හොං කොං 47: චීන ජාතික ආරක්‍ෂක නීතිය යටතේ රාජ්‍ය ද්‍රෝහී චෝදනා එල්ල වූ සහ වරදකරුවන් කළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් කවුද?

The 47 Hong Kong activists who have been charged with subversion under the National Security Law
ඡායාරූප ශීර්ෂ වැකිය,හොංකොං ක්‍රියාකාරීන් 47 දෙනාට ජාතික ආරක්ෂක නීතිය යටතේ චෝදනා එල

චීනය විසින් පනවා ඇති ජාතික ආරක්‍ෂක නීතිය භාවිතයට ගනිමින් හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් 14 දෙනෙකු වරදකරුවන් යැයි තීන්දු කර තිබේ.

ඒ අතරට හිටපු මන්ත්‍රී ලියොං ක්වොක්-හං සහ හෙලේනා වොං, මාධ්‍යවේදිනියක වන ග්විනෙත් හෝ සහ හෙදියක් වන විනී යූ වැනි 2019 මහජන විරෝධතාවලට සම්බන්ධ වූ සාමාන්‍ය හොංකොං ජාතිකයින් ද වෙති.

2020 දී නිල නොවන නිලවරණ සංවිධානය කරමින් මැතිවරණයට ඉදිරිපත් විය හැකි අපේක්ෂකයින් තෝරා ගනිමින් රජය “පෙරළීමට” උත්සාහ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ක්‍රියාකාරීන් 47 දෙනා අතර ඔවුන් ද විය.

ඔවුන් සැබවින්ම ව්‍යවස්ථාදායකයට තේරී පත් වූයේ නම්, ඔවුන් “හොං කොංහි ව්‍යවස්ථාමය අර්බුදයක්[නිර්මාණය] ” කරනු ඇතැයි, අධිකරණය බ්‍රහස්පතින්දා (මැයි 30) තීන්දු කළේය.

මේ ක්‍රියාකාරීන් කවුද?

68 හැවිරිදි හිටපු විපක්ෂ මන්ත්‍රීවරයෙකුගේ සිට 28 හැවිරිදි ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු දක්වා, රාජ්‍ය ද්‍රෝහී චෝදනා එල්ල වූ හොං කොංහි වඩා ත් ප්‍රසිද්ධ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් පිරිසක් මෙම අධිකරණ තීන්දුව බලාපොරොත්තුවෙන් පසුවිය.

හොං කොං 47 ලෙස වඩා ත් ප්‍රසිද්ධ මෙම විත්තිකරුවන් 47 දෙනා මීට වසර තුනකට පෙර චෝදනාවට ලක් වූයේ, චීනය විසින් පනවන ලද ජාතික ආරක්ෂක නීතියක් (එන්එස්එල්) යටතේ ය. එය එම නීතිය යටතේ මේ දක්වා සිදු කළ විශාලතම මර්දනය ලෙස සැලකේ. කෙසේ වෙතත් ඔවුන් අතරින් 16 දෙනෙකු මෙම චෝදනාවට තමන් නිවැරදිකරුවන් බවට ප්‍රකාශ කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පැවති මහජන විරෝධතාවලින් අනතුරුව 2020 වසරේදී පැනවූ මෙම නීතිය ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය යැයි පවසමින් චීන රජය ඒ වෙනුවෙන් පෙනී සිටින නමුත් විචාරකයින් පවසන්නේ එය නගරයේ ස්වාධිපත්‍යය සහ නිදහස උදුරා දමා ඇති බව ය.

ප්‍රාදේශීය මැතිවරණ සඳහා විරුද්ධ අපේක්ෂකයින් තෝරා ගැනීමට නිල නොවන ලෙස “පූර්ව ඡන්ද විමසීම්” පවත්වා චීන රජය “පෙරළීමට” උත්සහ කළ බවට කාන්තාවන් 6 දෙනෙකුගෙන් සහ පිරිමි පුද්ගලයින් 39 දෙනෙකුගෙන් සමන්විත මෙම 47 දෙනාට නිලධාරීහු චෝදනා එල්ල කළහ.

මහාචාර්යවරයා – බෙනී තායි

Benny Tai during Occupy Central
ඡායාරූප ශීර්ෂ වැකිය,බෙනී තායි දේශපාලනයට පිවිසියේ 2013 වසරේදීය

කීර්තිමත් හොං කොං විශ්වවිද්‍යාලයේ වරක් නීතිය පිළිබඳ පූර්ණ කාලීන මහාචාර්යවරයෙකු වූ බෙනී තායි 2013 වසරේදී දේශපාලනයට පිවිසියේ ය.

ඔහු තව ත් දෙදෙනෙකු සමග එක්ව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් වූ ‘Occupy Central’ ව්‍යාපාරය ආරම්භ කළ අතර එය සාධාරණ සහ නිදහස් මැතිවරණයක් ඉල්ලමින් සටන් කළ හොංකොං ඉතිහාසයේ වැදගත් ම ව්‍යාපාරයක් බවට පත් විය. මෙම විරෝධතාවන්හි ඔහුගේ භූමිකාව හේතුවෙන් පසුව ඔහුට සිර දඬුවම් නියම විය.

ඉන් වසරකට පසුව, හොං කොංහි ජාතික ආරක්ෂක නීතිය පැනවීමෙන් පසු, හොං කොං විශ්වවිද්‍යාලය විසින් තායි විරෝධතාවලට සම්බන්ධ අපරාධමය ක්‍රියා හේතුවෙන් සේවයෙන් පහ කෙරිණි. තායි විසින් විශ්වවිද්‍යාලය චීන බලපෑම්වලට හිස නමන බවට චෝදනා කළ අතර එය “ශාස්ත්‍රීය නිදහසේ අවසානය” ලෙස හැඳින්වීය.

“මගේ ආදරණීය විශ්වවිද්‍යාලයේ අභාවය දැකීමෙන් මගේ හද කම්පා වෙනවා,” යැයි 60 හැවිරිදි ඔහු පසුව ෆේස්බුක් සටහනක සඳහන් කළේ ය. ඔහු තවදුරටත් චෝදනා කළේ, ඔහුව නෙරපා හැරීමේ තීරණය “විශ්වවිද්‍යාලය විසින් ගන්නා ලද එකක් නොව විශ්වවිද්‍යාලයෙන් ඔබ්බට ගිය අධිකාරියක් විසින් ගන්නා ලද්දක්” බව ය.

ජෝෂුවා වොං – ශිෂ්‍යයා

Joshua Wong  staged a sit-in protest at the Golden Bauhinia statue, given to Hong Kong by China to mark the 1997 handover, in front of the Convention and Exhibition Centre in Hong Kong, June 28, 2017.
ඡායාරූප ශීර්ෂ වැකිය,ජෝෂුවා වොං යනු හොංකොං හි වඩාත්ම හඳුනාගත හැකි මුහුණු වලින් එකකි

හොං කොංහි වඩා ත් ප්‍රසිද්ධ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු බව කියන ජෝෂුවා වොං ක්‍රියාකාරිකයෙකු ලෙස ගමන ආරම්භ කළේ ඔහුට වයස අවුරුදු 14දී ය.

2014 වන විට, ඔහු තමා සිරගත වීමට හේතුවක් වුණු කුඩ ව්‍යාපාරයේ (Umbrella Movement) නායකයෙකු බවට පත් විය.

2019 වසරේදී ඔහු නිදහසේ කරනු ලැබුවේ, හොං කොංහි අපරාධවලට සම්බන්ධ සැකකරුවන් චීන ප්‍රධාන භූමිය වෙත පිටුවහල් කිරීමට ඉඩ සලසන යෝජිත නීතියකට එරෙහිව එවකට ක්‍රියාත්මක වූ මහජන විරෝධතාවලට සහභාගී වෙමින් සිටි මිලියන සංඛ්‍යාත ජනතාවක් සමග එක් වීමට ඔහුට මග විවර කර දෙමිනි.

වන් චායිහි පිහිටි පොලිස් මූලස්ථානය පැය 15ක කාලයක් වටලාගෙන සිටි දහස් ගණනක් ජනයා අතර වොං ද විය. විරෝධතාකරුවෝ එම ස්ථානයට නොනවත්වා බිත්තර ප්‍රහාර එල්ල කළ අතර පසු දා උදෑසන 11:00 සිට අලුයම 4:00 දක්වා පමණ එහි බිත්ති මත තීන්ත ස්ප්‍රේ කරමින් ග්‍රැෆිටි අදින ලදී.

2019 විරෝධතා “නායකත්වයක් නැති ව්‍යාපාරයක්” ලෙස පුළුල් ලෙස ප්‍රචලිත වුව ද, විරෝධතාවයේ නායකයා ඔහු බව රජයේ නීතිඥවරු පැවසූහ. විරෝධතාකරුවන් “පොලිස් මූලස්ථානය සම්පූර්ණයෙන් ම වැටලිය යුතු” බවට ඔහු හඬ නගන වීඩියෝවක් ද ඔවුහු ගෙන හැර දැක්වූහ.

එම විරෝධතාවලට සම්බන්ධ වීම නිසා පසුව ඔහු සිරගත කෙරුණු අතර අනතුරුව හුදෙකලා මැදිරියක රඳවා තැබිණි. අධිකරණයට ​​අපහාස කිරීම සහ 1989 ටියනන්මෙන් චතුරශ්‍රයේ මර්දනය සිහිපත් කිරීම සඳහා පැවති සැමරුමකට සහභාගී වීම ඇතුළු තවත් චෝදනා රැසක් ද ඔහුට එල්ල විය.

2020 වසරේදී, ඔහු ඊට පෙර වසරේ පැවති විරෝධතාවලට සහභාගී වීම සම්බන්ධයෙන් වරද පිළිගත් පසු, ඔහු නොබියව පැවසුවේ: “සමහර විට බලධාරීන් කැමති ඇති මාව සැරින් සැරේ හිරේ දාන්න. නමුත් සිරගෙවල් හෝ මැතිවරණ තහනමක් හෝ වෙනත් අත්තනෝමතික බලතල කිසිවකට අපේ ක්‍රියාකාරිත්වය නතර කරන්න බැහැ කියලා මට විශ්වාසයි.”

දිගු කෙස් ඇති ‘විප්ලවවාදියා’

Leung "Long Hair" Kwok-hung, a lawmaker and chairman of the League of Social Democrats, holds a yellow umbrella while standing next to a prop representing the Hong Kong electoral reform proposal known as "831" during an oath-taking ceremony in the chamber of the Legislative Council in Hong Kong, China, on Wednesday, Oct. 12, 2016
ඡායාරූප ශීර්ෂ වැකිය,ලියොං ක්වොක්-හං විසින් පාර්ලිමේන්තුව තුළ කහ කුඩයක් අල්ලාගෙන සිටියේ විරෝධතාවක් වශයෙනි

සිය දිගු කෙස් වැටිය සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලන විපක්ෂයේ හිටපු මන්ත්‍රී ලියොං ක්වොක්-හං නිසැකව ම නගරයේ වඩා ත් ම නොබියව අදහස් පළ කරන විවේචකයන්ගෙන් කෙනෙකි.

“මාක්ස්වාදී විප්ලවවාදියෙකු” ලෙස ඔහු විසින් ම ඔහු හඳුන්වනු ලබන 68 හැවිරිදි ලියුං දේශපාලනික අදහස් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීමට ප්‍රසිද්ධියක් දරයි.

ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමකදී ඔහු විසින් කෙසෙල් ගෙඩියක් විසි කරනු ලැබීම දැඩි අවධානයක් දිනා ගත්තේ ය. දේශපාලන පාඨයක් සහිත බැලූනයක් මුදා හැරි ඔහු නීති සම්පාදකයෙකු ලෙස දිවුරුම් දෙමින් අධිකරණයේදී කහ පැහැති කුඩයක් අතැතිව (කුඩ ව්‍යාපාරයේ සංකේතය) “කුඩ ව්‍යාපාරය කවදාවත් අවසන් වෙන්නේ නැහැ,” යනුවෙන් උස් හඬින් පැවසීය.

මෙය ඔහුව නගරයේ පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට හේතු වූ අතර 2019 විරෝධතාවලට සහභාගී වීම නිසා ඔහු වසර දෙකකට ආසන්න කාලයක් සිරගතව පසුවිය.

ඔහුගේ සහකාරිය වන චෑන් පෝ-යිං ද කැපී පෙනෙන ක්‍රියාකාරිකාරිනියකි. ඔවුහු සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ලීගය ( League of Social Democrats) නමැති දේශපාලන පක්ෂයේ ආරම්භක සාමාජිකයන් අතර ද වූහ.

මෙම යුවළ 20 හැවිරිදි වියේ සිට එකිනෙකා දැන සිටි නමුත් විවාහ වූයේ 2021 ජනවාරි මාසයේදී ලියුං රාජ්‍ය ද්‍රෝහී චෝදනා චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ය. ඔවුන්ගෙන් එක් අයෙකු හෝ සිරගත කළහොත් විවාහක යුවළක් වීම මත සිරගතව සිටින තම සහකරු හෝ සහකාරිය බැලීමට සහ වෙනත් නීතිමය කටයුතු සඳහා ඔවුන්ට වැඩි අයිතියක් හිමි වනු ඇති බව ඔවුහු පැවසූහ.

විවාහයෙන් දින හතළිහකට පසු, ලියුංට නිල වශයෙන් රාජ්‍ය ද්‍රෝහී චෝදනා එල්ල විය.

දිගුකාලීන ක්‍රියාකාරිනිය – ක්ලෝඩියා මෝ

Claudia Mo in the Hong Kong parliament in 2017
ඡායාරූප ශීර්ෂ වැකිය,ක්ලෝඩියා මෝ මීට පෙර මාධ්‍යවේදිදිනියක ලෙස ටියනන්මන් මර්දනය ආවරණය කළාය.

තවත් ප්‍රමුඛ පෙළේ හිටපු විපක්ෂ මන්ත්‍රීවරියක වන ක්ලෝඩියා මෝ ආදරයට කැන්ටනීස් බසින් හඳුන්වනු ලබන්නේ, “ආන්ටි මෝ” ලෙසිනි.

හිටපු මාධ්‍යවේදිනියක වූ ඇය ඒඑෆ්පී පුවත් ආයතනයේ සේවය කළා ය. එහිදී ඇයට 1989 ටියනන්මෙන් චතුරශ්‍රයේ මර්දනය ආවරණය කිරීමට අවස්ථාව ලැබුණු අතර එය දේශපාලන පිබිදීමක් බව ඇය පැවසුවා ය.

ඇය 2006 වසරේදී විරුද්ධවාදී සිවිල් පක්ෂය පිහිටුවීමට උපකාර කළ අතර 2012 වන විට ව්‍යවස්ථාදායක කවුන්සිලයේ අසුනක් දිනා ගත්තා ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හැරීමට සිදු විය.

2020 නොවැම්බරයේදී, ප්‍රජාතන්ත්‍රවාදී ගැති මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු නෙරපා හැරීමෙන් පසුව, 67 හැවිරිදි ඇය තවත් කිහිප දෙනෙකු සමග ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලා අස්විය. එම පියවරත් සමග ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නියෝජනයක් නොමැති තරම් විය.

2021 ජනවාරි 6 වන දින පහන් වූ පසු පොලිස් නිලධාරීන් ඇයගේ නිවසට පැමිණියේ පූර්ව ඡන්ද විමසීම්වල ඇයගේ භූමිකාව සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට ය. ෆිනෑන්ෂල් ටයිම්ස්හි වාර්තාවකට අනුව, මූලාශ්‍රයක් එම පියවර විස්තර කර තිබුණේ, “හුදු මැරකමක්” ලෙසිනි.

ඇගේ සැමියා, එවකට 80 හැවිරිදි වියේ පසුවූ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී පිලිප් බව්රිං පසුව දැඩි ලෙස රෝගාතුර විය. මෝට බන්ධනාගාරයේ සිට ඔහු බැලීමට යාමට පවා අවසර හිමි නොවිණි. රෝහල්ගතව පසු වූ ඔහු අනතුරුව ඉන් පිටත් කර යවා තිබිණි.

ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තා කරන පරිදි අත්අඩංගුවට ගැනීමට පෙර, මෝ පවසා ඇත්තේ, ඇගේ මුණුබුරන් සමග වැඩි කාලයක් ගත කිරීමට හැකි වන ලෙස ඇය නිහඬව විශ්‍රාම යාමට සූදානම් වන නමුත් එය ඉක්මනින් සිදුවන දෙයක් නොවන බව ය.

LGBT ක්‍රියාකාරිකයා – ජිමී ෂාම්

Jimmy Sham spoke to the media during the anti-extradition bill march on 12 June 2019
ඡායාරූප ශීර්ෂ වැකිය,ජිමී ෂාම් LGBTQ අයිතීන් වෙනුවෙන් හඬ නඟන ප්‍රමුඛ ක්‍රියාකාරිකයෙකි

දිගු කාලීන දේශපාලන සහ LGBTQ ක්‍රියාකාරිකයෙකු වන ජිමී ෂාම්, හොං කොංහි විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ගැති කණ්ඩායම්වලින් එකක් වන සිවිල් මානව හිමිකම් පෙරමුණේ (CHRF) නායකයා ද විය.

ඔහු 2019 වසරේදී එල්ල වූ ප්‍රහාර කිහිපයක ම ගොදුරක් වූ අතර, ඉන් එක් ප්‍රහාරයකින් ඔහුගේ හිස තුවාල සිදු වූ අතර ඔහු රුධිරයෙන් වැසී ගොස් වීදියක වැතිර සිටින අයුරු දක්නට ලැබිණි. මෑත මාස කිහිපයේදී අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී ගැති ක්‍රියාකාරීන්ට පහර දුන් බවට සැක කරන රජයේ ආධාරකරුවන් විසින් මෙම ප්‍රහාරය සිදු කරන ලද බවට CHRF පැවසුව ද ඔහු නිසැක වශයෙන් ම ප්‍රහාරයකට ලක් වූයේ මන්දැයි අපැහැදිලි ය.

2021 වසරේදී, සිවිල් මානව හිමිකම් පෙරමුණ (CHRF) විසුරුවා හැරියේ, චීනයේ මර්දනකාරී වැඩපිළිවෙළ හේතුවෙන් එල්ල වන “පෙර නොවූ විරූ” අභියෝග මධ්‍යයේ තවදුරටත් ක්‍රියාත්මක විය නොහැකි බව පවසමිනි.

ඔහුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව ගත් කල, 37 හැවිරිදි ඔහු 2013 වසරේදී නිව් යෝර්ක්හිදී ඔහුගේ සහකරු සමග විවාහ විය. විදෙස් රටකදී සිදු කළ සමලිංගික විවාහ සඳහා හොං කොං පරිපාලනය පිළිගැනීමක් ලබා දිය යුතුයි යන මතය වෙනුවෙන් ඔහු පෙනී සිටියේ ය. එය ඔහු අවසාන අභියාචනාධිකරණය දක්වා ගෙන ගිය නඩුවක් බවට පත් විය.

2023 වසරේදී, ඔහු අර්ධ ජයග්‍රහණයක් ලැබුවේ ය. හොං කොංහි ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ අභියාචනය ප්‍රතික්ෂේප කළ නමුත් සමලිංගික විවාහ නීත්‍යනුකූලව පිළිගැනීමට රාමුවක් ස්ථාපනය කරන ලෙසට නගර රජයට නියෝග කළේ ය.

මෙම තීන්දුව නිකුත් කෙරුණේ ෂාම්, හොං කොංහි පූර්ව ඡන්ද විමසීම්වලට සහභාගී වීම හේතුවෙන් සිරගතව සිටියදී ය. ඔහු නිදහස් කළහොත් “ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන ක්‍රියා” අඛණ්ඩව සිදු කිරීමට ඉඩ ඇති “අධිෂ්ඨානශීලී සහ අධිෂ්ඨානශීලී තරුණයෙකු” බව පවසමින් විනිසුරුවරයෙක් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.

හොං කොංහි ජාතික ආරක්ෂක නීතිය යටතේ, ජාතික ආරක්ෂාව අනතුරේ දමන වැරදි සිදු නොකරන බවට විනිසුරුවරයාට ඒත්තු ගැන්වෙන්නේ නම් මිස සැකකරුවන්ට ඇප හිමි නොවේ. එය විශාල ලෙස විවේචනයට ලක්ව ඇත.

විත්තිකරුවන්ගෙන් බහුතරයක් වසර තුනකට වැඩි කාලයක් සිරගතව සිටින අතර ඔවුහු තීන්දුවක් බලාපොරොත්තුවෙන් සිටිති.

වරද පිළිගෙන ඇති 31 දෙනා අතර ෂාම් ද වේ. ඒ හේතුවෙන් ඔහුට උපරිම වශයෙන්, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වීමේ සම්භාවිතාවක් පවතී. සාමාන්‍යයෙන් හොං කොංහි වරද පිළිගැනීමෙන් ලැබෙන දඬුවම යම් පමණකින් ලිහිල් වීමට හේතුවක් වන නමුත් එය ජාතික ආරක්ෂක නීතිය යටතේ කෙසේ වනු ඇති දැයි අපැහැදිලි ය.

“දඬුවම ලිහිල් වේවි කියලා නොපවතින වරදකට වරද පිළිගන්නවා ද නැත්නම් අසාධාරණ ජාතික ආරක්ෂක නීතිය යටතේ පරදින සටනක සටන් කරනවා ද කියන අපහසු තීරණය ගන්න කියලා ඒ අයට බල කරනවා,” ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය කලාපීය නියෝජ්‍ය අධ්‍යක්ෂ හනා යන්ග් වාර්තාවක පැවසුවා ය.

මාධ්‍යවේදියා – ග්විනෙත් හෝ

Gwyneth Ho in 2020
ඡායාරූප ශීර්ෂ වැකිය,ග්විනෙත් හෝ ප්‍රසිද්ධියට පත් වූයේ ඇය නොදැනුවත්වම පහර කෑමට ලක්වන අයුරු සජීවීව විකාශය වීමේ සිද්ධියකින් පසුවය

හිටපු මාධ්‍යවේදිනියක වන 33 හැවිරිදි ග්විනෙත් හෝ දේශපාලනයට පිවිසීමට පෙර බීබීසී චීන සේවය, හොං කොං රජය සතු රූපවාහිනී ආයතයක් වන RTHK සහ ඔන්ලයින් ප්‍රවෘත්ති ආයතනයක් වන Stand News ඇතුළු ප්‍රවෘත්ති ආයතන කිහිපයක සේවය කළා ය.

ඇය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වන්නේ, 2019 විරෝධතා අතරතුරදී තමන් මැර පිරිසකගේ පහර කෑමට ලක් වන අයුරු ඇය නොදැනුවත්ව ම සජීවීව විකාශය වීම හරහා ය.

2020 වසරේදී, ඇය ප්‍රජාතන්ත්‍රවාදී පූර්ව ඡන්ද විමසීම්වලට සහභාගී වූ අතර එහිදී ඇයගේ ඡන්ද කොට්ඨාසය සඳහා ඉහළ ඡන්ද සංඛ්‍යාවක් රැස් කර ගත්තා ය. ඉන් වසරක් ගත වීමටත් ප්‍රථම ඇය අත්අඩංගුවට පත් වූවා ය.

අපේක්ෂකයින් 47 දෙනා නුසුදුස්සන් වීම “නොවැළැක්විය හැකි” යැයි තමා විශ්වාස කරන බව ඇය සිය සාක්ෂියේදී පැවසුවා ය.

“චීන කොමියුනිස්ට් පාලනය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් කිරීම සැමවිට ම ෆැන්ටසියක් බව බොහෝ හොං කොං වැසියන් ඔවුන්ගේ හදවතින් ම දැනගෙන හිටියා කියලා මම විශ්වාස කරනවා,” ඇය සාක්ෂි දෙමින් පැවසුවා ය.

පසුව විනිසුරු ඇලෙක්ස් ලී විසින් ඇය නවත්වන ලද අතර, ඇයට “සන්සුන් වන” ලෙස පැවසීය.

සෙසු විත්තිකරුවන් අතරට ඕවන් චව්, වෙන්ටස් ලවු සහ ටිෆනි යුවන් වැනි ක්‍රියාකාරීන් ඇතුළත් වන අතර ඔවුහු හඬ නගන තරුණ දේශපාලනඥයන්ගේ පරම්පරාවක් නියෝජනය කරති. ව්‍යවස්ථාදායක සභාවට කඩා වැදුණු සිය ගණනක් විරෝධතාකරුවන් අතර ලවු සහ චව් ද සිටි අතර, ඔවුහු එහි සභා ශාලා ගොඩනැගිල්ල කඩා බිඳ දමා හොං කොං ලාංඡනයට තීන්ත ඉසිණු ලැබූහ. එය 2019 විරෝධතාවල තීරණාත්මක අවස්ථාවක් විය.

හෙලේනා වොං සහ ක්වොක් කා-කි වැනි ඇතමෙකු දශක ගණනාවක අත්දැකීම් සහිත ප්‍රවීණ නීති සම්පාදකයෝ වූහ.

අනෙක් පිරිස හෙන්ඩ්රික් ලුයී වැනි සමාජ සේවකයන්ගේ සිට 2019 විරෝධතා මගින් පන්නරය ලද විනී යූ වැනි වෘත්තීය සමිති ක්‍රියාකාරීන් දක්වා විහිද යති.

එක රැයකින්, හොං කොංහි ප්‍රජාතන්ත්‍රවාදී සියලු ම දෙනා පාහේ සිරගත වූහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ඇප ලබා දීම ප්‍රතික්ෂේප වූ අතර ඔවුන් සිරගතව සිටින්නේ, ජාතික ආරක්ෂක නීතිය යටතේ චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් නඩු විභාගයට පෙර රඳවා තබා ගැනීම සාමාන්‍ය දෙයක් වී ඇති බැවින් ය.

පසුගිය පෙබරවාරි මාසයේ ආරම්භ වූ මෙම නඩු විභාගය මාස ගණනක ප්‍රමාදයන් සහ මතභේදවලට ලක්ව තිබේ. විත්තිකරුවන්ට ඇඳුම් මාරු කිරීමට හෝ ස්නානය කිරීමට අවස්ථාව ලබා නොදීමත් සමග ඇප ලබා දීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගය දින හතරක් දක්වා ඇදී ගියේ ය. ඔවුන්ගෙන් දස දෙනෙකු පසුව ක්ලාන්ත වුණු අතර කිහිප දෙනෙකු රෝහල්ගත කිරීමට ද කටයුතු කර තිබිණි.

අත්අඩංගුවට පත් නොවූ පිරිස අනාගතයේදී අත්අඩංගුවට පත්වනු ඇතැයි බියෙන් නගරයෙන් පළා ගියහ.

හොං කොං යනු, චීනයේ කොටසක් වන නමුත් 1997 බ්‍රිතාන්‍ය පාලනය අවසන් වූ දා සිට යම් ස්වයං පාලනයක් යටතේ පවතින රටකි. ක්‍රියාකාරීන් පවසන්නේ, එතැන් සිට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ක්‍රමයෙන් අහිමි වී ගොස් ඇති අතර, හොං කොං හරහා චීනය අස්ථාවර කිරීමට අදහස් කරන “විදේශ බලවේග” පිළිබඳව චීන රජය නැවත නැවතත් සඳහන් කර ඇති බව ය.

ඉහළින් ම දැක්වෙන රූපය නිර්මාණය කර ඇත්තේ, බීබීසී ලෝක සේවයේ නැගෙනහිර ආසියානු දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම විසිනි.

මෙම ප්‍රවෘත්තිය උපුටා ගන්නා ලද්දේ බීබීසී සිංහල අංශයෙනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *