71 අරගලකරුවන් සුවිශේෂී වන්නේ ඔවුන්ට “නොමියෙන අරමුණක්” තිබුණා – සේනාධීර ගුණතිලක

කියුබානු විප්ලවය ජයග්‍රහනය කර , වියට්නාම විප්ලවය ඉදිරියට ගමන් කරන තිබු තත්ත්වයක් තුළ1971 අරගලය කියන්නේ ලංකාව ඇතුලේ අලුත් පාරක් හොයපු මිනිස්සුන්ගේ කතාව බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක පවසයි .

” ශ්‍රේෂ්ඨ පරාජයක් නොමියෙන අරමුණක් ” යන මැයෙන් අප්‍රේල් 05 ගාල්ලේ පැවති 52 වන අප්‍රේල් විරු සමරුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ගුණතිලක එසේ පැවැසීය .

ගුණතිලක වැඩිදුරටත් මෙසේ පැවැසීය.

52වැනි අප්‍රේල් සමරුව අප වෙත ළඟාවුණේ ලංකාව පරාධීන රාජ්‍යයක් බවට පත්වෙනවද නැතිනම් නිදහස් මිනිසුන්ගේ සමාජයක් වෙනුවෙන් ජයග්‍රාහී සටනක් කරනවද කියන සන්ධිස්ථානයක සිටියදී. අප්‍රේල් අරගලය සමරන අරමුණ සම්බන්ධ සාකච්ඡාවකදි අපි තේමා පාඨය ලෙස තෝරාගත්තෙ ‘ශ්‍රේෂ්ඨ පරාජයක්-නොමියෙන අරමුණක්’ කියලා. ඒ තේරුමෙන් වඩාත් අභියෝගකාරී අවස්ථාවකට අපි අද පැමිණ සිටිනවා.
1971 අරගලය ආරම්භයෙදිම ඒක හැඳින්වුවේ චේගුවේරාකරයන්ගෙ කුමන්ත්‍රණයක් ලෙස, ඇත්ත පත්තරේ කිව්වෙ ‘සී.අයි.ඒ. කෙමනක්’ ලෙසයි. එහෙමත් නැත්නම් එවකට ආණ්ඩුවේ මතය දරපු අය නම්කරනු ලැබුවෙ අරගලය ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙසයි. නමුත් බාලා තම්පෝ වැනි නීතිඥයන් සහ සමහර වමේ සහෝදරවරුන් ඒක 71 කැරැල්ල ලෙස නම් කිරීමත් සමග ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලෙස නම් කිරීමේ උත්සාහය පරාජය වුණා. නමුත් මේක කැරැල්ලක්ද, නැගිටීමක්ද මොකක්ද කියලා අපි කියවා ගන්න ඕන.


ෆ්‍රෙඩ් හැලිඩේ විසින් 71 අරගලය සම්බන්ධයෙන් කළ මාක්ස්වාදී විග්‍රහයෙදි, ඔහු කියන්නෙ  ‘ලංකාවෙ සමාජයෙ ඉතිහාසය කොහොමටත් ගලා ගියේ නිසලතාවක කියලා.  ඒ විග්‍රහය (1971 Ceylonese Insurrection)සිංහලයට පරිවර්තනය කරලා ‘ සිතිජය මාධ්‍ය සංසදය’ ප්‍රකාශයට පත් කළ ‘අරගලයක උපත’ කියන කෘතියෙ සඳහන් කරන ආකාරයට ඒ නිසලතාව බිඳ දමලා සංවිධානාත්මකව අභියෝග කරපු පළවෙනි පිරිස 1971 අරගලකරුවන් බව ෆ්‍රෙඩ් හැලිඩේ කියනවා. එනිසා ඒ අරගලයේ හඬ සහ ජවය ලංකාවෙ  මුහුදු සීමාවෙන් ඔබ්බට යාම වළක්වන්න බැරි බව ඔහු කියා තිබුණා. ඔහු තවත් තැනක කියනවා, ලංකාවේ ඊනියා නිදහසෙන් පස්සේ සමාජ ඇළලී ගිය අර්බුදය හරියටම දැකලා එකට විසදුම මොකක් දකියලා හඩක් නැගුවේ 71පරම්පරාවයි . අරගල ගැන කතා කරනවා නම් ජයග්‍රහණ ගැන විශ්වාස තබනවා නම් අමතක කළ නොහැකි අරගලය 71 අරගලයයි .
1971 අරගලයක් සිදුවුනේ ඇයි? ලංකාවෙ පොලිස් ස්ථානවලට පහර දෙන්න ඒ සහෝදරවරුන් ඉදිරියට ආවෙ ඇයි? ඒ ගැන අපි කතා කරමු. 1960 දසකය කියන්නෙ මේ රටේ සමාජ ආර්ථික අර්බුදය උත්සන්න වූ යුගයක්. වරින්වර මාරුවෙන් මාරුවට පාලන බලයට පත් වූ ඩඩ්ලිලට, සිරිමාලට පුලුවන්කමක් තිබුණෙ නෑ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න. රටේ ආර්ථිකය අර්බුදයට ගිහින්, සමාජය එකතැන පල්වෙන්න පටන්ගත්තා. ජීවන වියදම වැඩිවෙද්දි, විරැකියාව උත්සන්න වුණා. ඉඩම් හිමිකම සම්බන්ධ ප්‍රශ්නය, අඳගොවි ප්‍රශ්න, ග්‍රාමීය තරුණයාට, ඉගෙන ගන්න තරුණයන්ට ජීවිතය සම්බන්ධ නිශ්චිතභාවයක් නැති අසහනකාරී තත්වයක් ඇවිත් තිබුණා. ඒ වනවිට දක්ෂිණාංශික දේශපාලනයට ප්‍රශ්න විසඳන්න නොහැකිකම විතරක් නෙවෙයි, පැරණි වාමාංශික දේශපාලනයේ නායකයන්ගෙ පාවාදීමේ ගැටලුවත් අපි 1960 දසකයෙ දැක්කා. 1964 ඉල්ලීම් 21 ව්‍යාපාරය ජයග්‍රාහී තත්වයක් කරා යන්න පසුබිමක් තියෙද්දි නුවරඑළියෙදි සිරිමා බණ්ඩාරණායක එක්ක හොර රහසෙ සාකච්ඡා කරලා ඇමතිකම් දෙකයි බාග දෙකකට වැඩකරන ජනතා ඉල්ලීම් පාවාදුන්නා. අන්න ඒ වගේ පසුබිමක තමයි ජනතාවට ඇත්ත උථ්තරයක් උවමනා කළේ. මොකද ඒ වෙනකොට ලෝකයේ වෙනත් රටවල ජනතාව අරගල කරනවා. ලෝකයේ විවිධ වාමාංශික ව්‍යාපාර ජයග්‍රහණ ලබමින්, විමුක්තිකාමී ව්‍යාපාර ගොඩනගමින් හිටියා. සමාජවාදය අරමුණු කරගත් අරගල ජයග්‍රාහී තත්වයක තිබුණා. කියුබානු විප්ලවය ජයග්‍රාහී වෙමින්, වියට්නාම් අරගලය ඉදිරියට යමින් තිබුණා. ඒ නිසා එදා ලෝකයේ අරගල වකවනුවක් තිබුණෙ. ඊට සමාන්තරව ලංකාවේදි අලුත් පාරක් හොයපු මිනිස්සුන්ගේ කතාව තමයි 1971 අප්‍රේල් අරගලය කියන්නෙ. එහිදී අපට හමුවෙනවා මේ රටේ දේශපාලන ඉතිහාසයෙදි මග හැර යන්න, අමතක කරන්න බැරි රෝහණ විජේවීර. සෝවියට් දේශයේ වෛද්‍ය අධ්‍යාපනයට ගිය නිසා තමන් ඉගෙන ගත්ත සමාජවාදයයි, එහි පවතින සමාජවාදයයි අතර පරස්පරය ඔහු ප්‍රශ්න කළා. ඒ නිසා ඔහුට සෝවියට් දේශයේ දොර වැසුණත් චීන කොමියුනිස්ට් පක්ෂයෙත් සමාජවාදය නැති බව දැනගැනීමෙන් පසුව ඔහු රටපුරා ගම් නියම්ගම්වල ඇවිද යමින් අලුත් දේශපාලන ව්‍යාපාරයක් ඔහු ආරම්භ කළා. මිනිස්සුන්ට කතාකරනවා, තරුණයෝ ශිෂ්‍යයෝ එක්ක සාකච්ඡා කළා. අතේ සල්ලි නැති වුණාම බඩගින්නෙ ඉන්න, බස් එකේ යන්න බැරි නම්, පයින් හරි යන්න, මුට්ට කරගහලා සල්ලි හොයාගෙන හරි දේශපාලන කටයුතු කරන්න අලුත් ආදර්ශයක් ඔහු ඉදිරිපත් කළා. ඒ විදියට සම්ප්‍රදායික දේශපාලනයෙ කතාව බිඳ දමලා වෘත්තිය විප්ලවවාදියකු සම්බන්ධ ආදර්ශය ඔහු ඉදිරිපත් කළා. ඒ තමයි නව වාමාංශික ව්‍යාපාරයේ පළවෙනි අත්තිවාරම. කොහොමද දේශපාලනය කරන්නෙ, කොහොමද පක්ෂයක් හදන්නෙ, ඇයි පක්ෂයක් ඕන, ඒ පක්ෂයේ කොඳුනාරටිය ගොඩනැගීම හරහා තමයි රෝහණ සහෝදරයා අපේ පක්ෂය ගොඩනගන්න‍ෙ.
අමාරුම කාලෙ පහුකරලා දේශපාලන අරමුණ එක්ක ඉදිරියට යද්දි එල්ලවන මර්දනය හමුවෙ තමයි ඔවුන් තීරණය කරන්නෙ අපි නැගී සිටින්න ඕන කියලා. 1971 අරගලය පැන නගින්නෙ එහෙම.
පක්ෂයේ ඒ ආරම්භක අවස්ථාව ගැන අපට ගොඩක් දේවල් කියන්න තියෙනවා. මේ නෙළුව ප්‍රදේශයේ ගුරුවරයෙක් වූ පක්ෂයේ ආරම්භක අවදියේම සාමාජිකයකු වුණු සරත් සහෝදරයා එයාගෙ වැටුපෙන් රුපියල් දෙසීයක් වගේ සුලු ප්‍රමාණයකින් පක්ෂ අරමුදල ආරම්භ කරන්න‍ෙ. 1971 දිස්ත්‍රික් නායකයා ලෙස කණ්ඩායමක් එක්ක සිංහරාජයට පසුබහිද්දි තවත් සහෝදරවරු කිහිප දෙනෙක් එක්ක අත්අඩංගුවට පත් වුණා. හිනිදුම පොලිසියෙන් ඔවුන් ලවාම වළවල් කප්පවලා වෙඩිතියලා මරා දමද්දි ඔවුන් ‘විප්ලවයට ජය වේවා, සමාජවාදයට ජයවේවා’ කියලා අවසන් ගමන් ගියේ. නොච්චියාගම රත්නායක සහෝදරයා ගහලා ගහලා වද දීලා, බාගෙට මරලා ජීප් එකේ බොනට් එකේ ගැටගහලා ඇදගෙන ගිහින් මරණයට පත් වෙද්දි ඔහු කිව්වෙත් ‘විප්ලවයට ජයවේවා, සමාජවාදයට ජයවේවා’ කියලා. රෝහණ විජේවීර සහෝදරයා ඒ වෙලාවෙ හැමන්හිල් කඳවුරෙන් යාපනේ බන්ධනාගාරයට ගෙනල්ලා හිටියෙ. ඔහු මුදාගන්න අම්බලන්ගොඩින්, කෑගල්ලෙන් අනුරාධපුරෙන් සහෝදරවරු ගිහින් ගත්ත උත්සාහය අසාර්ථක වුණා. බන්ධනාගාර තාප්පෙන් පනිද්දි වෙඩි වැදිලා මිය ගිය සහෝදරවරු අවසන් හුස්ම හෙලුවෙ ‘විප්ලවයට ජයවේවා’ කියලා. ඒක තමයි 71 අරගලයෙ කතාව. අපට කවදාවත් අමතක වෙන්නැති කීර්තිමත් විප්ලවවාදියෙක් හිටියා, කමලබන්දු සහෝදරයා. කිරින්දෙ පක්ෂෙ ගොවිපළේ හරිහමං කෑමක් නැතිව ගෝවා කොළ තම්බලා කමින් වැඩකරපු, අමාරුකම් දරාගත්ත සහෝදරයෙක්. අප්‍රේල් අරගලයෙන් පරාජිතව පසුබහිද්දි අත්අඩංගුවට පත් වෙලා ඔහු අරගෙන ආවෙ බද්දෙගම පොලිසියට. ගිං ගඟ අද්දරදි කෘෘර වධ දෙද්දි ඔහු කිසි දෙයක් හෙලිදරව් කළේ නෑ. ‘මම සටන් කළා’ කියලා තමයි කිව්වෙ. සහෝදරවරු ගැන අහදිද කිසිම දෙයක් කිව්වෙ නෑ. වධකයන් කියතකින් ඔහුගෙ අත පය කපලා අන්තිමට හිස වෙන්කරලා ගඟට දැම්මා. කමලබන්දුගෙ නිවස තිබුණෙත් ගිංගඟ අද්දර, ඔහුගෙ අම්මා ගංඉවුරෙ පාවෙන හිස දැකලා මූණ ඉඹලා ආපු ගඟට දැම්මා කියලා දැකපු ගම්වාසින් කියනවා.
එහෙම ජීවිත පරිත්‍යාග කරපු අරමුණ පාවා නොදුන් සහෝදරවරු අපට දුන් අරමුණක් අධිෂ්ඨානයක් තිබුණා. ඒ තමයි මේ සමාජ ක්‍රමය වෙනස් කළ යුතුයි කියන එක. ඒ වෙනුවෙන් අපට කරන්න පුලුවන් දේ කළ යුතුයි. ඒ සමහර අයට මේක පරාජය වන බව දැක දැක වැඩකරන්න අවශ්‍ය වුණා, මේ සමාජය වෙනස් කිරීමේ අරගලය ශක්තිමත් කළ යුතුයි කියන දැඩි අධිෂ්ටානයෙන් ඔවුන් ජීවිතය පරදුවට තියලා සටන් කළා.


මීට අවුරුද්දකට කලින් 51 වැනි අප්‍රේල් විරු සමරුව ආසන්නයෙදි අපේ රටේ ජනතාව මාර්තු 31 වැනිදා

මුල පිරුවා. ඒ අරගලයෙදි අපේ රටේ ජනතාව විවිධාකාරයෙන් සම්බන්ධ වුණා, දෙන්න පුලුවන් හැම දේම දුන්නා, සක්‍රිය ලෙස මැදිහත් වුණා, දායක වුණා. සටන් කළා. පයින් ගියා, බඩගින්නෙ හිටියා, ගුටි කෑවා, හිරේ ගියා, මර්දනයට මුහුණ දුන්නා. අපේ රටේ ජනතාව මිලියන ගණනක් මේ අරගලයට විවිධ ආකාරයෙන් එකතු වුණා. ඒ අරගලයෙදි විවිධ සටන්පාඨ ඉදිරියට ආවා. හොරාකාපු සල්ලි දීපල්ලා,  පාලකයන් පලයල්ලා, ගෝටාගෝ හෝම් කියලා ඔවුන් කිව්වෙ. ඒ සටන්පාඨ සමහරක බරපතළ දේශපාලන තේරුමක් තිබුණා. එකක් තමයි, ‘225ම එපා’ කියන සටන්පාඨය. ඒ සටන්පාඨය ගෙනාවෙ අපේ පක්ෂයෙන් හෝ වෙනත් වාමාංශික පක්ෂයෙන්ද? අපි කිව්වද පාර්ලිමේන්තුව පිළිගන්න ඕන නෑ, මෙන්න මේක සටන්පාඨයක් හැටියට ගන්න කියලා.  නෑ, ඒක ජනතාව අතරින් ආව සටන්පාඨයක්.
අවුරුදුද 76ක ඡන්දයදීමේ ඉතිහාසයෙදි පාර්ලිමේන්තුව කියන ඒ දේශපාලන ගුබ්බෑයම ඇතුළේ කිසි දෙයක් කරගන්න බෑ කියන තේරුම්ගැනීම නිසා තමයි ජනතාව ඒ ‘225ම එපා’ කියන සටන්පාඨය ගෙනාවෙ. අපි අහනවා, ඒ 225ම එපා කියන දේශපාලන අදහස ලාංකීය භූමියේ පළමුවරට පැල කළේ කවුද? ඒ තමයි 71 පරම්පරාව. විමුක්තිය උදාකරගත හැක්කේ දී ඇති දේශපාලන රාමුව තුළ නොව ඒ රාමුවෙන් පිටත බවට මුලින්ම හඳුනාගත් 1971 අරගලකරුවන් තමයි ඒ සටන් පාඨය සමාජයට ගෙනාවෙ. අන්න ඒ නිසා තමයි අපි කියන්නෙ ඔවුන්ට ‘නොමියෙන අරමුණක්’ තිබුණා කියලා. අපි ඒක ‘ශ්‍රේෂ්ට පරාජයක්’ කියන්නෙත් ඒ නිසා. පරාජයක් නම්, පරාජයක්ම තමයි, නමුත් ඒ නොමියෙන අරමුණක් වෙනුවෙන් කළ සටනක පරාජයක් නිසා ඒකට ශ්‍රේෂ්ට පරාජයක් කියන්නෙ. අවසන් අරමුණු ඉටුකරගත නොහැකි වුණත් දේශපාලන වශයෙන් උසස් අරමුණක් අත්පත් කරගන්නට උත්සාහ කිරීමක් එහි තිබුණා.
අපි නැවත 2022 මහජන අරගලයට ආවොත් එතැන ඉතාමත් ශක්තිමත් සටන්පාඨයක් තිබුණා ‘සිස්ටම් චේන්ජ්’, ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි කියලා. ඒක එක එක්කෙනා වෙන විදියකට අර්ථකථනය කළා. සමහරු හිතුවා පාර්ලිමේන්තුවට වෙන කට්ටියක් ගෙනාවොත් හරි කියලා. අපි එතැනට ගියොත් තමයි සිස්ටම් චේන්ජ් වෙන්නෙ කියලා ඔවුන් කිව්වා. අපිට කැමති කැමති ආකාරයට අර්ථ දෙන්න පුළුවන්, ඉතිහාසය කියවා ගන්නත් පුළුවන්. නමුත් ජනතාව කිව්වෙ ඒක නෙවෙයි, මේක කොට්ට උරයක් වගේ අනිත් පැත්ත හරවන්න ඕන කියලා. මෙන්න මේ කොට්ට උරයක් කනපිට ගහනවා වගේ වෙනස්කම් කළ යුතුයි කියලා මුලින්ම කිව්වෙ 71 පරම්පරාව. ඔවුන් ගෙනාවා ජයග්‍රහණයෙන් මෙහා යටපත් කරන්න, වලදාන්න බැරි දැවැන්ත සටන්පාඨයක්. ඔවුන් කිව්වා, ‘අධිරාජ්‍යවාදයට විනාශය-ජනතාවට විමුක්තිය, ධනවාදයට විනාශය-සමාජවාදයට විජයග්‍රහණය!’ ඒක තමයි ඔවුන්ගේ සටන්පාඨය. 2022 අරගලයෙදි අපට ඒක ගේන්න බැරි වුණා. ඒක පොදුජන අරගලයක් නිසා.
නමුත් 71 පරම්පරාව තමන්ට ලැබුණු සුලු දෙයකින් පවා යමක් කරන්න උත්සාහ කළා. ඔවුන් බලයට අභියෝග කරන්න අවශ්‍ය බව තේරුම් ගත්තා. ධනපති රාජ්‍ය බලයට වෙනත් බලයකින් අභියෝග කරන්න ඔවුන් තීරණය කළා. ජනතාව වෙනුවෙන් සටන් කළේ මේ පවතින පාලනයට පිටින් බලයක් ගොඩනගන අරමුණින්.
පහුගිය ජනතා අරගලයෙදි කිව්වෙ ජනතා බලයක් ඕන, ජනතා ආණ්ඩුවක් ඕන කියලා. නමුත් ඒ බලය සම්බන්ධ කතාව මේ රටේදි පළමුවරට කිව්වෙ 71 අරගලයෙ පරම්පරාව. ඔවුන් ඒක කෙලින් කිව්ව නිසා ඒ අදහස කියන්න සිදුවීමේ වේගය නිසා ඒ පරම්පාරවට බරපතළ හානි සිදුවුණා, ජීවිතවලින් වන්දි ගෙවන්න සිදුවුණා. නමුත් ඒ අරගල පරම්පරාව මේ සමාජයට බරපතළදේශපාලන පනිවිඩයක් ඉතිරි කළා. ඒ නිසා මේ අරගලයේ කතාව අපට විශේෂයි.
මේ වෙලාවෙ අපි මතක් කරගන්න ඕන, 71 අරගලයෙ ලස්සන සටන්පාඨයක් තිබුණා. ‘යුක්තිගරුක දේශයක්-සාධාරණ සමාජයක්-නිවහල් මිනිසෙක්’
පහුගිය අරගලයෙදි වරින්වර දෝංකාර දුන්නෙ, තවමත් අපේ සමාජය ඉල්ලා සිටින්නෙ ඒ හඬ නෙවෙයිද? ඒ නිසා ඒ සටන්පාඨ අහම්බෙන් මතුවුණ ඒවා නෙවෙයි. ඒ විතරක් නෙවෙයි, අදත් අප ඉදිරියේ ලෙළ දෙන්න ඕන, අපේ හිත්වල තබාගන්න ඕන අධිස්ටාන කරගත යුතු ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන ආදර්ශපාඨයක් 71 පරම්පරාව අපට දී තිබෙනවා. වධකාගාරවල, අඳුරු සිරකුටිවල ගහලා ගහලා දුර්වලව ඉඳිද්දි අතට අහුවුන අඟුරු කෑල්ලකින්, නැත්නම් වැගිරෙන ලේවලින් බිත්ත මත ඔවුන් ලිව්වා ඒ දැවැන්ත සටන්පාඨය. ‘දනින් වැටී ජීවත් වෙනු වෙනුවට, දෙපයින් සිට මිය යාම උතුම්!’ කියලා ඔවුන් අරගලයෙ පරාජය හමුවෙදිත් කිව්වා. ඒක තමයි, රෝහණ සහෝදරයා අපරාධ යුක්ති කොමිෂන් සභාව ඉදිරියෙ කිව්වෙ, ‘අප මරා දැමුවද, අප නැගූ හඬ සදා නොමියෙනු ඇත’ කියලා.
අන්න ඒ ආදර්ශපාඨය තමයි අරගලයෙදි ඔවුන් ඔසවා තැබුවෙ. 1988-89 අරගලයෙදි මර්දනයට ලක් වෙලා අපට හිටපු හොඳම නායකයන් අහිමි වෙනකොට අන්තිම පුරුකෙ හිටපු හාන්ත බණ්ඩාර සහෝදරයා වධයට ලක් වොල 1990 මාර්තුවෙදි මත්තෙගොඩ ආර්ඩී.එෆ්. කඳවුරේ සෙබලු අවසාන වශයෙන් කියන්න දෙයක් තියෙනවද කියලා අහද්දි ඔහු කිව්වෙ ‘මට තියෙනවා පක්ෂේට කියන්න දෙයක්’ කියලා. ශාන්ත බණ්ඩාර සහෝදරයා මැරුනේ පාවාදීලා නවෙයි කියල, පක්ෂෙට කියන්න, පුලුවන් නම් පනිවිඩය යවන්න කියලා තමයි කිව්වෙ. ඒ අපට නැවත දේශපාලන ව්‍යාපාරය ගොඩනගන්න දුන්න ශක්තිමත්ම පණිවිඩයක් බවට පත් වුණා. පාතේ දහස් ගණනකට වඩා වටින පනිවිඩයක් එහි ගැබ්ව තිබුණා. ආදරණීය සහෝදරයෙක් ජීවිතේ අවසන් මොහොතෙ දුන් ඒ පනිවිඩය වේදනාත්මකයි. හැබැයි ඒ වචනවලින් නැවත පක්ෂයට පණ දෙන්න මහා ධෛර්යයක් උත්පාදනය කළා.
ඒ වගේම තමයි ඔවුන් බිත්තියේ ලියුව ඒ වචන. අද මේ ආර්ථික අර්බුදයෙන් බැට කන, පාලකයන් විසින් තවදුරටත් පීඩාවට ඇද දමන මේ රටේ වැඩකරන ජනයාට, කම්කරුවන්ට, ගොවියන්ට, ධිවරයන්ට, ශිෂ්‍යයන් ඇතුලු පීඩිතයන්ට ඇති ශක්තිමත්ම සටන්පාඨය තමයි,  දනින් වැටී ජීවත් වෙනවා වෙනුවට, දෙපයින් ඉඳන් අරගල කරන්න ඕන කියන එක. ඒක පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හෝ වෙනත් දේශපාලන පක්ෂයකට විතරක් නෙවෙයි, මේ රටේ සමස්ත පීඩිත ජනතාවට තමන්ගෙ ජීවත්වීම හා සම්බන්ධ මග හැර යා නොහැකි කාරණාවක්.
දැන් අපි ඉදිරියේ පැමිණ තිබෙන්නෙ පොඩි කානිවල් කාලයක්, අපායෙ ඉන්ටවල් එකක්, අරගලයෙ හඬ යටපත් කරමින් සරල වෙනස්කම් ටිකක් මේ සමාජයෙ යම් නිසලතාවක් පෙනෙන්න තිබෙනවා. නමුත් මේ ගෙවෙන්නෙ ‘යක්ෂයාගෙ හෝරාව’ බව කිව යුතුයි. යක්ෂයා විසින් සමාජයක් ලෙස අප කා දැමීමට අවශ්‍ය සියල්ල සූදානම් කරන නිසලතාවක් මෙහි තිබෙනවා. තවදුරටත් මේ නවලිබරල් ධනවාදයට අපගේ ප්‍රශ්න විසඳන්න, සමාජ ජයග්‍රහණ ගෙන එන්න හැකියාවක් නෑ. ඒක ලෝකයේම තත්වයක්. යුරෝපයෙද, ලතින් අමෙරිකාවෙද ලංකාවෙද කියලා නෑ, හැම තැනම මිනිස්සුන්ට සටන් කරන්න වෙලා තියෙන්නෙ. නවලිබරල් කොල්ලය ඔස්සේ අප මුහුණ දෙන මාරාන්තික ප්‍රශ්නවලට විසඳුම් සොයන්න වෙන්නෙත් අපටමයි.
වැටුප් කප්පාදුව, විශ්‍රාම වැටුප් කප්පාදුව, රැකියාවෙන් නෙරපා දැමීම, සමාජ ආරක්ෂණ සේවා, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා කප්පාදුව, පෞද්ගලිකකරණය ආදි මේ සියල්ල හමුවේ අපට අරගල කරන්න වෙනවා.  ඇයි අපි එහෙම කියන්නෙ? දැන් අපි ඉන්නෙ රෙපයාර් කරන්න බැරි ආකාරයේ සිස්ටම් එකේ ප්‍රශ්නයක. අර අනුර සහෝදරයා කියනවා වගේ හොඳ කාර් එකක ගිහිල්ලා, එයාල කියන විදියට පාර්ලිමේන්තුවෙන් ජයග්‍රහණ ගන්න පුලුවන්ද? ඒක කරන්න බෑ කියලා නැවත නැවත ඔප්පු වෙලා තියෙනවා. හැබැයි අපි යන්න ඕන කැලේ පාරෙන් නෙවෙයි. කැලේ පාරෙ යනවා කියලා ගොඩක් අය හිතාගෙන ඇති. නමුත් අපි යන්නෙ මහජනයා සමග මහජන බලයකින් ජනතා ජයග්‍රහණ දිනාගන්න පාරක මිස වෙන පාරක නෙවෙයි. රෙපෙයාර් කරන්න බැරි, හැම දැති රෝදෙම ගෙවිලා, හැම මුරිච්චියක්ම ඇනයක්ම දිරාගිය යන්ත්‍රයක් බව අපට කියලා දුන්නෙ මේ පාලකයන්ම මේ පාලන යන්ත්‍රය, ධනවාදය විසින්ම තමයි. අපි ව්‍යුහාත්මක අර්බුදයක් ලෙස හඳුන්වන තත්වයක් නිසා මේක සම්පූර්ණයෙන් ඉවත්කරලා නව සමාජ ආර්ථික ක්‍රමයකින් විසඳන්න ඕන අවස්ථාවක් ඇවිත්. ඒ නිසා තමයි ජනතාව ලියන්න පටන් ගත්තෙ ‘225ම එපා’, ‘සිස්ටම් චේන්ජ්’ එකක් ඕන කියලා.
මේ අර්බුදයට මුල් වෙච්ච 1978 මේ රටට ගෙනාව නවලිබරල් ආර්ථිකය සමග මේ රටේ පාලකයන්ගෙ ආරක්ෂාවට ජේ.ආර්. ජයවර්ධන හැදුවා ව්‍යවස්ථාවක්. එතනින් නතර නොවී 1979 ගෙනාවා ‘ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත’. දකුණෙ ජනයාට කිව්වෙ මේක උඹලට ගහන්න නෙවෙයි, මේක උඹලට විරුද්ධ දෙමළට ගහන්න, කොටින්ට ගහන්න ගෙනාවෙ, ඒ නිසා සද්ද නොකර ඉඳපල්ලා කියලා.
මේ නීති පනත් ගෙන ආවෙ මොකටද කියලා කියවා ගන්න පුලුවන්, 77 ආර්ථිකය නවලිබරල්කරණය, 78 ව්‍යවස්ථාව, 79 ත්‍රස්ත පනත, ඉන්පස්සෙ 1981 ධවල පත්‍රිකාව ගෙනාවා. අධ්‍යාපනය විකණන ප්‍රතිපත්තිය ගෙනාවෙ වේලාසනින්ම. නවලිබරල් ධනවාදය කියන්නෙ අපේ හැම ආරක්ෂණ සේවාව, හැම මහජන දේපළක්ම, පරිසරය, මිනිස්සු, ගහකොළ, සතා සීපාවා, ජලය, වාතය පවා ලාභය වෙනුවෙන් බිලිදෙන, විකිණෙන ක්‍රමයකට. ඒ ගැන කියන්න වෙනත් අකාරයක් නෑ. නමුත් මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තිය සමිති, වාමාංශික ව්‍යාපාරය, ප්‍රගතිශීලි මිනිස්සු සටන් කරලා, ජීවිත පුදලා ඒ උත්සාහය පරාජය කළා. නමුත් දැන් ලංකාවේ පාලකයන් නැවත ඒ උත්සාහය ගනිමින් ඉන්නවා. මර්දනයට පාර කපමින් ඉන්නවා.
තව පැත්තකින් අපි මේ කතාව ගත්තොත්, මේ රටේ දේශපාලනය තුළ 17 වැනි සංශෝධනය වගේ දේවල් හරහා ජේ.ආර්.ගෙ ව්‍යවස්ථාවට පැලැස්තර දාලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හැකිය, කියන මිත්‍යාවක් ගෙනාවා. අපිත් කාලයක් හිටපු පක්ෂය තුළ ඒ කතාව තුළ හිටියා. නමුත් ඒ මිත්‍යාව ඒ අය විසින්ම බිඳ දමලා තිපෙනවා. 17 ගෙනාවා ඊට පස්සෙ 18න් කප්පාදු කළා 19 ගෙනාවා, ඉන්පස්සෙ 20න් කපා දමුවා, ඊළඟට 21 සංශෝධනයෙන් පැලැස්තර දැම්මා. නමුත් වැඩක් වෙලා නෑ. ස්වාධින කොමිෂන් සබා බල්ලට ගිහින්, ඒවායෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්න තියා නියමිත ආකාරයෙන් දින දාලා පැවැත්විය යුතු මැතිවරණයක්වත් තියන්න බැරි බව පෙන්වා දී තිබෙනවා. ඒ නිසා මේ දේශපාලනය විසින්ම අපට පෙන්වා දී තිබෙන්නෙ මේ ව්‍යවස්ථාවට නැවත පැලැස්තර දැමීමෙන් පලක් නෑ කියලා.
ඒ නිසා මේ ව්‍යවස්ථාව තුළ ඇති නරුම විධායක ජනාධිපති ක්‍රමයත් සමග මේ ව්‍යවස්ථාව ඉවත් කළ යුතු බව පෙන්නුම්කර තිබෙනවා. ඒ නිසා අද අපට තිබෙනවා අලුත් ව්‍යවස්ථාවක් ජයග්‍රහණය කිරීමේ අභියෝගය. අප කියන ‘නොමියෙන අරමුණු’ කරා යනවා නම්, නව ජනතා ව්‍යවස්ථාවක් ගොඩනැගීමේ අභියෝගය අප හමුවේ මේ සමාජය හමුවේ තිබෙනවා. මේ රටේ වැඩකරන ජනතාවගේ, මේ රටේ ගොවියන්ගෙ, ධීවරයන්ගෙ, කාන්තාවගේ, ශිෂ්‍යයන්ගෙ, උතුරෙ, වතුකරයෙ මේ කියන සෑම සියලු ජනතාවගේ අරමුණු වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් බිහි කළ යුතුව තිබෙනවා. හැමදාම සූරාකෑමෙන්, මර්දනයෙන් පරාජය කළ මැතිවරණවලින් රැවටීමට ලක් කළ ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගෙ අරමුණු, ඔවුන්ගේ අයිතිවාසිකම් මේ රටේ නීතිය බවට පත් කළ යුතුව තිබෙනවා. අන්න එවැනි ජයග්‍රහණ ලබාගැනීමට නම් අපට දනින් වැටී ජීවත්වෙනවා වෙනුවට දෙපයින් ඉන්න පුලුවන් වෙන්න ඕන. ඒක තමයි පළවෙනි කාරණය, අපි ඒකට සූදානම්ද, අපි ලෑස්තිද?
අපි දේශපාලන ව්‍යාපාරයනක් ලෙස වැඩකරද්දි අයන්න ආයන් කියලා දෙනවා වගේ අහන ප්‍රශ්නයක් තමයි චන්දෙ ඉල්ලනවද නැද්ද කියන එක. ඒ කියන්නෙ මේ නියෝජිත ප්‍රජාතන්තවාදය, පාර්ලිමේන්තුව විශ්වාස කරනවද කියන කාරණය. කතිරෙ ගහන එක ගැන තමයි සේරම විශ්වාසය තබන්නෙ. අද තිබෙන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දුන්නෙ ලෝකයේ විප්ලවවාදි පරිවර්තනවලින්. ප්‍රංශ විප්ලවයෙ ඉඳලම ආව ගැටලුවක් තමයි, මේ නියෝජන ක්‍රමය ඇත්තටම ජනතාව නියෝජනය කෙරෙන එකක්ද කියන එක. රූසොලා ඒ විවාදය දේශපාලනයට ගෙනාවා. ඒ පාර්ලිමේන්තු ක්‍රමයට ජනතාව වෙනුවෙන් කරන්න පුලුවන් කෙංගඩෙියක් නෑ ලංකාවෙදි ඔප්පු කරලා ඉවරයි. ජනතාවගේ අපේක්ෂාවන්, අයිතිවාසිකම්, ජනතා මතය තවදුරටත් මේකට නියෝජනය කරන්න, ඒ වෙනුවෙන් පෙනී හිටින්න බෑ කියලා සනාථ වෙලා ඉවරයි. ඒ නිසා පාර්ලිමේන්තුවට පිටතින් නව මහජන බලයක් නිර්මාණය කළ යුතු බව පහුගිය අවුරුද්දෙ මහජන අරගලය තුළ කියැවුණ වැදගත්ම පනිවිඩයක්.  අන්න ඒ පාර්ලිමේන්තුවෙන් ජනතා අරමුණු ඉටු නොවන නිසා පිටතින් ජනතාවගේ බලය ස්ථාපිත කරන්න පුරෝගාමී වුණු පම්පරාවක් ලෙස තමයි 71 පරම්පරාව කියවා ගන්න වෙන්නෙ. මේ අවුරුදු 52කට පස්සෙ, මේ බොරු නියෝජනයෙන්, පරණ කතාවෙන් එළියට යන්න වෙනවා කියලා, මේ රටේ ජනතාවට, අපි හැමෝටම කියන්න සිදු වෙලා තිබෙනවා. ඒ අලුත් කතාව වෙනුවෙන් අපේ රටේ අරගලයෙ යෙදුණ ක්‍රියාකාරිකයන් මහජන කවුන්සිල ගොඩනැගුවා. ඊට සමාන්තරව අපි පක්ෂයක් ලෙස ජනතා අරගලය වෙනුවෙන් කටයුතු කරන්න, ජන අරගල සභා වෙනුවෙන් ක්‍රියාත්මක වුණා.
මේ නිසා ඉදිරි දේශපාලනය තුළ සිදුවෙමින් තිබෙන්නෙ මේ රටේ පාලක පන්තියේ දේශපාලනයේ අවසාන හැරවුම බව කිව යුතුව තිබෙනවා. ඔවුන් දැන් මාස ගණන් කියමින් ඉලක්ක තබනවා, ජනතාවට බලාපොරොත්තු ඇති කරමින් තිබෙනවා. ඒ කාලය අවසානයේ ඔවුන් තීරණාත්මක තැනකට යමින් ඉන්නවා. ඒ නිසාම අප ඉදිරියේත් තිබෙන්නෙ තීරණාත්මක දේශපාලන මොහොතක්.
ජේ.ආර්. ඒ දවස්වල තමන්ගෙ අත්තනෝමතික දේශපාලනයට අභියෝග කරපු රෝහණ සහෝදරයාගෙ නම කිව්වෙ, රොහාන් විජේවීර කියලා. ඒ වගේ රනිල් වික්‍රමසිංහගේ කටින් වචන කියලා පනින්නෙ, අපේ පක්ෂයේ කුමාර් සහෝදරයා ගැන, ශිෂ්‍ය ව්‍යාපාරය ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගැන, හැබැයි එයාට නම පටලැවෙනවා. නමුත් පාලකයන් නිශ්චිත කරගෙන ඉන්නවා ඔවුන්ට දේශපාලන අභියෝගය එන තැන.
අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව ඉල්ලා සිටින විසඳුම් හොයන්න නොහැකි නිසා ඔවුන් අවසාන ක්‍රියාමාර්ග ලෙස ලංකාවෙ සමාජ ආරක්ෂණ සේවා වගේම ආර්ථිකයේ මර්මස්ථාන බිලිදෙන්න සූදානම් වෙනවා. විදුලිය, ඛනිජ තෙල්, ඉඩම් වගේ හැම දෙයක්ම ලංසුවට තියන්න සූදානම්. අධ්‍යාපනය, සෞඛ්‍ය තවදුරටත් පෞද්ගලික සමාගම්වල ලාභය වෙනුවෙන් බිලිදෙන්න සූදානම්. විදුලි බිල වැඩිකරලා ඔවුන් කොල්ල කන්න වැඩ කළේ මේ රටේ අවම විදුලි පරිභෝජනයක් සහිත, ආර්ථික රැකවරණ දිය යුතු මට්ටමේ අමාරුවෙන් ජීවත්වන, ලක්ෂ 14ක් ජනතාවයි. ඒ තමයි මේ පාලකයන්ගෙ ඇත්ත මුහුණ, මේ තමයි මේ නවලිබරල් ධනවාදයෙ ඇත්ත ස්වරූපය. අප නිතරම කියන නවලාබරල් ධනවාදය මොනවගේද කියලා දැනගන්න නම්, පහුගිය මාසෙ විදුලි බිලයි ඉදිරි මාසෙ බිලයි දිහා බැලුවම තේරුම් ගන්න පුලුවන්. ආර්ථික අර්බුද හමුවේ ඔවුන්ගේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ගෙන් අය නොකර, ඒ වෙනුවට ඔවුන් සමග කරට අත දාගත් පාලකයන්ට ආරක්ෂා වීම සඳහා නැති බැරි පහත මාලයේ ජනතාව කොටුකරලා, හපකරලා දමන එක තමයි ඔවුන්ගෙ විසඳුම. ඉතින් අපි අහන්නෙ මේ වෙලාවෙ දනින් වැටී ජීවත් වෙනවා වෙනුවට, දෙපයින් ඉඳන් මේ ක්‍රමයට විරුද්ධව සටන් වැදීම හැර විකල්පයක් අපට ඉතිරි කරලා නෑ. 71 පරම්පරාව අපට දුන් පනිවිඩය ඒක.
මේ වනවිට දේශපාලනය තවදුරටත් සංකීර්ණ කරමින් අප හමුවට පැමිණ තිබෙන නව අභියෝග ගැන මේ වෙලාවෙ සාකච්ඡා කළ යුතුයි. ඔබ දන්නවා, කලාපීය බල අරගලයක් තුළ කැබලිකරලා එක් එක් බලවත් රාජ්‍යයට අවශ්‍ය ලෙස අධිරාජ්‍යවාදී සූරාකෑමකට ලක් කිරීමේ අනතුරක් මේ රනිල් වික්‍රමසිංහ-රාජපක්ෂ පාලක පැලැන්තිය විසින් උදාකර තිබෙනවා. 1971දි විජේවීර සහෝදරයා ඉන්දියන් ව්‍යාප්තවාදය ලෙස මේ කතාව ගෙන එද්දි කරුණුවල ලොකු පැටලිල්ලකුත් තියෙනවා. 71 අරගලය මර්දනය කරද්දි ඊට සමගි පෙරමුණු ආණ්ඩුවට සහාය දෙමින් එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, ඉන්දියාව විතරක් නෙවෙයි, සෝවියට් දේශය, චීනය මේ රටට කඩාවදින්න උත්සාහයක් ගත්තා. තමන්ගෙ කොක්ක ගහන්න සූදානම් වුණා. ඒ කතාව තවම ආරම්භ වෙලා නෑ. ණය ගැන කතාකරන්න ලෑස්තියි කියලා දැන් කියලා තියෙනවා. ණය කල්දාන්න කැඳවන සාකච්ඡා මෙසෙදි ‘අපි මේක කළොත් ආපහු අපට දෙන පංගුව මොකක්ද, අපට උඹලගෙන් මෙන්න මේ දෙවල් අවශ්‍යයි’ කියලා කියන්න නියමිතයි. ඒක තමයි අපට මාරාන්තික ප්‍රශ්නය. ඒ මාරාන්තික මොහොත ඉක්මනින් සමාජයක් ලෙස අප හමුවට එන්න නියමිතයි. 1987 ඉන්දු ලංකා ගිවිසුම ගහද්දි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධ අරමුණ තිබුණා. ඒක අමෙරිකාවටත් ඉන්දියාවටත් අවශ්‍ය වෙලා තිබුණ ඉලක්කයක්. දැන් ත්‍රිකුණාමලය ආර්ථික කලාපයක් ලෙස මෙන්ම මිලිටරි කලාපයක් ලෙස අත්පත් කර ගැනීමේ අරමුණ තිබෙනවා. ආර්ථික මර්මස්ථාන අත්පත් කරගනිමින් තිබෙනවා. දකුණේ හම්බන්තොට වරාය, කොළඹ පෝට් සිටි ආශ්‍රිතව චීනයට බලය හිමිවන විට කොළඹ වරායෙ බටහිර පර්යන්තය හරහා ඉන්දියාවෙ අදානිගෙ ප්‍රාග්ධනයට බලයක් හිමි වෙනවා. උතුරේ ධිවර ජනයාට ජීවනෝපාය අහිමි කරමින් ඉන්දිය ධීවර ව්‍යාපාරිකයන්ගෙ බෝට්ටුවලට ඉඩ දෙන්න බලපෑම් සිදු වෙමින් තිබෙනවා. මෙගවෛාට් 1000ක ඉන්දිය විදුලි රැහැනක් ලංකාවට ඇතුලු කිරීම සම්බන්ධ අරමුණ තිබුණා. ඒ වගේම අධිවේගි මාර්ගයකින් ධනුස්කොඩි දක්වා ඉන්දිය ප්‍රාග්ධන අරමුනු වෙනුවෙන් සම්බන්ධ කිරීමේ අවශ්‍යතාව තිබුණා. මේවා ඉදිරියට එමින් තිබෙනවා. තවදුරටත් පරාධීන සමාජයක් ලෙස ලෝක බලවතුන් හමුවේ දනින් වැටීමේ අනතුරක් වගේම සමාජ ආරක්ෂන සේවා ඇතුළු සියල්ල අහිමි කිරීමේ අනතුරක් අප හමුවේ තිබෙනවා.
අර්බුද හමුවේ තවදුරටත් පොඩිපට්ටම් කිරීමේ අරමුණ ලෝක පරිමාණයෙන් ජනතාවට මුහුණ දෙන්න සිදුව තිබෙනවා ලෝක පරිමාණයෙන් ජනතාව මේ අභියොගයට ලක් වෙමින් තිබෙනවා.
ලංකාවෙදි මේ පීඩාකාරී තත්වයට එරෙහිව දනින් වැටීම වෙනුවට දෙපයින් නැගී සිටින්න, ප්‍රශ්න කරන්න, හඬ නගන්න, සටන් කරන්න සූදානම්වන ජනතාව මර්දනය කරන පනතක් රනිල් වික්‍රමසිංහ – රාජපක්ෂ පාලනය විසින් පාර්ලිමේන්තුවට ගෙනත් තිබෙනවා. මාක්ස් විසින් කිව්වෙ නීතිය කියන්නෙ පාලකයන්ගෙ අවිය කියලා. ත්‍රස්තවාදියා කවුද කියලා තීරණය කරන්නෙ රනිල් වික්‍රමසිංහ ඇතුලු පාලක පැලැන්තිය. ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ නීතියේ ත්‍රස්තවාදියෙක් වෙනවද නැත්නම් රනිල් වික්‍රමසිංහ පළවා හරින්න අභියෝගය භාරගන්නවද කියලා ප්‍රශ්නයක් අප ඉදිරියේ තිබෙනවා.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටියට අපි 1971 විරුවන්ගේ ස්මාරකය හමුවේ අපි සපත කරමින් කියන්නෙ, දනින් නොවැටී දෙපයින් හිඳිමින් ජීවිතය වෙනුවෙන් මේ අරගලය අපි පටන් ගන්නා බවයි.
1979 ඉඳලා මේ රටේ සෑම ප්‍රදේශයකම ජනතාව දහස් ගණන් ත්‍රස්වාදී පනත යටතේ සිරදඬුවමට ලක්කළා, වධ බන්ධනයට පමුණුවා, මරණයට පත් කළා. ඒ නීතිය මොන තරම් නරුම අමානුෂික, අයුක්ති සහගත එකක්ද කියලා සමහර අයට දැනගන්න ලැබුණේ පසුගිය අරගලය මර්දනය කිරීමෙදි ශිෂ්‍ය නායකයන් ලෙස සිරිධම්ම හාමුදුරුවන්, වසන්ත සහෝදරයා මාස ගණන් සිරගත කිරීමත් සමග. ඒ හරහා සිරගත කෙරුනු කෙනෙකු හංගගෙන ඕනම කාලයක් රඳවා තියන්න හේතු දක්වන්න පුලුවන්, ඕන තරම් වද දෙන්න පුලුවන්, වද දීලා ලියවා ගන්න පාපොච්චාරණයකින් සිරකරුවන් අධිකරණයෙදි වැරදිකරුවන් කරන්නත්, අවශ්‍ය නම් මරාදමලා හේතු දක්වන්නත් පුලුවන්. දැන් මේ රනිල් ගේන්න හදන්නෙ ඊටත් වඩා භයානක පනතක් බව දැනටමත් ඔබ දන්නවා. ඒ නිසා මේ මෘග නීතියට විරුද්ධව, කොන්දේසි විරහිතව, උතුරේ, දකුනේත්, දක්ෂිණාංශික, වාමාංශික ඕනම ප්‍රවාහයක් එක්ක එකතු වෙලා මේ පනත පරාජය කිරීමේ වගකීමක් අප හමුවේ තිබෙනවා. ඒ අරගලය ජයග්‍රහණය කිරීමේදී අවසාන වශයෙන් සටන් කරන්න වෙනවා නම්, ඒ සටන්කරුවන් බවට පත් වෙන්න හැකියාව, ධෛර්යය අප තුළ තිබිය යුතුයි.
ඒ නිසා දේශපාලන අභියෝග ගණනාවක් අප හමුවේ තිබෙනවා. ඉදිරියේදී අපව නිහඬ කරතබන්න, ගොලුවන් බිහිරන් කරන පනත්වලට එරෙහිව සටන් කරන්නත්, සමාජයක් ලෙස වහලුන් බවට පත්කරන අරමුණුවලට එරෙහිව සටන් කරන්නත් දනින් වැටී ජීවත් වෙනවා වෙනුවට සටන් කරගන්නත් සූදානම් වෙමු. අප මේ කියන්නෙ හුදු මරණය තෝරාගැනීම ගැන නෙවෙයි, මේ රටේ වැඩකරන ජනතාවගේ, ගොවියන්, කම්කරුවන් ඇතුළු ජනතාවගේ ශිෂ්‍යයන්ගේ, කාන්තාවන්ගේ පීඩිත ජන ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරන පුලුල් මහජන ව්‍යාපාරයක්, ජයග්‍රහණ වෙනුවෙන් අධිෂ්ටානයෙන් අරගල කරන විප්ලවවාදී බහුජන ව්‍යාපාරයක් පිළිබඳවයි. අන්න ඒ අරගල මාවතේදී අප්‍රේල් විරුවන්ගේ ආදර්ශය, ධෛර්ය රැගෙන ඉදිරියට යමු, සමාජවාදයට ජය වේවා, අරගලයට ජය වේවා!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *