සසප ආරක්ෂා කිරීමේ අරගලය: අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ‌ඓතිහාසික ඥානය මත පදනම් වීමට කළ කැඳවුම 

සසප වාමාංශය වෙනුවෙන් නිහාල් ගීකියනගේ විසිනි.

මෙහි පහත පලවන ලිපිය 2022 ඔක්තෝම්බර් 28 දින ශ්‍රී ලංකා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) හලාවත ශාඛාවේ සසප වාම කන්ඩායමේ සහෝදරවරු විසින්, පක්ෂ නායකත්වයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා මූලධර්ම විරෝධී ක්‍රියාකලාපයෙන් පක්ෂය ආරක්ෂා කිරීම සදහා එහි ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර වෙත යැවූ ලිපියකි. සාමාජිකයන්ගේ එවන් ප්‍රයත්නයන් පක්ෂ නිලධාරී තන්ත්‍රයේ වෛරයට පාත්‍ර වූ අතර ඒවා  සහෝදරවරුන් විශාල සංඛ්‍යාවක් නෙරපීම හැර මාවතක් නැතැයි යන පක්ෂ නායකත්වයේ විනාශකාරී තීන්දුවට හේතු විය.  පක්ෂ නායකත්වයට යැවුනු සසප වාමාංශයේ ලිපි දුසිම් ගනනක් සාමාජිකත්වය තුල කිසිදු සාකච්ජාවකින් තොරවම කුනු කූඩයට විසිකෙරුනු තතු යටතේ  මෙම ලිපිය ද පක්ෂ සාමාජිකත්වය පවා කියවන්නේ අද පලමු වතාවටය යන්න සැලකිල්ලට ගත යතුය.

දීපාල් ජයසේකර,

ස.ස.ප ප්‍රධාන ලේකම්,

ශ්‍රී ලංකාව.

ප්‍රිය සහෝදරය,

නන්දන, සංජය හා ආනන්ද වක්කුඹුර යන සහෝදරවරුන්ගේ සාමාජිකයකත්වය අත්හිටුවා මාස තුන පසුකර ඇත. නමුත් මේ තුන්දෙනා සම්බන්ධයෙන් මේ වන විටත් කිසිම දේශපාලන ප්‍රශ්නයක් ඉදිපත් කර නැත.

විප්ලවවාදී පක්ෂයට භේදයක් සදහා දේශපාලන හේතු පැවතිය යුතු ය. ඒවා හුදෙක්  හේතු නොව සමහන් කල නො හැකි පන්ති ප්‍රතිවිරෝදයන් විය යුතු ය. ඔබට එවැනි කිසිවක් ඉදිරිපත් කිරීමට නැති බව අපි වගකීමෙන් කියමු.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස සහෝදරවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව අප ශාඛාව තුළ අනවරත අරගලයක් ගෙනයමින් පවතී. මේ ප්‍රශ්නය මතු කිරීම ම පක්ෂයේ මධ්‍යගතවාදයට පටහැනි බව ශාඛා නායකත්වය පවසයි. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව මධ්‍යගතවාදය පිහිටුවීම පක්ෂ තන්ත්‍රයේම පිළිවෙතයි. මෙයට එරෙහිව මාක්ස්වාදී ලෝක ව්‍යාපාරයේ ඵෛතිහාසික අත්දැකීම් වග විභාග කර ගැනීමට දැරූ සෑම ප්‍රයත්නයකටම එරෙහිව ශාඛා නායකත්වය ඇතුළු පක්ෂ තන්ත්‍රය ක්‍රියා කිරීම පක්ෂයේ දේශපාලන ‌සෞඛ්‍ය තත්වය නරක අතට හැරී ඇති බවට සලකුනකි.

පක්ෂ අභ්‍යන්තරයේ මතුවන ප්‍රශ්න වගවිභාග කර ගැනීමේ දී, අප ව්‍යාපාරයේ ඵෛතිහාසික ඥානය කැඳවා ගැනීම අපෝහක ‌භෞතිකවාදය මත පදනම් වූ පිලිවෙතයි. නමුත් බහුතර සාමාජිකත්වය මෙයට යොමු කරවා ගැනීම උගහට ය. මේ තත්ත්වය තුල වුවත්  හලාවත ශාඛාව තුළ විජේසිංහ, පුණ්‍යවර්ධන හා නිහාල් වන අපි පක්ෂය ගෙන ඇති මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව අත් නො හැර සටන් වැද සිටිමු.

සහෝදරවරුන්ගේ සාමාජිකත්වයන් තහනම් කිරීමට හේතු වී ඇත්තේ දේශපාලන අරගලයේ නිරත වීම හෝ  පැහැදිලිකම සදහා සාකච්ඡා වර්ධනය කර ගැනීමට උත්සාහ කිරීම ය. කරුනු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හෝ නො දී ඔවුන් සමග කිසිදු සාකච්ඡාවක් පවා නොකර සිදු කර ඇති ක්‍රියාව සාමාජිකත්වය තුල බරපතල විරුද්ධත්වයට ලක් නොවී පවත්වා ගැනීමට නායකත්වය වැඩ කර ඇත. විශේෂයෙන් මේ සහෝදරවරු ගැන බොරු හා අවලාද ව්‍යාපාරයක් දියත් කිරීම ය ඒ්. නිදසුනක් ලෙස ඔවුන් සාකච්ඡා කිරීමට පක්ෂය කල කැදවීම් ප්‍රතික්ෂේප කර ඇත යන ප්‍රචාරය පෙන්වා දිය හැක. නන්දන සහෝදරයා පක්ෂයට බැදෙන්නට එන අය පොලිස් ඔත්තුකාරයන් යයි කියා පලවා හරින්නේ ය යන ප්‍රචාරය තවත් එකකි.

පසු ගිය ජුලි මස විජේ සහෝදරයා අවසානයට සහභාගි වූ සාමාජික රැස්වීමට නිහාල් කල මැදිහත් වීමේ දී, මෙම ප්‍රශ්නය ඉදිරිපත් කලේ ය. 

එහිදී ට්‍රොට්ස්කිගේ දීප්තිමත් කෘතියක් වන” පවා දුන් විප්ලවයේ” සදහන් බොල්ෂෙවික් පක්ෂයේ පරිහානිය යන කොටසෙන් මෙම ඡේදය උපුටා දැක්වූයේ ය:

 “බොල්ෂෙවික් පක්ෂයේ අභ්‍යන්තර පාලන තන්ත්‍රය සංරක්ෂිත වුයේ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදය නැමති විධික්‍රමය මගිනි. ප්‍රජාතන්ත්‍රවාදය හා මධ්‍යගතවාදය යන මේ සංකල්ප දෙකෙහි සංයෝජනය කොහෙත් ම ප්‍රතිවිරෝධී නො වේ. පක්ෂය එහි සීමාවන් නිතර ම දැඩි ලෙස නිර්වචනය කල යුතුය යන්න සම්බන්ධයෙන් පමනක්  නො ව, මේ සීමාවන්ට ඇතුලත්වන සියලු පුද්ගලයන් පක්ෂයේ ප්‍රතිපත්තිය, ගමන් කල යුතු දිශාව නිර්වචනය කිරීමේ සැබෑ අයිතිය භුක්තිවිදිය යුතුය යන්න සම්බන්ධයෙන් ද සුපරීක්ෂාකාරී සැලකිල්ලක් දැක්වී ය. විවේචනයේ හා බුද්ධිමය අරගලයේ නිදහස පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ නිශේධ කල නොහැකි අන්තර්ගතය විය. බොල්ෂෙවික්වාදය පක්ෂ අභ්‍යන්තර කණ්ඩායම් නො ඉවසයි යන වර්තමාන සිද්ධාන්තය යුග පරිහානිමය මිථ්‍යාවකි. ඇත්ත වශයෙන්ම, බොල්ෂෙවික්වාදයේ ඉතිහාසය වු කලී කණ්ඩායම් අරගලයේ ඉතිහාසයකි. සැබවින්ම, නිර්ව්‍යාජ විප්ලවවාදී සංවිධානයකට බුද්ධිමය අරගලයන්ගෙන්, කාණ්ඩ ගැසීම් වලින් හා තාවකාලික කණ්ඩායම් නිර්මාණය කිරීමෙන් තොරව ලෝකය උඩු යටිකුරු කිරීමේත්, ඉතාම නිර්භීතව පිලිගත් මති මතාන්තර වලට පහර දෙන්නන්, සටන්කරුවන් හා රාජ්‍ය විරෝධී කැරලිකරුවන් එහි ධජය යටතේ එක්සත් කිරීමේත්, සංවිධානය පවත්වාගෙන යාම හා වර්ධනය කිරීමේත් කර්තව්‍යය සූදානම් කල හැක්කේ කෙසේ ද? බොල්ෂෙවික් නායකත්වයේ දූරදර්ශී භාවය බොහෝ විට ආරවුල් ලිහිල් කිරීමට හා කණ්ඩායම් අරගල පවත්නා කාල සීමාව කෙටි කිරීමට හැකි තත්වයක් නිර්මාණය කලේ ය. එහෙත් එයට වැඩි යමක් කල නො හැකි විය. මධ්‍යම කාරක සභාව මේ කැකෑරෙමින් පැවති ප්‍රජාතන්ත්‍රවාදී සහයෝගය මත විශ්වාසය රැදවී ය. එය තීරණ ගැනීමට හා නියෝග පැනවීමට අවශ්‍ය නිර්භීතකම ලබා ගත්තේ මේ මගිනි. සියලු තීරණාත්මක අවධීන්හි දී නායකත්වයේ නිසැක නිරවද්‍යතාව එයට ඉහල අධිකාරී බලය ලබා දුනි. මධ්‍යගතවාදයේ මිලකල නො හැකි සදාචාරාත්මක ප්‍රාග්ධනය වන්නේ එයයි.” (පාවා දුන් විප්ලවය, 170 පිට, සිංහල පරිවර්තනය)

මෙම දීර්ඝ උපුටා දැක්වීමෙන් ඔහු විජේ සහෝදරයාගෙන් ඉල්ලා සිටියේ, පක්ෂයේ ඉතා පරිනත,ජාත්‍යන්තර කමිටුවට ඉතා ලෙන්ගතු  සහෝදරවරුන්ට එරෙහිව ගෙන ඇති තීරණය ,මෙම සංදර්භයේ තබා නැවත තක්සේරු කරන ලෙසයි. 

හලාවත ශාඛාව තුළ මෙම අරගලය ඉදිරියට ගෙන යමින් මෙම සහෝදරවරුන් පිලිබඳව ප්‍රශ්න මතු කල  විට තර්ජනය කරමින්, ඡන්දයක් විමසා නිහාල් එලියට දමන මෙන් ක්වින්ටින් සහෝදරයා කපිල ගෙන් ඉල්ලා සිටි විට, කපිල පවසා සිටියේ එයට පසුබට නො වන බව යි. මෙම චන්දය විමසීම පලමු කොටම සිදුකලේ අම්බලන්ගොඩ ශාඛාවේ රත්නසිරි නායකත්වයයි. නන්දන සහෝදරයා, පැවති සම්මේලනය කූටෝපායන් භාවිත කලේ යයි පක්ෂ නායකත්වයට චෝදනා කර ඇත. මේ ගැටලු විසදා ගැනීමට සම්මේලනය ගැන  සාකච්ඡාවක් ඔහු ඉල්ලා ඇත. හුදෙක් මෙම කරුන මත නන්දන ඇතුලු තිදෙනෙක් රැස්වීමේ නැති අවස්ථාවක ඔහුට  එරෙහිව චන්දයක් පවත්වා ඔහුගේ සාමාජිකත්වය තහනම් කිරීම මගින් නන්දනගේ කූටෝපාය පිලිබද චෝදනාව අකුරට සනාත කිරීමට දේශපාලන කමිටුවේ රත්නසිරි පියවර ගත් අතර දේශපාලන කමිටුව කිසිදු සාකච්ඡාවකින් තොරව ඔහුට එරෙහිව පක්ෂ තහනමක් පැනවී ය.

මෙම පිලිවෙත, සාමාජිකත්වය අත්හිටුවා ඇති සහෝදරවරුන් වෙනුවෙන් සටන් කරන ශාඛා වන අම්බලන්ගොඩ, නුවර, කොලොන්නාව හා හලාවත ද ක්‍රියාත්මක කිරීමට පාරම්බාමින් සිටන බවට අපි චෝදනා කරමු.

හලාවත ශාඛාව තුල අපේම ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ‌ඓතිහාසික ඥානය මත පදනම්ව මෙම  ප්‍රශ්න සලකා බැලීම සඳහා නැඹුරුවක් ගැනීමට අපි දිගින් දිගට සටන් කල අතර, ශාඛා නායකත්වය නිතරම ප්‍රකාශ කලේ, මෙම ‘සුළු ධනේශ්වර’ ප්‍රවනතාවය පක්ෂය තුලින් විරේක කර දමන බවයි. මෙම ඊනියා සුළුධනේශ්වර ප්‍රවනතාවය පිලිබඳව මොනම දේශපාලන පැහැදිලි කිරීමක් වත් මේ වන තෙක් පක්ෂයෙන් සිදු කර නැති බව මතක් කරමු. මෙය  එවන් ප්‍රවනතාවක් යයි අප මොහොතකට පිලිගත්තත් නායකත්වයේ හැසිරීම අනුමත කල නො හැකි ම ය.

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සුළු ධනේශ්වර ප්‍රවනතා සමග පොර බැදි ආකාරය ගැන ශාඛා සාමාජීකයන්  දැනුවත් කිරීම සදහා ට්‍රොට්ස්කිගේ “මාක්ස්වාදය ආරක්ෂාව සඳහා” යන කෘතියේ සදහනක් නිහාල් ගෙන හැර දැක්වී ය. මේ නන්දන, වක්කුඹුර හා සංජය වැනි පටබැදි සුලු ධනේශ්වර ප්‍රවනතාවක් නොව, 1939 සමාජවාදී කම්කරු පක්ෂය තුල පැන නැගි සැබෑ සුලු ධනේශ්වර ප්‍රවනතාවක් සම්බන්ධයෙනි.

පහත දැක්වෙන ප්‍රශ්නය ඉදිරිපත් කල හැකිය: විරුද්ධ පාර්ශ්වය, සුළු ධනේශ්වර ප්‍රවනතාවයක් වේ නම්, තවදුරටත් එකමුතුකම පවත්වා ගත නොහැකි වන බව එයින් ඇගවේ ද? එසේ නම්, සුළු ධනේශ්වර ප්‍රවනතාවය, කම්කරු පංතික ප්‍රවනතාව හා සමහන් කරනුයේ කෙසේද? මෙයාකාරයෙන් ප්‍රශ්නය මතු කිරීම ම, ඒකපාර්ශ්වීයව අපෝහක විරෝධීව හා ඒ අනුව, ව්‍යාජව විනිශ්චය කිරීමකි. වර්තමාන සාකච්ඡාවේදී, විරුද්ධ පාර්ශවය, එහි සුළු ධනේශ්වර ලක්ෂණ පැහැදිලිව ප්‍රකාශයට පත් කොට ඇත. එහෙත් විරුද්ධ පාර්ශවයට වෙනත් ලක්ෂණ නැති බවක් මෙයින් නොඇගවෙයි. විරුද්ධ පාර්ශවයේ බහුතරය, කම්කරු පංතික ව්‍යාපාරයට දෙගුණයක් භක්තිවන්ත වන අතර උගැන්මෙහි ද පොහොසත් වෙත්. අද දින සුළු ධනේශ්වර වාතාවරණයට ගැටගැසී සිටින ඔවුන්ට, හෙට දින, කම්කරු පන්තියට බැදී ගැනීමට පුළුවන් කම තිබේ. ස්ථිරසාර නොවූවන්ට, අත්දැකීමේ බලපෑම යටතේ, වඩා ස්ථිරසාර විය හැකිය. පක්ෂය විසින් දහස් ගණන් කම්කරු වන් වැලදගනු ලැබෙන කල්හි, වෘත්තීය කණ්ඩායම් වාදීන්ට පවා, කම්කරු පංතික විනයමය සාරයෙන් යලි අධ්‍යාපනය ලැබිය හැකි වෙයි. ඔවුන්ට ඒ සදහා කාලයදීමට අවශ්‍යය. සාකච්ඡාව, භේදවීම් හා පලවා හැරීම් පිලිබඳ මොනයම් හෝ තර්ජනයන්ගෙන් නිදහස් ව තබා ගැනුමට, කැනන් සහෝදරයා කල යෝජනාව, මුලුමනින්ම නිවැරදි වනුයේත්, ස්ථානෝචිත වනුයේත් එහෙයිනි.”

ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය තුල සුළු ධනේශ්වර ලක්ෂණ පැහැදිලි ව පෙන්නුම් කල බර්න්හැම්, ෂැට්මන් හා ඇබර්න් කණ්ඩායම සම්බන්ධව ට්‍රොට්ස්කිගේ ආකල්පය පැහැදිලිය.

එපමනක් නොව, “කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවාදුන්නේ කෙසේද?” කෘතියේ දී නෝත් සහෝදරයා, මාක්ස්වාදය ආරක්ෂාව සදහා කෘතියේ ට්‍රොට්ස්කිගේ පැහැදිලි කිරීම් තම අරගලයට උපයෝගී කර ආකාරය කෙටි උද්ධෘතයකින් සලකා බලමු. 

තත්වය තවත් නරක් කලේ 1974 සරත් ඍතුව වන විට වර්ධනය කර ගැනී තිබූ පරිමාණයෙන් තෝනට් මතු කල දේශපාලන මත භේදයන්  කම්කරු පංතිය ඉදිරියේ භේදයක් යුක්තිසහගත කිරීමට සෑහෙන තරමින් වර්ධනය වී නොපැවතීමය. හීලිගේ හා බණ්ඩාගේ කොතරම් තීක්ෂණ හිතලුවක් වූවද – තෝනට් ඕ.සී.අයි සංවිධානයේ එජන්තයකු ලෙස වැඩ කලේය යන්න – එය පමණක් සෑහුනේ නැත. 1940 දී ට්‍රොට්ස්කි, සුළුතරයට එරෙහිව අපරිනත සංවිධානාත්මක පියවර නොගන්නා ලෙස කැනන්ට අනතුරු ඇඟවමින් ප්‍රකාශ කලේ,”කොතරම් නිවැරදි විය හැකි වුයේ වුවද ඔබ ක්‍රියා කල යුත්තේ ඔබේ ආත්මීය ඇගයීමට අනුව නොව, සියල්ලන් සතුව පවතින වෛෂයික සාධක මතය”. එ ගමන්ම ඔහු අවධාරණය කලේ සංවිධානාත්මක නොඉවසිලිවන්ත භාවය”බොහෝවිට න්‍යායික නොතැකීම සමග බැඳී ඇත,”යන්නයි.’ (කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවා දුන්නේ කෙසේද? 44පිට)

පැහැදිලිව ම පක්ෂය ට්‍රොස්කිවාදී පිලිවෙත වෙනුවට ට්‍රොස්කිවාදයෙන් බැස ගිය අයගේ පිලිවෙතක පිහිට සොයා ගොස් ඇත. එය පරීක්ෂාවට ලක් විය යුතු කරුනකි. අප ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටින අතර පක්ෂ නායකත්වය එය බැරෑරුම් ව සලකා බලනු ඇතැයි සිතමි.

ඒ සදහා, මෙම කරුණු ඔබ ඇතුළු පක්ෂ නායකත්වය, මෙම සංවිධානාත්මක පියවර ගැනීම ගැන, මෙම ඵෛතිහාසික සංදර්භයේ තබා නැවත තක්සේරු කලයුතු යුතු ය යි අපි යෝජනා කරමු.

පසු ගිය කාලය පුරා සමස්ත පක්ෂයම ද්විතීක ප්‍රශ්න වටා කරක් ගැස්වූ අතර එහි ප්‍රතිපලයක් වශයෙන් ලංකාවේ අප්‍රියල් මාසයේ ඇරඹී තවමත් ඇදී යන පන්ති අරගලය පූර්ව කල්පනය කිරීමටත්, එයට සාර්ථක මැදිහත් වීමක් කිරීමටත් පක්ෂය අසමත් විය. මේ අතරතුර ජාත්‍යන්තර කමිටුවේ මැදිහත් වීමෙන් එලිදැකි ක්‍රියාකාරි කමිටු ගොඩ නැගීම හා සම්මේලනයකට යෑම  පිළිබඳ ඉදිරිදර්ශනය ක්‍රියාත්මක කරමින් පක්ෂයේ පසුගිය දේශපාලන පසුබෑම් කපාගෙන පංති අරගලය තුලට විප්ලවකාරී මැදිහත් වීමක් කිරීමට පලමුව පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳා ගත යුතුව ඇත. මක්නිසාදයත්, ජාත්‍යන්තර කමිටුව මෙම දශකය විප්ලවයන්ගේ සහ යුද්ධයන්ගේ දශකය ලෙසත්, ලෝක  ට්‍රොට්ස්කි වාදී ව්‍යාපාරය දැන් ඇතුළු වී ඇති කාලපරිච්ඡේදය පිලිබඳවත් ඉතා පැහැදිලි  හා දීප්තිමත් විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබූ තතු තුල අප පක්ෂයේ දේශපාලන පසුබෑම සිදුව ඇත. 

ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම පිළිබඳ අදහස ද කේඩරය තුල බැරෑරුම් සාකච්ඡාවකින් අවබෝධ කර ගැනීම සදහා නායකත්වය ක්‍රියා කලේ නැත. හලාවත ශාඛාව තුල ක්‍රියාකාරී කමිටු  පිළිබඳ සාකච්ඡාවකදී ට්‍රොට්ස්කිගේ ධනවාදයේ  මරලතෝනියේ සඳහන් උද්ධෘතයක්  ඉදිරිපත් කලෙමු. 

සෝවියට් සභා ප්‍රාගානුභූත පක්ෂ ක්‍රියා මාර්ගයට සීමා වී නැත. එවා තම දොරවල් සියළුම සූරා කැවෙන්නන්ට හැර දමයි. අරගලයේ පොදු රල දහර තුලට ඇදී ගෙන එන සියලුම ස්ථරවල නියෝජිතයෝ මේ දොරවල් හරහා ගමන් ගනිති. ව්‍යාපාරය සමගම පෘථුලව පැතිරෙන සංවිධානය එම ව්‍යාපාරයේ ගැබ තුල පුන පුනා අලුත්වෙයි. පෘථුලතම පුජාතන්තවාදයේ පදනම මත නිර්ධන පන්තියේ සියලුම දේශපාලන ධාරාවන්ට සෝවියට් සභාවල නායකත්වය සදහා අරගල කල හැකිය. එහෙයින් සෝවියට් සභා යන සටන් පාඨය සංක්‍රමණ ක්‍රියා මාර්ගය මස්තකප්‍රාප්ත කරයි.” (ධනවාදයේ  මරලතෝනිය, සංක්‍රමන ක්‍රියාමාර්ගය) 

මේ අවස්ථාවේදී ශාඛා නායක කපිල සහෝදරයා  සදහන් කලේ, “එක එකාට මේ දොරවල් හරහා ගමන් කරන්න නෙමෙයි අපි  එවා හදන්නෙ” යනුවෙනි. මෙය ක්‍රියාකාරී කමිටු පිළිබඳ පක්ෂ නායකත්වයේ අදහස හෙලිදරව් කරයි. 

මෙම මති මතාන්තර වර්තමාන පංති අරගලය තුළ අප පක්ෂය මුහුණ දී සිටින වගකීම් සලකා බැලීම සදහා අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් ඉල්ලා සිටී. 

“රුසියානු විප්ලවය සහ නො නිමි විසිවැනි සියවස”  කෘතියේ දී නෝත් සහෝදරයා පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කරන පැහැදිලි කිරිමක් මෙසේය:

පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන වැදගත් කම හුදෙක් වියුක්ත මූලධර්මයක් පිළිබඳ ප්‍රශ්නයක් නොවන අතර, එය බලපාන්නේ හුදෙක් ආර්ථික පිලිවෙත තීරණය කිරීමේ ක්ෂෙත්‍රයේ ප්‍රායෝගික අර්ථය මත පමණක් නොවේ. සෝවියට් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සඳහා ට්‍රොට්ස්කි විසින් දියත් කරන ලද අරගලය තුළ අවසානයේ පරදුවට තැබී තිබුනේ කලින් ශතවර්ෂය පුරා ජාත්‍යන්තර කම්කරු පංති ව්‍යාපාරය තුල වර්ධනය වී තිබූන සමාජවාදී සංස්කෘතියේ හා විප්ලවවාදී චින්තනයේ සමස්ථ උරුමයයි. නිලධරය ලෙනින්ගේ මෘතදේහයට කල දෙයම මාක්ස්වාදයටත්  කලේය. එය මමියක් බවට පත්කොට අර්ධ වශයෙන් ගූඨ ජපකිරීමක වස්තුව බවට හරවන ලදී. සකලාධ්‍යාසයෙන් ම 1927න් පසුව මාක්ස්වාදය සෝවියට් පිලිවෙත නිර්නය කිරීම තුල කිසිදු  ක්‍රියාකාරීත්වයක් සිදුකිරීම අවසන් විය. විපාර්ශ්වයේ පරාජය බුද්ධිමය හා සංස්කෘතික  ක්‍රියාකාරීත්වයේ සියලු අංශ තුල විවේචනාත්මක චින්තනයේ වර්ධනයට මල බෙරය හැඩවීය.”

මේ ලිපිය තුල  අප පැහැදිලි කරන කරුණු වලට ඔබගේ අවධානය යොමු කරමින් සහෝදරවරුන් තිදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම ඉවත් කොට, මෙම සාකච්ඡාව පක්ෂ අභ්‍යන්තරයේ විසදා ගත යුතු ය. එය එසේ නො කිරීමට හේතුවක් ඇත්නම් පැහැදිලි කරන මෙන් ඉල්ලමු.

සහෝදරත්වයෙන් 

නිහාල් ගීකියනගේ, පුන්‍යවර්ධන,  විජේසිංහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *