ නම්, එය ඉක්මනින් බලවත් එකක් බවට වර්ධනය විය හැකිය.  නමුත් එවැනි පක්ෂයක් විප්ලවයට පෙර පැවතිය යුතුවන අතර  කේඩරයින් දැනුවත් කිරීමේ ක්‍රියාවලියට සැලකිය යුතු කාලයක් අවශ්‍ය වේ. නමුත් විප්ලවය මෙම කාලය ලබා ගැනීමට ඉඩ නොදේ.” (ලියොන් ට්‍රොට්ස්කි, පන්තිය, පක්ෂය හා නායකත්වය, 1940).

පන්ති සතුරෙකු සහ සමබිම පක්ෂයේ නායකයා වන ගුණරත්න, ඉහත සඳහන් සසප ලිපියෙන් හඳුනා ගන්නා  පරිදි, ට්‍රොට්ස්කිවාදයට සහ සසප වෙත දක්වන සියලු සතුරුකම් නොතකා, සම්මුඛ සාකච්ඡාවක් සඳහා තමන්ට ආරාධනා කළේ මන්දැයි සෙවීමට සසප නායකයින් උනන්දු නොවන බව පෙනේ. එහෙත් සසප නායකත්වය සමග ඇතිකරගත් ව්‍යංග ගිවිසුම ඔහුගේ ව්‍යාජ වාම ආවරණය ශක්තිමත් කිරීමට අවස්ථාවක් සලසා දීමෙන් තම අරමුණ ඉටුකරන බව ගුණරත්න දනී. 1990 ගනන්වල මුල් භාගයේ “ඉතිහාසයේ අවසානය” ප්‍රකාශ කළ ධනේශ්වර පණ්ඩිතයින්ට තමන්ට වැරදුන බව පිළිගැනීමට සිදු වූ 2008 මහා කඩාවැටීමේ පසුබිම තුළ, ඉතිහාසය තවමත් කම්පනය වෙමින් පවතින බවත්, නොනවතින  යුද්ධය, සමාජ ප්‍රතිවිප්ලවය, ෆැසිස්ට්වාදයේ අන්තරාය සහ  –  2022 දී ශ්‍රී ලංකාවේ මෙම ප්‍රවනතාවය පෙන්නුම් කල – ගෝලීය පන්ති අරගලවල යලි පිබිදීමක් පෙන්නුම් කරමින් ලොව පුරා මහජනතාව වම දෙසට ඇදී යෑමක් පෙන්නුම් කරන යුගයක් ආරම්භ වුනු  ලෝක තත්වයක් තුළ, ගුණරත්න හා එවැනි අය තවත් දේශපාලන උගුල් ඇටවීමට මෙවන් වෙස්මාරුවක් (camouflage)  බරපතල ලෙස සොයති. 

සම්මුඛ සාකච්ඡාව අතරතුර, කප්පාදු පියවරයන් සහ දරිද්‍රතාවයේ ප්‍රතිවිපාක ඇතුළුව ශ්‍රී ලාංකික ජනතාව මුහුන දෙන සමාජ ගැටලු ගණනාවක් වෙත නායකයෝ අවධානය යොමු කළෝය. කෙසේ වෙතත්, සැලකිය යුතු ලෙස, දෙමළ ජාතික ප්‍රශ්නයේ පැවැත්ම ගැන සඳහන් කිරීමට නායකයින් අපොහොසත් විය. මෙය අහම්බයක් නොවේ.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල වන ප්‍රහාරය, වැඩෙන ලෝක යුද්ධයේ තර්ජනය සහ  චීනයට එරෙහි අධිරාජ්‍යවාදී නායකත්වයෙන් යුත් යුද්ධයක සුලිය දෙසට රට ඇදී යාම පිලිබඳ සඳහන් කලද, ලෝසවෙඅ හි ප්‍රකාශයට පත් කරන ලද අගෝස්තු 16 සසප මැතිවරන ප්‍රකාශයේ පවා දෙමල ජාතික ප්‍රශ්නය සඳහන් නොවේ. මැතිවරණ ව්‍යාපාරයේ කොටසක් ලෙස අගෝස්තු 16 වැනි දින කොළඹ පැවති ප්‍රථම මහජන රැස්වීමේදී, “දෙමළ ජාතිකයන්ගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය” ලෙස අපැහැදිලි ලෙස හැඳින්වූ දෙය සාක්ෂාත් කිරීමේ සමාජවාදී විප්ලවවාදී වැඩපිළිවෙළ පැහැදිලි කිරීමේදී, විජේසිරිවර්ධන එය “ස්වයං-නිර්ණයේ” අත්‍යවශ්‍ය ප්‍රගතිශීලී අන්තර්ගතය වන ජාතික පරපීඩනය අහෝසි කර දැමීම ලෙස හඳුනා නොගැනීමට වගබලා ගත්තේය. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් දෙමළ ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය මිලිටරිමය වශයෙන් තලා දැමූ 2009 මැයි 18දා, සසප නායකත්වය පූර්ණ වශයෙන්ම පාහේ දෙමළ ජාතික ප්‍රශ්නයේ අවසානය සනිටුහන් කලේ, සිංහල ස්වෝත්තමවාදයේ පීඩනයට පක්ෂය ක්‍රමානුකූලව යටත් කිරීම සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහය ඇතිව සහ එහි අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා සහ ඊලම් එක්සත් සමාජවාදී ජනපදයක  (USSLE) ඉදිරිදර්ශනය යටතේ, දෙමළ, සිංහල හා මුස්ලිම් කම්කරු පන්තියේ කාර්මික ශක්තිය සංක්‍රමණික ඉල්ලීම් වටා (සියලු දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, උතුරු නැගෙනහිරින් ආක්‍රමණික සිංහල හමුදාව කොන්දේසි විරහිතව ඉවත් කර ගැනීම සහ විනාශයට පත් පවුල් සඳහා සම්පූර්ණ වන්දි හා හානිපූර්ණය) බලමුලු ගැන්වීමේ සංයුක්ත, ප්‍රායෝගික අරගලය දියාරු කිරීම සංකේතවත් කරමිනි.  සසප ඉදිරිදර්ශනයේ “ඊළාම්” යන වචනයෙන් සඳහන් කරන්නේ කුමක්දැයි මෑත මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කළ විට, එය දෙමළ ජාතික පරපීඩනය යථාර්තයක් ලෙස සසප විසින් පිළිගැනීම සහ එයින් මිදීමට එම ජනතාවට ඇති අයිතිය නියෝජනය කරන බවත්, එවැනි සමාජවාදී ඉදිරිදර්ශනයක් සාක්ෂාත් කරගත හැකි වන්නේ වාර්ගික රේඛා හරහා එක්සත්ව සටන් කරන කම්කරු පන්තියට පමණක් බවත් සඳහන් කිරීමට විජේසිරිවර්ධන ඛේදනීය ලෙස  අසමත් විය. 

1923 “ජර්මානු ඔක්තෝබරයේ” විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමට කොමින්ටර්න් සහ කේපීඩී නායකත්වයේ අසාර්ථකත්වය පිළිබඳව ට්‍රොට්ස්කි විසින් කරන ලද පහත නිරීක්‍ෂණයෙන් මෙම විචාරය අවසන් කිරීම සුදුසු යැයි අපි සලකමු:

විප්ලවවාදී අර්බුදයක උපරිම තියුණු වීමේ කාල පරිච්ඡේද ඒවායේ ස්වභාවයෙන්ම සංක්‍රාන්ති වේ.  විප්ලවවාදී නායකත්වයක් හා වෛෂයික කර්තව්‍යයන් අතර නොගැලපීම (ධනේශ්වරයේ වියරු ප්‍රහාරය හමුවේ ජාමය බේරාගැනීමට දැගලීම, පැකිළීම, දෙගිඩියාව)  සති කිහිපයක් සහ දින කිහිපයකින් පවා ව්‍යසනයකට තුඩු දිය හැකි අතර සූදානම් වීමට වසර ගණනාවක් ගත් සියලු දේ නැති කර දමනු ලැබිය හැකිය…නායකත්වය අවස්ථාවට අනුගත වීමට සමත් වන විට, අවස්ථාව දැනටමත් වෙනස් වී ඇත; ජනතාව පසු බසිමින් සිටින අතර බලවේග අතර සම්බන්ධතාවය හදිසියේම නරක අතට හැරේ.” ලියොන් ට්‍රොට්ස්කි, ලෙනින්ගෙන් පසු තුන්වන ජාත්‍යන්තරය (පයනියර් පබ්ලිෂර්ස්, 1957, 97-98 පිටු)

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *