නේටෝවේ වසර 75 : සීතල යුද්ධයේ සිට උනුසුම් යුද්ධය දක්වා

පීටර් ෂ්වාට්ස් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 අප්‍රේල් 05 දින පල වූ ‘′75 years of NATO: From Cold War to hot war”  යන හිසින් පීටර් ෂ්වාට්ස් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

අප්‍රේල් 4 දා නේටෝ හමුදා සන්ධානය සිය 75 වැනි සංවත්සරය සනිටුහන් කලේය. දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර හතරක් ගතවීමටත් පෙර, සීතල යුද්ධයේ ආරම්භක වසර තුල 1949 දී, නේටෝව ආරම්භ කරන ලද්දේ  සෝවියට් සංගමයට එරෙහිව එල්ල වූ සන්ධානයක් ලෙස ය. අද එය මානව වර්ගයා තුන්වන ලෝක යුද්ධයකට ඇද දමමින් තිබේ.

සංවත්සරය සනිටුහන් කෙරුනේ, යුක්රේනයේ රුසියාවට එරෙහි යුද්ධයේ ප්‍රධාන නව උත්සන්න කිරීමක් සඳහා කැප වූ බ්‍රසල්ස්හි නේටෝ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමක් මගිනි. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා යුක්‍රේනයට ගොඩබිම් භටයන් යැවීමට යෝජනා කිරීමෙන් යන්තම් සති කිහිපයකට පසුව, නේටෝව, යුක්‍රේනයට ආධාර සම්බන්ධීකරනය කරන යුක්‍රේන ආරක්ෂක සම්බන්ධතා කන්ඩායම (Ukraine Defense Contact Group) අත්පත් කර ගැනීමට සූදානම් වේ. රුසියාවට එරෙහි යුක්රේනයේ යුද්ධය නේටෝව විසින් අන දෙන මෙහෙයුමක් ලෙස ඉස්මතු වෙමින් තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, යුක්‍රේනය සදහා නේටෝවේ සහය “කලුගල් මෙන් දෘඪ” බව පවසමින්, “යුක්‍රේනය නේටෝවේ සාමාජිකයෙකු වනු ඇති” බව සපථ කලේය. ජර්මනියේ, ප්‍රන්සයේ සහ පෝලන්තයේ විදේශ ඇමතිවරුන් – ඇනලීනා බියබොක්, ස්ටෙෆනි සෙජන්, රඩොස්ලාව් සිකෝස්කි (Annalena Beerbock, Stéphane Séjourné, Radosław Sikorski) – පොලිටිකෝ (Politico) හි ප්‍රකාශ කලේ නේටෝ බලවතුන් යුක්‍රේනයට යුරෝ බිලියන 200කට වඩා ලබා දී ඇති බවයි. “අපගේ සහයෝගය අවශ්‍ය තාක් කල් සහ අවශ්‍ය තීව‍්‍රතාවයෙන්  දිගටම පවතිනු ඇත.” ඔවුන් ප්‍රතිඥා දුනි.

40,000 කට වැඩි පලස්තීනුවන් ජනයා මරා දැමූ ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරයට, නේටෝ බලවතුන් මේ වන විට සහාය දක්වයි. මෙය පුලුල් වන ගෝලීය යුද්ධයක කොටසක් ලෙස දැක ගනී.

“අපගේ ආරක්ෂාව කලාපීය නොවන බව අපි දනිමු – එය ගෝලීයයි” යනුවෙන් නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සිය සංවත්සර ප්‍රකාශයේදී පැවසීය. “යුක්රේනයේ යුද්ධය මෙය පැහැදිලිව පෙන්නුම් කරයි. රුසියාවට, ආසියාවේ එහි  මිතුරන් ආක්‍රමනශීලී යුද්ධය දිගටම කරගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වේ. චීනය රුසියාවේ යුද ආර්ථිකයට මුක්කු ගසයි. ඒ වෙනුවට මොස්කව් තම අනාගතය බීජිං වෙත උකස් කරයි. උතුරු කොරියාව සහ ඉරානය සැලකිය යුතු ආයුධ සහ පතොරම් සැපයීම සිදු කරයි. ප්‍රතිඋපකාර වශයෙන්, ප්යොංයෑන් සහ ටෙහෙරාන් , ඔවුන්ගේ මිසයිල සහ න්‍යෂ්ටික හැකියාවන් දියුනු කර ගැනීමට උපකාර වන රුසියානු තාක්ෂනය සහ සැපයුම් ලබා ගනිමින් සිටිති.

නේටෝව යුරෝපයේ “රැකවල” සහ “සුරැකුම” සඳහා සේවය කරයි යන හිමිකම් පෑම, එහි ආරම්භයේ සිටම ප්‍රචාරකමය බොරුවකි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය සැමවිටම අවධාරනය කල පරිදි, නේටෝව ආරම්භයේ සිටම මහා අධිරාජ්‍යවාදී බලවතුන්ගේ යුද සන්ධානයක් වීය.

වසර 75 කට පෙර නේටෝව ආරම්භ කරන විට, ජේම්ස් පී. කැනන් යටතේ ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂය විසින් එවකට ප්‍රකාශයට පත් කෙරුනු හතරවන ජාත්‍යන්තරය සඟරාව මෙසේ ප්‍රකාශ කලේ ය: “උතුරු අත්ලාන්තික් ගිවිසුම තවත් මිලිටරි සන්ධානයක් නොවේ. … මෙම සිදුවීමේ අතිමහත් වැදගත්කම, එය වහාම සැලසුම් කර නිර්මානය කිරීම සඳහා නිමිත්ත වූ  ‘සීතල යුද්ධය’ කෙරෙහි එහි බලපෑම  බොහෝ සෙයින් ඉක්මවා යයි.”

“නැගෙනහිර කැරලිකාර ජනයා ‘සමනය කිරීමට’ ඔවුන් දරන උත්සාහය ඉතිහාසයේ වඩාත්ම මිල අධික හා දැවැන්ත අසාර්ථකත්වය බව පෙන්නුම් කරන්නාවූ”; “තමන්ගේම සම්පත්වලින් පමනක් තම රට තුල ‘ස්ථාවරත්වය’ අත්කර ගැනීම  අශාක්‍යම  පාහේ වූ “; සහ “බාහිර උදව් නොමැතිව, තනි තනිව හෝ සාමූහිකව සෝවියට් සංගමයේ බලයට මුහුන දීම නොහැකි  තම බෙලහීන බව පිලිගත්”, යුරෝපයේ පැරනි අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අර්බුදය, “ලෝක ධනවාදයේ භාරකරු වීම සදහා ඇමරිකානු අධිරාජ්‍යවාදයට බැදී ගැනීමට සිදුවිය.”

“නමුත් එයට මෙම භූමිකාව ඵලදායී ලෙස ඉටු කල හැක්කේ ගෝලීය පරිමානයෙන් පමනි,” හතරවන ජාත්‍යන්තරයේ කතුවැකිය අනතුරු ඇඟවීය. “මේ හේතුව නිසා, ලෝක ආධිපත්‍යයට යන මාර්ගය ලෝක යුද්ධයට මාර්ගය විය යුතු බව අපි නැවත නැවතත් පුරෝකථනය කර ඇත්තෙමු.”

මෙම වචන අද සඳහා  නැවතත් දැවෙන සේ  අදාල වේ. එය පිහිටුවා වසර හැත්තෑපහකට පසු, නේටෝව වෙන කවරදාකටත් වඩා තුන්වන ලෝක යුද්ධයක් අවුලුවාලීමට ආසන්න ය.

1949 දී නේටෝව පිහිටුවීමේ දී, ජර්මනියේ බෙදීම තහවුරු වී චීනයේ විප්ලවය ජයග්‍රහනය කරනා විට, නේටෝව ප්‍රචන්ඩ ප්‍රතිවිප්ලවවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කලේය. එක්සත් ජනපදය, ප්‍රංශය සහ අනෙකුත් නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන් ඉන්දු චීනයේ, කොරියාවේ, ඇල්ජීරියාවේ සහ ඉන් ඔබ්බෙහි කුරිරු යටත්විජිත යුද්ධ කර ගෙන ගියහ. සෝවියට් සංගමයේ බලපෑම මැඩපැවැත්වීම සඳහා නේටෝව, ග්‍රීසියේ සහ තුර්කියේ ද, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාව පුරාද, වාමාංශික ජාතිකවාදී ආන්ඩුවලට එරෙහිව  කුමන්ත්‍රනවලට පිටු බලය දුන්නේය.

කෙසේ වෙතත්, ඇමරිකානු පාලක ප්‍රභූව තුල, සෝවියට් සංගමයට එරෙහිව සටන් කරන්නේ “සීමා කිරීම” හරහා ද නැතිනම් න්‍යෂ්ටික යුද්ධයේ අවදානමක් සහිත මිලිටරිමය “ආපසු තල්ලු කිරීමක්” හරහාද යන්න පිලිබඳ ගැටුමක් ඇවිල ගියේය. සීතල යුද්ධයේ ආරම්භක කාල පරිච්ෙඡ්දය තුල, “සීමා කිරීම” සඳහා පක්ෂව සිටි අය  මූලිකත්වය ලබා ගත්හ. කෙසේ වෙතත්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කිසිවිටෙකත් ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහන ආපසු හැරවීම සහ සෝවියට් සංගමය විනාශ කිරීමේ දිගුකාලීන ඉලක්කය අත් නොහලේය.

කෙසේ වෙතත්, 1991 දී සීතල යුද්ධය අවසන් වූයේ, ස්ටැලින්වාදී නිලධරය සිය ඓතිහාසික පාවාදීමේ අවසාන පියවර ගෙන ඔක්තෝබර් විප්ලවය විසින් නිර්මිත දේපල සබඳතා ඈවර කර, ධනවාදය පුනස්ථාපනය කර, වෝර්සෝ ගිවිසුම සහ සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමඟ ය.

සෝවියට් සංගමය විසින් එල්ල කරන්නේ යැයි කියන අන්තරාය සමඟ සෑම විටම තම පැවැත්ම යුක්ති සහගත කල නේටෝව, තමන් විසින්ම විසුරුවා ගත්තේ නැත. හතරවන ජාත්‍යන්තරය 1949 දී ලියා තැබූ පරිදි, නේටෝව පිහිටුවීම, “එය වහාම සැලසුම් කර නිර්මානය කිරීම සඳහා නිමිත්ත වූ  ‘සීතල යුද්ධය’ කෙරෙහි එහි බලපෑම  බොහෝ සෙයින් ඉක්මවා යයි”, එමෙන්ම, “ලෝක ආධිපත්‍යයට කරා මාවත” “ලෝක යුද්ධය කරා  මාවත” විය. ”

ඇමරිකානු අධිරාජ්‍යවාදය සෝවියට් සංගමය විසුරුවා හැරීම දුටුවේ එහි ලෝක ආධිපත්‍යය යලි ස්ථාපිත කිරීමට සහ කොරියාවේ, වියට්නාමයේ සහ වෙනත් තැන්වල තමන් අත්විඳි පරාජයන් ආපසු හැරවීමේ අවස්ථාවක් ලෙස ය. ගොර්බචෙව්, යෙල්ට්සින් සහ පසුව පුටින් සෝවියට් සංගමය ජාත්‍යන්තර ප්‍රාග්ධනය විසින් සූරාකෑමට විවෘත කර තිබීම ගැන සෑහීමකට පත් නොවූ ඔවුන්ට, රුසියාව යටත් විජිතමය ආකාරයෙන්  දමනය කර ගැනීමට අවශ්‍ය විය.

ඇමරිකාවේ යුරෝපීය සහචරයෝ, තමන්ගේම අධිරාජ්‍යවාදී අවශ්‍යතා හඹා යමින්, එහි (ඇමරිකානු අධිරාජ්‍යවාදයේ)  නායකත්වය අනුගමනය කලෝය. නේටෝව යනු ඔවුන් මෙම ඉලක්කය හඹා යන මෙවලමයි. සෝවියට් සංගමය විසුරුවා හැරීමේ සිට, නේටෝව හෝ එහි සාමාජිකයන් නොකඩවාම පාහේ  යුද්ධ කරමින් සිටිති.

එක්සත් ජනපදය 1990 දී ප්‍රථම වරට ඉරාකයට පහර දුනි. 1999 දී නේටෝව එක්සත් ජාතීන්ගේ වරමකින් තොරව – ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් – සර්බියාවට බෝම්බ හෙලූ අතර කොසෝවේ  වෙන්වීමට බලය යෙදීය. 2001 දී, නේටෝව පලමු සහ එකම වතාවට අන්‍යෝන්‍ය ආරක්ෂක වගන්තිය ක්‍රියාත්මක කර ඇෆ්ගනිස්ථානය වාඩිලා ගත් අතර, වසර 20 ක් පැවති යුද්ධයක් ගෙන ගොස් එය අවසන්කලේ, රට විනාශ කර, තලේබාන්වරුන්ට නැවත බලයට පැමිනීමට කටයුතු සලසමිනි. ඉරාකය, ලිබියාව සහ සිරියාවට එරෙහිව පසුකාලීන යුද්ධ නිල නේටෝ ව්‍යුහයෙන් පිටත සිදු වුවද, බොහෝ නේටෝ සාමාජික රාජ්‍යයන් විසින් ඒවාට සහාය දක්වන ලදී.

මැද පෙරදිග යුද්ධවලට සමාන්තරව, නේටෝව රුසියාව දෙසට ක්‍රමානුකූලව ඉදිරියට ගිය අතර, මුලු නැගෙනහිර යුරෝපයම සහ-බෝල්ටික් රාජ්‍යයන් සමඟ-පැරනි සෝවියට් සංගමයේ කොටස්ද සංයුක්ත කරගත්තේය.

ලෝකයේ බලවත්ම හමුදා සන්ධානය, සාමාජිකයින් 12 සිට 32 දක්වා වර්ධනය විය. පසුගිය වසරේ එය ඩොලර් ට්‍රිලියන 1.3ක්, නැතහොත් ගෝලීය මිලිටරි වියදම්වලින් සියයට 60ක් ආරක්‍ෂාව සඳහා වැය කලේය. එක්සත් ජනපද මිලිටරි අයවැය පමනක් ඩොලර් බිලියන 905 ක් වූ අතර එය ඊලඟ රටවල් 15 වේ ඒකාබද්ධයට වඩා වැඩි ය. ඊට විසංසන්දනාත්මකව, චීනය ඩොලර් බිලියන 220 ක් සහ රුසියාව ඩොලර් බිලියන 109 ක් පමනක් ආරක්ෂක කටයුතු සඳහා වියදම් කලහ.

කියෙව්හි බටහිර ගැති රූකඩ තන්ත්‍රයක් ස්ථාපනය කිරීමේ කුමන්ත්‍රනයකට එක්සත් ජනපදය හා ජර්මනිය පිටුබලය දුන් 2014 සිට නේටෝව රුසියාව සමග යුද්ධයට ක්‍රමානුකූලව සූදානම් වී ඇත. 2022 දී පුටින් තන්ත්‍රයේ මංමුලා සහගත ප්‍රතිගාමී ප්‍රහාරය උසිගන්වමින් නේටෝව අනවරත ලෙස යුක්‍රේනය සන්නද්ධ කලේය. ඉන්පසුව නේටෝව, යුක්‍රේනියානුවන්  ‘කාලතුවක්කු උන්ඩ’ ලෙස යොදා ගනිමින්, ලක්ෂ සංඛ්‍යාත යුක්‍රේන ජීවිත බිලිගත්, න්‍යෂ්ටික ගැටුමක් දක්වා වර්ධනය වීමට තර්ජනය කරන යුද්ධයක්, රුසියාවට එරෙහිව දියත් කලේය.

මෙම උමතුව ජාත්‍යන්තර ධනේශ්වර ක්‍රමයේ විසඳිය නොහැකි ප්‍රතිවිරෝධතා තුල මුල් බැස ඇත. නිෂ්පාදන මාධ්‍යවල පුද්ගලික හිමිකාරිත්වය සහ ඒ මත පදනම් වූ ධනේශ්වර ජාතික රාජ්‍යය, බිලියන ගනන් කම්කරුවන් තනි සමාජ ක්‍රියාවලියක් තුල ඒකාබද්ධ කරන නවීන නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවය සමග සාමාධානය/ගැලපීම   (reconcile) කල නොහැක. මෙයට අධිරාජ්‍යවාදය දන්නා එකම පිලිතුර ලෝකය ප්‍රචන්ඩ ලෙස නැවත බෙදීමයි.

මෙම යුද්ධය කිරීමට නම්, නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන්, මිලිටරිවාදයේ අතිමහත් පිරිවැය සහ යුද්ධයේ ප්‍රතිවිපාක දැරීමට සිදුවීම සම්බන්ධයෙන් කම්කරු පන්තිය තුල වැඩෙන විරුද්ධත්වය මැඩපැවැත්වීම සඳහා ෆැසිස්ට්වාදී පොලිස්-රාජ්‍ය තන්ත්‍ර තම රටවල් තුල ගොඩ නැගිය යුතුය. ට්‍රම්ප්, මෙලෝනි,  අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය (AfD) සහ අනෙකුත් නව-ෆැසිස්ට්වාදීන්ගේ නැගීම, සියලු ධනේශ්වර පක්ෂවල දක්ෂිනාංශික වර්ධනයේ තියුනුම ප්‍රකාශනය පමනි.

එහෙත් ධනේශ්වර ක්‍රමයේ අර්බුදය සමාජවාදී විප්ලවය සඳහා කොන්දේසි ද නිර්මානය කරයි. හතරවන ජාත්‍යන්තර සඟරාවේ 1949 අප්‍රේල් කතුවැකිය අවසන් වූයේ මෙසේය: “හමුදාවල සාමාන්‍ය කාර්ය මන්ඩල (general staffs) සියලු හදිසි අවස්ථා සහ සිදුවිය හැකි අවස්ථා ප්‍රවේශමෙන් ගනනය කර ඇත- සියල්ල, එකක් හැර. ඒ, සියල්ලටම වඩා සාමයට කැමති ලෝක ජනතාවගේ සන්ධානයයි. ක්‍රෙම්ලිනයේ උපාමාරු නොව, ෂැංහයි සහ ඉන්දුනීසියාවේ, මිලාන්හි, රූර් සහ ඩෙට්‍රොයිට් හි පන්ති අරගලය, මරනය ප්‍රතිගාමීත්වය සහ ආඥාදායකත්වය රැගත් මෙම අශුද්ධ සංයුක්තයේ ඇකිලීස් විලුඹ (Achilles heel- මූලික දුර්වල තැන)  බව  ඔප්පු කරනු ඇත.

මේ වචන එදා මෙන්ම අදටද  අදාල වේ. ලෝක යුද්ධයට හා න්‍යෂ්ටික ව්‍යසනයට මාවත නැවැත්විය හැක්කේ, යුද්ධයට එරෙහි අරගලය, ධනේශ්වර සූරාකෑමට එරෙහි අරගලය සමග ඒකාබද්ධ කරන කම්කරු පන්තියේ ජාත්‍යන්තර මහජන ව්‍යාපාරයකට පමනි. 

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *