හිටපු පොලිස්පති අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

හිටපු පොලිස්පති අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ නිලධාරීන් හය දෙනෙකු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර මහේස්ත්‍රාත් බුද්ධදාස අද (28) නියෝග කළේය.

මිට වසරකට පමන පෙර සුදුවෑන් රථයකින් පැමිණි පිරිසක් මාතර පාලෑන ප්‍රදේශයේ ඩබ්ලිව් 50 හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ වැලිගම පොලිසියේ නිලධාරීන් ප්‍රති ප්‍රහාර එල්ල කිරිම නිසා කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ සැරයන් උපුල් කුමාරගේ මරණය සම්බන්ධයෙන් පැවැත් වු මරණ පරික්ෂණය අවසානයේ එම මරණය ඝාතනයක් බව තීරණය කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට සම්බන්ධ බව කියන පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග කළේය.

සැරයන් කුමාරගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වු මහේස්ත්‍රාත් පරික්ෂණයට ආදාළව පිටු 80 කින යුත් තින්දුව ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා වෙඩි වැදිමෙන් සිදු වු තුවාල හේතුවෙන් මරණකරු මිය ගොස් ඇති බව තින්දු කෙරිණ.

සබරගමුව පළාතේ හිටපු ආණ්ඩුකාර ඒ.ජේ. එම් . මුසම්මිල්ගේ පුත්‍රයාට අයත් වැලිගම පාලෑන ප්‍රදේශයේ පිහිටි ඩබ්ලිව් 50 හෝටලයට සුදු වැන් රථයකින් කඩා වැදුනු පිරිසක් වෙඩි තබන බවට 2023 දෙසැම්බර් 31 වන දින අළුයම කාලයේ වැලිගම පොලිසියට ලැබුණු තෙරතුරක් අනුව ක්‍රියාත්මක පොලිස් නිලධාරීන් සුදු වෑන් රථයට වෙඩි තැබු පසු එම වෑන්රථය පලා ගොස් තිබුණි.

වැලිගම පොලිසියේ දැනුම් දීමකට අනුව ඉමදුව අධිවේගී පිවිසුමේදී සුදු වෑන් රථය අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීහු එම රථයේ වෙඩි වැදී සිටි දෙදනෙකු 1990 හදිසි ගිලන්රථය ගෙන්වාගෙන ගාල්ල කරාපිටිය ඇතුළත් කර ඇති අතර වෙඩි වැදි සිටි දෙදනාගෙන් එක් අයෙකු මිය ගොස් සිටියේය. මිය ගොස් සිටියේ කොළඹ අපරාධ කොට්ඨාශය අනුයුක්තව සේවය කළ සැරයන් උපුල් කුමාර නැමත්තාය. අවුරුදු 46 ක් වන ඔහු ගලේවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර දෙදරු පියෙකු බව හෙළි වි ඇත.

අනෙක් වෙඩි වැදුණු පුද්ගලයාත් කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකයෙකු බව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මතු වු විරෝධතා හමුවේ විමර්ශන කටයුතු දකුණු පළාතේ පොලිසි වලින් ඉවත් කර අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට පවරන ලද අතර සිද්ධියට ආදාළ විමර්ශන වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීහු අධිකරණයට ඉදිරිපත් කළහ.

සිද්ධියට ආදාළව වසරකට අධික කාලයක් මහේසත්‍රාත් පරික්ෂණ අවසානයේ තීන්දු ප්‍රකාශයට පත් කරමින් කුමාරගේ මරණය අපරාධයක් බව තීරණය කළ මහේස්ත්‍රාත්වරයා අපරාධයට සම්බන්ධ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *