හඳගමගේ “රාණි“: චරිත ඝාතනයක් හා සමාජ විරෝධී ව්‍යාජ චිත්‍රපටයකි

හඳගමගේ “රාණි“: චරිත ඝාතනයක් හා සමාජ විරෝධී ව්‍යාජ චිත්‍රපටයකි

නන්දන නන්නෙත්ති විසිනි

මේ වසරේ ජනවාරි 25 සිට මහජන ප්‍රදර්ශනය සදහා නිකුත් කෙරුනු රාණි සිනමාපටය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දරුණුතම භීෂන සමයේ මවුවරුන්ගේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමට දැරුනු අසාර්ථක චරිතාපදානයකි. ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන අශෝක හඳගම  චිත්‍රපට ආකෘතිය ගොඩ නඟා අධ්‍යක්ෂනය කරයි. එහි නිෂ්පාදන පිරිවැය දරන්නේ ඉන්දියානු විනෝදාස්වාද සමාගමක් (Entertainment company) වන ලයිකා නිෂ්පාදන සමාගම (Lyca production) වෙනුවෙන් සුභාකරන් අලිරාජා ය. රාණි මෙම සමාගම විසින් නිෂ්පානය කරන ලද ප්‍රථම සිංහල චිත්‍රපටයයි. එය සිංහල චිත්‍රපටයක් ලැබූ ඉහල ම ආදායම් වාර්තාව තබා ඇත. එය ප්‍රථම දින එකොලහ තුල උපයන ලද ආදායම රුපියල් කෝටි අටකි. මෙරට සිදු වූ ආන්දෝලාත්මක සිදුවීමක් චිත්‍රපටයේ මූලික තේමාව වීමත්, 65,000 තරුණයනයන් ඝාතනය කල මෑත ඉතිහාසයේ සත්‍ය සිදුවීම් චිත්‍රපටයට අමුණා තිබීමත් නිසා එය, එම සිදුවීම්වලට මුහුන පෑ සමාජයේ විශේෂ අවධානය දිනා ගත්තේ ය. එහෙත් රාණි, එය නැරඹූ ප්‍රේකෂකයාට සාධාරනය ඉටු කළේ ද ? එනම් රාණි, කලාවේ හා සමාජ සංවර්ධනයේ අර්ථයෙන් කිනම් ස්ථානයක් භජනය කළේ ද?

එක් පිලිතුරක් දැනටමත් අපට ලැබී ඇත. රාණි ඉහලින් ම අගය කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ෆේස් බුක් පිටුවේ මෙවන් සටහනක් තබා ඇත. “අදින් වසර 35 කට පමණ පෙර …වකවානුව තුළ මා පිලිබද කතා බහ පැතිරුනේ මුරණ්ඩු මානව හිමිකම් සටන්කරුවෙකු ලෙසිනි. “පාද යාත්‍රා“ජන උද්ඝෝෂණ මාලාවේ (රාජපක්ෂ සහභාගි වූ උද්ඝෝෂනයක්) ප්‍රධාන ඉල්ලීම් හතරෙන් එකක් වූයේ ද 1988-90 කැරලි සමයේ අතුරුදහන් වූවන් වෙනුවෙන් වගවීම ය. චිත්‍රපටය සදහා උපුටා ගෙන ඇති. “1990 දියත් කල මවුවරුන්ගේ පෙරමුණේ කැඳවුම්කරුවෙකු ලෙසින් එදා මම කටයුතු කලෙමි.“

හඳගමගේ “රාණි“: චරිත ඝාතනයක් හා සමාජ විරෝධී ව්‍යාජ චිත්‍රපටයකි
මහින්ද රාජපක්ෂ චිත්‍රපටය නරඹමින් – ඡායාරූපය: ෆේස්බුක් වෙතිනි 

“රාණි චිත්‍රපටය තුළ මාගේ චරිතයට බිමල් ජයකොඩිගේ විශිෂ්ඨ රංගන දායකත්වය මෙම අතීතය නැවත සිහි කිරීමටත්, ඒ තුළ නැවත නැවතත් මා ජීවත් කරවීමටත් තරම් ප්‍රබල වූයේ ය.“

හඳගම සිය කෘතිය “සත්‍ය සිද්ධීන් මත පදනම් වූ ප්‍රබන්ධයක්“ බව චිත්‍රපටය ආරම්භයේ දී තිරය මත සටහන් කරයි. මේ ප්‍රකාශය අනුව කෘතිය සත්‍ය සංසිද්ධීන් පරිහරනය කරන ලද අධ්‍යක්ෂකවරයාගේ ප්‍රබන්ධයකි. එසේ වුව මෙය සත්‍ය කතාවක් හෝ ප්‍රබන්ධයක් හෝ නො වන බව ද හඳගම සඳහන් කර ඇත. නීතිමය ආවරණය උදෙසා චිත්‍රපටය ප්‍රබන්ධයක් ලෙස සඳහන් කිරීමට සිදු වූ බව ඔහු තව දුරටත් ඔහු පවසා තිබේ. අවසානයේ අපට නිගමනය කල හැකි වන්නේ මේ “රාණි“ නමින් ප්‍රදර්ශනය කෙරෙන සිනමාපටය මනෝරාණි සරවනමුත්තු නම් වෛද්‍යවරියගේ ජීවිතයේ අවසන් දශකය ප්‍රතිනිර්මාණය කරන චරිතාපදානයක්  බව ය. 

1990 පෙබරවාරී 18 දා, මෙරට විසූ, ජාත්‍යන්තරව පිලිගත් ජන මාධ්‍යවේදියෙකු, ප්‍රකට රංගන ශිල්පියෙකු, රූපවාහිනියේ ඉංග්‍රීසි අංශයේ අතිශය ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදකයකු වූ තරුණ රිචඩ් ද සොයිසා පැහැර ගෙන ගොස් ඝාතනය කරනු ලැබීය. රිචඩ්, ප්‍රකට කිකට් ක්‍රීඩකයෙකු, නාට්‍ය පිටපත් රචකයෙකු සහ ගුවන් විදුලි ශිල්පියෙකු වූ ලූෂන් ද සොයිසා සහ  ඉංග්‍රීසි වේදිකාවේ නිලියක් ලෙස ද අත් දැකීම් ඇති වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු දෙපලට දාව 1958 මාර්තු 18 දින ජන්මය ලැබූ කුලුඳුල් දරුවා ය. ප්‍රභූ පවුලක සැප සේ හැදුනු වැඩුනු රිචඩ් මුහුන දුන් මුල් ම ඛෙදවාචකය වූයේ සිය එකොලොස් වන වියේ දී දෙමාපියන් දික්කසාදයකින් වෙන් වීම ය. එවක් පටන් මනෝරාණි රිචඩ් වෙනුවෙන් ජීවත් වූ තනිකඩ මාතාවක වූවා ය. එම දරුවා තිස් එක්වන වියේ දී එවක ජනාධිපති ප්‍රේමදාස ආන්ඩුවේ රාජ්‍ය මැර කල්ලියක් විසින් ඇයට අහිමි කරනු ලබයි. එය, මනෝරාණී සමාජ ක්‍රියාකාරිණියක් බවට පත් කරන්නේය.

හඳගමගේ “රාණි“: චරිත ඝාතනයක් හා සමාජ විරෝධී ව්‍යාජ චිත්‍රපටයකි
මව සහ පුතු – රිචඩ් ද සොයිසා කුඩා කාලයේ සිය මව සමඟ – ඡායාරූපය: ඩේලි මිරර් අනුග්‍රහයෙනි

මනෝරාණිගේ ජීවිතයේ මෙම පරිච්ඡේදය රිචඩ්ගේ හා මනෝරාණිගේ ඉරණම නිශ්චය කරන ලද සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වය මත පිහිටා සිටී.

මේ සෑබෑ පදනම  අධ්‍යක්ෂකවරයා විසින්  මග හරිනු ලැබ ඇත. කිසි යම් කලා කෘතියක් එය ප්‍රබන්ධයක් ද, සත්‍ය කතාවක් ද යන කරුණ කුමක් වුවත් එම කෘතිය ජනිත කරන ලද වෛෂයික සත්‍යය කතෘගේ මැදිහත් වීමෙන් අඳුරු කරන්නේ නම්, එය පාඨකයා හෝ ප්‍රේක්ෂකයා මංමුලාවට ඇද දමන ව්‍යාජයක් වන්නේ ය.

සිනමා කෘතිය, නරඹන්නා තුල කුතුහලය දනවන ප්‍රකම්පනීය දර්ශන පෙලකින් ආරම්භ වෙයි. පළමු රූප රාමුව දරුවකු ප්‍රසූත කිරීමේ අවස්ථාවක් ප්‍රතිනිර්මාණය කරයි. එතැනින් වෛද්‍යවරිය (ස්වර්ණා මල්ලවාරච්චි) සිය මුව ආවරන ඉවත් කර දෑත් පිරිසුදු කරගෙන නළලත රතු පාට තිලකයක් තබා ගැනීම දක්වා ක්ෂනික ඡේදනයන් කිහිපයකින් එම දර්ශනය අවසන් වෙයි. ඊ ලගට අප හමුවට ගෙන එන්නේ රෝහලේ මෘත ශරීරාගාරය පසු කර යන වෛද්‍යවරියයි. පුවත්පත් කලාවේදීන් ඇය වට කර ගනී. ඇය ඔවුන්ට පිලිතුරු දෙමින් පවසන්නී “ මම තමයි මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම අම්මා. මට මගේ පුතා හම්බ වුනා.“ ඉනික්බිතිව මෝටර් රථය පදවා ගෙන යන වෛද්‍යවරියගේ කෝපය ශෝකය හා භිතිය මුසු හැගීම් ප්‍රකාශ කරන මුහුනේ සමීප රූප  අපට දැක ගැනීමට ලැබේ. සිගරට් පැකැට්ටුවක් මිල දී ගැනීමට කඩයකට ගොඩවන ඈ රිචඩ් ද සොයිසා ඝාතනය පිලිබද පුවත්පතක මුල් පිටුවේ පළ වූ වාර්තාවක් දැක ගන්නී ය. (මෙම ජවනිකාව සැබෑ මනෝරාණි ජීවත් වූ ආකාරයට සපුරා පටහැනි බව පැවසිය හැක. සැබෑ මනෝරාණිය කඩපිල්වලින් සිගරට් මිළ දී ගැනීමට යතැයි සිතීම අභව්‍යය.) අනතුරුව රාත්‍රීයක සන්නද්ධ කල්ලියක් නිවසකට කඩා වදින ත්‍රාසජනක දර්ශනයකි. වෛද්‍යවරිය සිය සුවිසල් නිවසේ තරප්පු පෙල නැග යන අතර ඇගේ නිවසේ සහායකයා ප්‍රශ්නාර්ථයක් මතු කරයි. “මැඩම්?“ ඊට ඇගේ පිලිතුර, “ඔව්, ඒ එයා තමයි.“

එතැන් පටන් රිචඩ්ගේ සහ රාණිගේ ඉරණම නිශ්චය කල සැබෑ ඉතිහාසය බොඳ කිරීමට හඳගම දැනුවත්ව මැදිහත් වෙයි. මෙය සත්‍ය කතාවක්වත් ප්‍රබන්ධයක්වත් නො වේ ය යන සිය අප්‍රභංශය පිටුපස මේ කරුණ සඟවා තැබීමට හඳගම වෑයම් කර ඇත. නමුත් එහි චරිත, සිද්ධි, ඒවා සිදු වූ දින වකවානු, ඇඳුම්, පුද්ගලයන්ගේ හැසිරීම් අධ්‍යක්ෂකවරයාගේ අර්ථකථනය ව්‍යාජයක් බවට පත් කරන්නේ ය. ඉහත උපුටා දැක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය ඊට කදිම නිදසුනකි. මතු කළ යුතු ප්‍රශ්නයක් ඇත. රිචඩ්ගේ සහ රාණිගේ ඉරණම තීන්දු කළා වූ ආසන්නතම ඉතිහාසය කුමක් ද?

1983 කලු ජුලියේ සිට ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ ආන්ඩුව තිස් අවුරුදු යුද්ධයට මුල පිරුවේ ය.1986 දෙසැම්බර් 15 දා, දෙමල ජනතාවගේ ස්වයං නීර්නය අයිතිය වෙනුවෙන් පෙනී සිටි කොලඹ විශ්ව විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයා වූ දයා පතිරන ජනතා විමුක්ති පෙරමුන විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කරන ලදී. 1987 ජුලි 24 දා ජයවර්ධන එවක අගමැති රණසිංහ ප්‍රේමදාස හා ප්‍රබල ඇමතියෙකු වූ ලලිත් ඇතුලත්මුදලිගේ විරුද්ධත්වය පවා නො තකා ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් කළේ ය. මීට විරුද්ධව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් සංවිධානය වූ ජවිපෙ තම ව්‍යාපාරයට සහාය නො දෙන ඕනෑම පුද්ගලයෙකු ඝාතනය කිරීමේ ත්‍රස්ත ව්‍යාපාරයක් දියත් කළේ ය.

එමඟින් පාලක එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් හා හිතවතුන් ඝාතනය කිරීම හා ආරක්ෂක අංශයේ සේවය කළ පුද්ලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඝාතනය කිරීම සිදු කෙරුණු අතර, මේ තත්ත්වයට ප්‍රතිචාර දැක්වූ 1988 ජනාධිපති ධුරය බාර ගත් ප්‍රේමදාස, මෙම ව්‍යාපාරය මර්දනය කිරීමට සිය ආරක්ෂක ඇමති රංජන් විජේරත්නට පැවරී ය. විජේරත්නගේ නායකත්වයෙන් මෙහෙයවුනු කණ්ඩායමේ තීන්දුව පරිදි ජවිපෙ සාමාජිකයන්, ඔවුන්ගේ නෑයන්, හිතවතුන් මෙන් ම ජවිපෙ කැරැල්ලට කිසිදු සම්බන්ධයක් නොවූ පුද්ගලයන් – විශේෂයෙන් තරුණයන් – පැහැර ගෙන ගොස් ඝාතනය කර මෘත දේහ විනාශ කර දමන ලදී. මරණ පරීක්ෂණවලින් තොරව මෘත ශරීර වළලා දැමීමට හදිසි නීතිය යටතේ විධිවිධාන සලසමින් ආණ්ඩුව එම ව්‍යාපාරයට නීතිමය ආවරණය සලසා දුන්නේය. ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් වාර්තාවල ගණන් බැලීමට අනුව සමස්ත භීෂනයට ගොදුරු ව දිවි අහිමි වූ තරුණ තරුණියන් සංඛ්‍යාව 65,000කි. මෙම ක්‍රියාන්විතය අවසාන වන විට, එක් ජවිපෙ ක්‍රියාකාරියෙකු විනාශ කිරීම සදහා ආසන්න වශයෙන් අහිංසකයින් අට දෙනෙකු බිලි ගෙන තිබිනි.

විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ සිය ගණනක් ගංගාවල පා වී ගියෝය, දහස් ගනනක්, විශේෂයෙන් ගම්බද තරුණයන්, අමු අමුවේ ටයර් මත දමා පුලුස්සා දමන ලදී. තවත් අයගේ කඳින් වෙන් කරන ලද හිස් ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කරන ලදී.

ජවිපෙ ත්‍රස්ත ව්‍යාපාරය දියත් වන විටත් ගොවියන්, කම්කරුවන්, සිසුන් අතරින් පැන නැඟි විරෝධතාවන්ට ආණ්ඩුව මුහුන දී සිටි අතර, ජවිපෙ “පළමුව මවුබිම“ යන සටන් පාඨය මගින් එම ප්‍රතිරෝධය අවමංගත කළේය. ආණ්ඩුව, තමන්ට එරෙහිව ගොනු වෙමින් පැවති මහජන ප්‍රතිරෝධය ඒ සා සාපරාධී ලෙස මර්දනය කිරීමට ඩැහැ ගත්තේ එම අවස්ථාව ය. ස්ව පාක්ෂිකයන්ට, රාජ්‍ය සේවකයන්ට හා හමුදා පොලිස් භටයන්ට එරෙහි ජවිපෙ ත්‍රස්ත ව්‍යාපාරය, එක් අතෙකින් ආණ්ඩුවේ තිරශ්චීන ප්‍රතිප්‍රහාරයට අවශ්‍ය සාධාරණීකරණය සම්පාදනය කළ අතර, අනෙක් අතින්, ඔවුන්ගේ “පළමුව මව්බිම”සටන් පාඨය උතුරේ තරුණයන්ට එල්ල වූ තුවක්කුවල උණ්ඩ බවට තරුණයන් දැක්කීමට දායක වෙමින් හමුදාවේ බඳවා ගැනීම් දිරිමත් කළේය. චිත්‍රපටයේ එන චරිත දෙකක් වන මහින්ද රාජපක්ෂ හා මංගල සමරවීර ඇතුළු ඔවුන්ගේ පක්ෂ ද, එපමණක් නො ව වෘත්තීය සමිති නිලධරය හා ඊනියා රැඩිකලුන් ද විජේවීර ඇතුළු නායකයන් ඝාතනය කර තත්වය පාලනය කර දෙන තෙක් ආණ්ඩුවේ තුවක්කුවල ආරක්ෂාව යටතේ සිටිමින් මෙම මහා අපරාධයට සහාය දුන්හ. රිචඩ් ද සොයිසා ඝාතනය හා ඔහුගේ මව මුහුණ දුන් තත්ත්වය මෙම දේශපාලනයේ එක් සුවිශේෂී ප්‍රකාශනයකි. එසේ වුවත් මෙම  භීෂන තත්ත්වය සම්බන්ධයෙන් කම්පනය හා ප්‍රතිරෝධය ජනිත කරන සුවිශේෂී දර්ශනයක් වූ රිචඩ්ගේ මළ සිරුර කොරලවැල්ල වෙරළට ගසා ගෙන ආ අවස්ථාවවත් චිත්‍රපටය තුළ ප්‍රදර්ශනය නොකිරීමට හඳගම හිතා මතා වග බලා ගෙන ඇත. සමස්ත සමාජය ම සැකයෙන් හා භීතියෙන් වෙලා ගත් ජවිපෙ මදාවිකාර ක්‍රියා. අපැහැදිලි, තාක්ෂනිකව දුප්පත් එක ම දර්ශනයකට සීමා කිරීම ද යථාර්ථය අතිසරල කිරීමකි.

මනෝරාණිගේ ජීවිතය අලලා පල වූ මාධ්‍ය වාර්තාවලට අනුව, යුද්ධය සහ වර්ගවාදී ප්‍රහාර නිසා අනතුරට පත් දෙමළ පීඩිතයන් ආරක්ෂා කිරීමට හා ඔවුන්ට රටින් පිට වී යාමට උදවු කිරීමට ඇය ක්‍රියා කර ඇත. එහෙත් වෙනම ඊලමක් සදහා අරගලය ඈ ප්‍රතික්ෂේප කළා ය. තම වැටහීමේ සීමාව තුළ පීඩනයට එරෙහිව නැගී සිටීමේ ගැහැණියක් මනෝරාණි තුළ ජීවත් වී ඇත. ජවිපෙ මදාවිකාරයට ඈ විරුද්ධ වූවා ය. ඇගේ පන්තියේ සහ සමාජයේ බොහෝ දෙනෙක් මුලදී සිතූ පරිදි ම එය මැඩ සාමය ස්ථාපිත කිරීම රජයේ කාර්යයක් බව ඈ විශ්වාස කළා ය.

හඳගමගේ “රාණි“: චරිත ඝාතනයක් හා සමාජ විරෝධී ව්‍යාජ චිත්‍රපටයකි
මනෝරාණි සරවනමුත්තු තරුණ වියේ දී – ඡායාරූපය: ෆේස්බුක් වෙතිනි

මේ පරස්පර විරෝධයන් හඳගමගේ රාණි තුළ අපට නො පෙනේ. ඒ වෙනුවට හඳගම ඉස්මතු කිරීමට උත්සාහ ගන්නේ තොරක් නැතිව විස්කි පානය කරන, සිගරට් පැකට් ගනන් හිස් කරන, සිය පුතාගේ සම ලිංගික ක්‍රියා ගැන උනන්දු වන, තරුණ මදයෙන් මත් ව සිටි නිසා සැමියා අහිමි කර ගත් සහ ඒ ගැන වගේ වගක් නැති ගැහැණියකි. චිත්‍රපටයට අනුව යුක්තිය උදෙසා ඈ අවදි වන්නේ හුදෙක් ඇගේ දරුවා මරා දැමීම නිසා ය.

මනෝරාණි සමීපව ඇසුරු කළ කිහිප දෙනෙක් ම මේ ගැන සටහන් තබමින් පවසන්නේ මෙම චිත්‍රපටය සත්‍ය විකෘති කළ චරිත ඝාතනයක් බව ය. මනෝරාණි චරිතය ගොඩ නැගීමේ දී ඇගේ ඥාතීන්ගෙන් හෝ සමීප හිතවතුන්ගෙන් කරුණු විමසා බැලීමට තරම්වත් අධ්‍යක්ෂක හෝ රංගන ශිල්පීන් ප්‍රයත්න දරා නැත. මනෝරාණිගේ චරිතය කෙබදු දැයි වටහා ගැනීමට උපකාරී වන එක් සටහනක් වෙත ඔබ යොමු කිරීමට කැමැත්තෙමු.

රිචඩ් ඝාතනයෙන් පසු රාණිගේ අතීතාවර්ජනය ලෙස රිචඩ් සමලිංගිකයෙකු බවත්, රාණි ඒවා ගනනකට ගන්නා සම්ප්‍රදායික මවක් නො වන බවත් පෙන්වීමට ගන්නා උත්සාහය ද එවැන්නකි. මිනිසුන්ගේ පෞද්ගලිකත්වය තුළට එබී බැලීමට මිනිස්සු කලා කෘති ඇසුරු නො කරති. 2021 දෙසැම්බර් 21 ඉලංගෙයි තමිල් සංගම් මෙසේ ලියා ඇත. “1991 වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ස්ටීවන් කෝල්ගේ වාර්තාවට අනුව  “ද සොයිසා සමලිංගිකයෙකු සහ ජවිපෙ හිතවතෙකු ලෙස හෙලාදැකීමට ප්‍රේමදාසගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෝ ‍නැඟී සිටියහ.“ ප්‍රෙමදාසගේ කැබිනට් මන්ඩලය සේ ම හඳගමගේ චිත්‍රපටයත් අපගේ අවධානය යොමු කරන්නේ එවන් දේ වෙත ය. රිචඩ්ගේ මරණය සම්බන්ධ යථාර්ථය අපෙන් ඈත් කරන මෙම දර්ශන සමස්ත රාජ්‍ය භීෂනය සරල අත් දැකීමක් බවට පත් කරමින් එය සාමාන්‍යයීකරණය නො කරන්නේ ද? සැබෑ අපරාධකාරයන් නිදහස් නො කරන්නේ ද?

හඳගමගේ “රාණි“: චරිත ඝාතනයක් හා සමාජ විරෝධී ව්‍යාජ චිත්‍රපටයකි
මනෝරාණි සරවනමුත්තු – ඡායාරූපය: අන්තර්ජාලයෙනි

චිත්‍රපටයේ එන රාජපක්ෂ හා මංගල සමරවීර යන දේශපාලනඥයන් රාණි යොදාගනිමින් රාජ්‍ය භීෂනයට විරුද්ධව උද්ඝෝෂනය දියත් කරවීමේ සිද්ධිය අවිචාරවත් ලෙස යොදා ගැනීම, ඉතිහාසයට නැවත නැවතත් වද දීමේ අධ්‍යක්ෂකවරයාගේ භාවිතය පිලිබඳ තවත් නිදසුනකි. අප මුලදී පෙන්වා දුන් පරිදි මේ සියලු දේශපාලඥයෝ ක්‍රියාශීලීව හෝ නිහඬව ආණ්ඩුවේ භීෂනය සමග පෙළ ගැසී සිටියහ. 1989 අවසාන මාසවල ඇඹිලිපිටිය පාසැල් සිසුන් 48 දෙනෙකු රාජ්‍ය හමුදා විසින් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය මුල් කරගෙන 1990 අවසාන කාලයේ ඇඹිලිපිටිය දූ දරු මවුපිය සංවිධානය ගොඩ නැගුනි. ඒ සමග ම දිවයින පුරා රාජ්‍ය මර්දනයට ගොදුරු වූ පවුල්වල සාමාජිකයෝ තම දූ දරුවන් ඉල්ලා නැගී සිටියහ.

එතෙක් සැඟව සිටි රාජපක්ෂලා උද්ඝෝෂණය තමන් අතට ගැනීමට මනෝරාණිගේ ද සහාය ඇතිව දර්ශන පථයට පැමිණියේ ඉන් අනතුරුව ය. ඒ අනුව මවුවරුන්ගේ පෙරමුණ 1991 පෙබරවාරිවල දියත් කෙරුණේ ය. එම රැස්වීම තිරයේ දිග හැරෙයි. එහි සිය අතුරුදහන් වූ හෝ මරා දමනු ලැබූ දරුවන්ගේ ඡායාරූප රැගත් මවුවරුන්, හැඩූ කඳුළින් යුතුව කථිකයන්ට සවන් දෙනවා පමනි. ඔවුන් කළ සටනක් හෝ එසේ සටන් කිරීමේ උද්වේගයක් හෝ ඔවුන් තුළ ඇති බවක් නො පෙනේ. හඳගමගේ චිත්‍රපටයේ එම කාල පරිච්ඡෙදයේ වීරයන් වන්නේ රාජපක්ෂ හා සමරවීර වැනි කයිරාටික දේශපාලඥයන් ය. චිත්‍රපටය නැරඹූ රාජපක්ෂ ප්‍රීතියෙන් ඉපිලී ගියේ එබැවිනි. සිය පාලන කාලය තුළ දහස් ගණන් පීඩිත මවුවරුන්ට සිය දරුවන් අහිමි කළ, දකුණේ සිය ගණනක් මාධ්‍යවේදීන් හා වෙනත් පුද්ගලයන් සුදු වෑන්වලින් ඔසවාගෙන ගොස් අතුරුදහන් කළ තමන් නහවා පිරිසුදු කළ චිත්‍රපටයක, රාජපක්ෂට හා එම පවුලට අමිළ වටිනාකමක් ඇත.

ප්‍රේමදාස හා ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස රිචඩ් ඝාතනය මෙහෙය වූ රොනී ගුනසිංහ එල්ටීටීඊ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් සුන් බුන් වී ගිය දර්ශනය, එයින් ප්‍රීතියෙන් පිනා ගිය මිනිසුන් රඟන දර්ශනය හා සමහර මිනිසුන් තවමත් ප්‍රේමදාසට ලෙන්ගතු බව පෙන්වීමට යොදා ගන්නා කරුණාදාස හා රාණි අතර දෙබස් ද යොමු වී ඇත්තේ නරඹන්නන් ඒ මේ අත ගෙන ගොස් අතරමං කිරීමට ය. මේ සිද්ධි සහ අවස්ථා අතර පැහැදිලි සම්බන්ධයක් නො පෙනේ. සියල්ල සිදු වීමෙන් පසු රාණි වැඩිහිටි නිවාසයක ජීවත් වන අතර, රාජපක්ෂ හා මංගල සමරවීර ඇතුලත් චන්ද්‍රිකා බන්ඩාරනායකගේ ආණ්ඩුව පිහිටුවා ගනී. රාණි සහ සෙසු මවුවරු දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවට පාවිච්චි වූයේය යන අති සාමාන්‍ය වැටහිමට එහා කිසිවක් චිත්‍රපටය නො පවසයි. මෙම රැවටිල්ලට විරුද්ධ උද්වේගකර හැඟීමක් ප්‍රේකෂකයා තුළ ඇති කෙරෙන එකදු රූප රාමුවක්වත් එහි නැති වීම සැලකිය යුතු කරුණකි.

ගුනසිංහ ඇතුලු මිනී මරුවන් රිචඩ් ඝාතනය සඳහා ගී ගයමින් ජිප් රියකින් ගමන් කරන දර්ශනයකින් චිත්‍රපටය අවසන් වේ. එය තකහනියේ චිත්‍රපටයට ඇතුලු කර ඇත්තේ මේ මරනයට ප්‍රේමදාස අන නුදුන් බව ප්‍රකාශ කිරීමට ය. එහෙත් පෙර දර්ශනයක දී, “තමන් වැඩ කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට ඉහලින් එන නියෝග යටතේ බව ගුනසිංහ මනෝරාණිට කියයි. අවසාන දර්ශනය ආන්ඩුව 65,000ක් තරුණයන් අමානුෂික වද බන්ධනයට ලක් කර ඝාතනය කළේ ජනාධිපතිගේ අනුමැතියෙන් නො ව හුදෙක් හිතුමතයටයැයි කියා සිටිමින්, මුලින් කී දේ නිවැරදී කිරීමට හඳගමට අවශ්‍ය වූවා සේ ය. සමස්ත චිත්‍රපටය තුල ම අප දකින්නේ විනිවිද දැකිය නොහැකි, අපැහැදිලි සහ අඳුරු සිද්ධි සහ අවස්ථා ය.

වැඩිපුර කතා බහට ලක් වන්නේ රාණි චරිතය නිරූපනය කල ස්වර්නා මල්ලවාරච්චි ගැන ය. අපගේ අධ්‍යයනයන්ට හසු වූ රාණිට කිට්ටුවටවත් ලංවීමට ඇය සමත් වී නැති බව සැබෑ මනෝරාණිගේ ඡායාරූපයක් පවා හඬ නගා කියනු ඇත. එහෙත් චිත්‍රපටයේ කලාත්මක නිර්මාණයක් ලෙස ඉස්මතු වන්නේ කරුණාදාසගේ (මයුර කාන්චන) චරිතයයි. ඔහුගේ අභිනයන් සහ දේහ ප්‍රකාශන ඉතා සාර්ථක වන අතර එය චරිතයක් ලෙස වෙන ම ගෙන විඳිය හැකි, නළුවාගේ කුසලතාවයෙන් ගලා එන නිර්මානයකි. එක් එක් නළු නිලියන්ගේ රංගන හැකියාවන් වෙන වෙන ම සලකා බැලිය හැකි ය. එහෙත් තිර පිටපතෙන් ම පැන නැග ඇති දුබලතා නිසා ඒවා අතර දැනෙන අන්තර් සම්බන්ධයක් පිහිටුවා ගත නො හැකි ය.

සමස්තයක් ලෙස ගත් කල චිත්‍රපටය ඉස්මතු කරන හැඟීම්, නරඹන්නා පාලක පන්තිය හමුවේ පරාජිතයෙකු සහ අසරණයෙකු බවට පත් කරන්නේ ය. එසේ වන්නේ චිත්‍රපටය පදනම් කළ සැබෑ සිදුවීම් කලාත්මකව පෙළ ගස්වනවා වෙනුවට අධ්‍යක්ෂකවරයා ඒ තුලට බලහත්කාරයෙන් කඩා වැදී, සිද්ධින් තුළ වන පරස්පර විරෝධයන් සහ ඒවා අතර පවතින අන්තර් සම්බන්ධය විකෘති කරන හෙයිනි. කුමන පන්තියක් හෝ දේශපාලනයක් නියෝජනය කලත් සැබෑ කලාකරුවෙකු සිද්ධි හා අවස්ථාවල පරස්පර විරෝධතා කලාත්මකව වග විභාග කරමින් කලා කෘතිය බිහි කරයි. සමහර විට ඔහුගේ දෘෂ්ටිවාදය ඒ තුලට ගලා ඒමට ද හැකි ය. එසේ වුවත් සිය පන්තිමය, දේශපාලනික පක්ෂපාතිත්වය උදෙසා දැනුවත්ව කෘතිය තුලට පිවිසෙන්නේ නම්, එය තව දුරටත් සැබෑ කලා කෘතියක් වන්නේ නැත.

මෙම චිත්‍රපටය ව්‍යාජයක් පමනක් නො ව කම්කරු පීඩිත ජනයාට එරෙහිව පාලක පන්තියේ අත ශක්තිමත් කරන ව්‍යායාමයකි. එය පුදුමයට කරුණක් නො වේ. හඳගම, පවතින සමාජ අර්බුදයට විකල්පයක් නැතැයි පිළිගෙන සිටින, අපේක්ෂා භංගත්වයට පත් මධ්‍යම පන්ති ස්ථරයක් නියෝජනය කරන්නෙකි. විජේවීර ඝාතනයෙන් පසු සියලු අපේක්ෂා බිඳ වැටුනු බව මෑතක සම්මුඛ සාකච්ඡාවක දී ඔහු ප්‍රකාශ කර තිබිනි. මේ වර්ගයේ බෙලහීනයන් අනුයන පශ්චාත් නූතනවාදය, එහි ස්වභාවයෙන් ම ඉතිහාසය නො තකා හරියි. අප මෙතෙක් පැහැදිලි කළ පරිදි “රාණි“ ව්‍යාජ කලා කෘතියක් ලෙස උපත ලබන්නේ අධ්‍යක්ෂකවරයා සිය පුද්ගලික සංකල්පයන්ට චිත්‍රපටය යටත් කළ බැවින් බව දැන් අපට ඉතා පැහැදිලිව සඳහන් කළ හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *