සිංහරාජ අඩවියේ ගොංගල කදු පාමුල දැවැන්ත ඉඩම් මංකාල්ලයක්
සංජිව චාමිකර
හිගුරාන සීනි කර්මාන්තශාලාවේ සභාපති ගයාන් දිසානායක සිංහරාජ අඩවියේ ගොංගල කඳු පාමුල ඉතා ම සංවේදී පරිසර පද්ධතියක් හෙළි පෙහෙලි කරමින් දැවැන්ත ඉඩම් කොල්ලයක් සිදු කර ඇත.
ඇඹිලිපිටිය, සනාරා හෝටලයේ හිමිකරු සහ හිගුරාන සීනි කර්මාන්තශාලාවේ සභාපති ලෙස කටයුතු කරන ගයාන් දිසානායක විසින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය පවිත්‍රා වන්නිආරච්චි යන අය ගේ සහයෝගය මත සිංහරාජ අඩවියේ ගොංගල කඳුවැටිය පාමුල සුවිශේෂී පරිසර පද්ධතියක් විනාශ කරමින් ඉඩම් ඇල්ලීමේ ජාවාරමක් ක්‍රියාත්මක කරමින් සිටී. ඔහුට ඇති දේශපාලන රැකවරණය පිළිබඳ ව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් මීට එරෙහිව ජනතාවගෙන් එල්ලවන ප්‍රතිවිරෝධය මැඩපවත්වා ගැනීමට ද උත්සාහ ගනිමින් සිටී.
කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උල්ලිදුවාව ග්‍රාමනිලධාරී වසමේ හේස්වත්ත, ගොංගල කොටසේ පිහිටි මෙම ජල පෝෂක භූමිය ගිං ගඟේ ආරම්භක දියදහරාවන් ලෙස සැලකේ. මේ ආශ්‍රිත ව පිහිටි තෘණ බිම් පද්ධතිය හා තෙත් බිම් පද්ධතිය ගෝනුන් හා කොටියන් ඇතුළු සත්ත්ව විශේෂවල ප්‍රධාන වාසස්ථානයක් වන අතර ඉතා ම දුර්ලභ හා ආවේණික උභයජීවීන් හා මිරිදිය කකුළු විශේෂ කිහිපයක් වාර්තා වන අද්විතීය පරිසර පද්ධතියකි. මෙහි ගවයන් ඇති කිරීමේ ගොවිපළක් ආරම්භ කිරීම සඳහා යැයි පවසමින් මෙම ස්ථානයේ අක්කර 5 ක් පමණ තෘණ භූමියක් හා අක්කර 2 ක් පමණ වන වනාන්තර ප්‍රදේශයක් එළි කිරීම සිදු කර ඇත. මීට අමතර ව මෙම සුවිශේෂී පරිසර පද්ධතිය ගිනි තැබීම ද සිදු කර තිබේ. මේ ආකාරයෙන් ඉඩම් නීති විරෝධී ව අත්පත් කර ගෙන මෙම ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ද වාර්තා වේ.
සිංහරාජ අඩවියේ විශේෂිත ම ප්‍රදේශයක් ලෙස සැලකෙන වසර මිලියන ගණනක් පුරා සමහර ජීවී විශේෂ හුදෙකලාව පරිණාමය වූ ගොංගල වනාන්තරය හා තෘණ භූමි පද්ධතිය මේ ආකාරයෙන් විනාශ කිරීම හේතුවෙන් දැවැන්ත විනාශයක් සිංහරාජ අඩවියේ ජෛව ප්‍රජාවට සිදු වනු ඇත. මීට අමතර ව ගිං ගඟේ ආරම්භක දියදහරාවන් විනාශ කිරීම හේතුවෙන් ඊට පහළ ප්‍රදේශවල ජීවත් වන ජනතාවට පානීය ජල අර්බුධයකට දරුණු ලෙස මුහුණ දීමට සිදු වන අතර මෙම වන විනාශය හේතුවෙන් ජලය රොන්මඩින් හා වෙනත් අපද්‍රව්‍යවලින් දූෂණය වීම නිසා එම ජලය භාවිතයට ගැනීමට නොහැකි වීම හා ජල පෝෂක බිම් අහිමි වීම නිසා ජනතාව ගේ ජල සුරක්ෂිතතාව ද බිඳ වැටීම සිදු වනු ඇත.
දේශපාලන රැකවරණය හා ව්‍යාපාරික බලය මත ගයාන් දිසානායක නීති විරෝධී ව මෙම විනාශයන් සිදු කරමින් පවතින්නේ පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමිනි. සිංහරාජ රක්ෂිත ප්‍රදේශය හා ඒ වටා සමස්ත ප්‍රදේශය ම 1996 අංක 24 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව 2008 මැයි 22 වන දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මඟින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවන් වූ සුවිශේෂී කලාපයක සිදු කරන ඕනෑ ම සංවර්ධන ක්‍රියාවලියක් ජාතික පාරිසරික පනතට අනුව පාලනය කර ඇත. ඊට හේතු ව යම් සංවර්ධන ක්‍රියාවලියක් මඟින් ජල පෝෂක ප්‍රදේශවල පැවැත්මය හෝ කඳු වැටිවල පැවැත්මට හානි කර බලපෑම් එල්ල විය හැකි බැවින් එම තත්ත්වයන් පාලනය කිරීම සඳහා ය.
සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වැඩි වනාන්තර ප්‍රදේශයක් එළි කර වනාන්තර නොවන භාවිතාවක් සඳහා යොදා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගත යුතු ය. මීට අමතර ව මෙම ගැසට් නිවේදනයට අනුව පස සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශයට පත් කළ යම් ප්‍රදේශයක් තුළ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී ද පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට අනුව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. ඒ අනුව ගයාන් දිසානායක මෙම සියලු වනාන්තර එළි කිරීම් සිදු කර ඇත්තේ නීති විරෝධී අයුරින් බව තහවුරු වේ.
අනුමැතියකින් තොරව නීති විරෝධීව සිදු කරන මෙම සියලු ක්‍රියා වලට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත. ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව එවැනි නීති ක්‍රියාවක නිරත වන පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියට යොමු කිරීමෙන් පසු වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.
ගයාන් දිසානායක විසින් ම සඳහන් කරන ආකාරයට මෙම ඉඩම් ඇල්ලීම සඳහා සහයෝගය ලබා දෙන ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය දා සිංහරාජයේ කුඩව පිවිසුම නවීකරණය කර විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් සඳහන් කර ඇත්තේ 2019 වසරේ දී සිංහරාජ රක්ෂිතයට අලුතින් වනාන්තර එක් කිරීම නිසා එහි නොයිදුල් බවට දැවැන්ත හානියක් සිදු වූ බව ය. මෙවැනි ප්‍රකාශ සිදු කරමින් ඔහු උත්සාහ දරන්නේ සිංහරාජ රක්ෂිතය වටා පිහිටි සුවිශේෂී පරිසර පද්ධති ඔවුන් ගේ ග්‍රහනයට නතු කර ගැනීමට ය.
මීට ප්‍රථම 2011 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සමඟ එක් වී සිංහරාජ රක්ෂිතයට පවරා ගැනීමට නියමිත ව තිබූ වනාන්තර පෞද්ගලිකව අත්පත් කර ගැනීමට සිංහරාජ අඩවිය දෙකඩ කරමින් බෙරලගල මූකලාන හරහා ඉළුබකන්ඳ – සූරියකන්ඳ මාර්ගය ඉදි කිරීමට සූදානම් වූයේ ද ජානක වක්කුඹුර විසිනි. මොවුන්ට මෙම වනාන්තර පද්ධතිය ආරක්ෂා කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ ව කිසිදු අවබෝධයක් නොමැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ වනාන්තර ඉඩම් අත්පත් කර ගැනීම පමණි.
ගයාන් දිසානායක සඳහන් කරන ආකාරයට ඔහුට දේශපාලන රැකවරණය ලබා දෙන පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය ද අමාත්‍යංශය ලැබී කෙටි කාලයක් තුළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පාලනය වන ඉඩම් කොල්ල කා ගැනීම ද සිදු කෙරින, දෙනියාය, විහාරහේන, සෙල්ලවකන්ඳ ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් සිංහරාජය ආශ්‍රිත ව පිහිටි විශාල තෘණ භූමියක අක්කර 50 ක් බලහත්කාරයෙන් අල්ලා ගෙන තේ වගාව සඳහා භූමිය සැකැසීම සිදු කර තිබේ. මෙම ඉඩම් සිංහරාජ වන රක්ෂිතයට පැවරීමට යෝජිත ව ඇති බැවින් ඒ පිළිබඳ ව අප අදාළ නිලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේ ඔවුන් පවසා සිටියේ පවිත්‍රා වන්නිආරච්චි ගේ දේශපාලන බලය මත මේ සියල්ල සිදු වන බව ය. මීට අමතර ව සිංහරාජ අඩවියේ පිහිටි ප්‍රධාන ම අලි මංකඩ වන මාණික්කවත්ත ප්‍රදේශයේ පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය ගේ පියාට අයත් ඉඩම් සෙවීම සඳහා මීට මාස කිහිපයකට ප්‍රථම නිරීක්ෂණ චාරිකාවක් සිදු කර ඇත්තේ ද දේශපාලන බලය භාවිත කරමිනි. මේ අනුව පෙනී යන්නේ දේශපාලඥයන් හා ව්‍යාපාරික කණ්ඩායම් එක් ව දැවැන්ත ඉඩම් මංකොල්ලයක් සිදු කරන බව ය.
ඇඹිලිපිටිය, සනාරා හෝටලය පවත්වාගෙන යන ගයාන් දිසානායක විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා පොලීසියේ නිලධාරීන්ට අල්ලස් ලබා දෙමින් දඩමස් විකිණීමේ ජාවාරමක් ද අඛණ්ඩව සිදු කර ගෙන යමින් තිබේ. මෙවන් පුද්ගලයන් දේශපාලන බලය මත හිගුරාන සීනි කර්මාන්ත ශාලාවේ සභාපති තනතුරට පත් කිරීමෙන් සිදු කර ඇත්තේ ඔවුන් ගේ ජාවාරම් අඛණ්ඩව සිදු කර ගෙන යාමට අවශ්‍ය පසුබිම සකසා දීම ය. එබැවින් මෙම නීති විරෝධී ක්‍රියා සියල්ල වහා ම නතර කළ යුතු අතර එම නීති විරෝධී ක්‍රියාවල නිරත වූ ගයාන් දිසානායකට එරෙහි ව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ඒ සඳහා බලපෑම් කිරීමට නීතියේ ආධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහයක් සහිත රටක් ගොඩනගා ගැනීමට වෙහෙස වන ජනතාව ගේ මැදිහත්වීම අත්‍යවශ්‍යය.
සංජිව දාමිකගේ මුහුණු පොතෙන් උබුටා ගත්තකි .