ජාතික ගැටලුව මගහැර ඉදිරියට ගිය හැකිද?

ප්‍රියන්ත සිල්වා විසිනි

අනුර කුමාර දිසානායක ජනපතිවරයා දිවුරුම් දීමෙන් අනතුරුව කරන ලද ජනතා ආමන්ත්‍රණය ද්‍රවිඩ භාෂාවෙන් පල නොවීම ගැන මේ වන විට සමාජ මාධ්‍යයේ අදහස් උදහස් පල වෙමින් තිබේ. ඇතැම් තැන්වල දැක්වෙන අන්දමට උතුරු නැගෙනහිර සහ කඳුකරයේ ජාතික ජන බලවේගයට ලැබුණු ඡන්ද ප්‍රතිඵලය මීට හේතුවන්නට ඇතැයි යන්න ඉස්මතු වේ.මෙයින් ගම්‍ය වන්නේ  ඔවුන්ගේ ගැටලුවලට නිසි ආමන්ත්‍රණයක් ජාතික ජන බලවේගයෙන් ප්‍රකාශ නොවුන බවයි. 

      එම ප්‍රතිඵලය මෙවැනි ස්වරූපයක් ගැනීමද එක්වර, අද ඊයේ ඇති වූවක් වීමට නොහැක.ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ පාර්ශවය වූ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ගැටලුව සම්බන්ධයෙන් වන දීර්ඝ කාලීන දැක්ම මීට හේතුවන්නට ඇතැයි යන්න සමාජයේ සාකච්ඡාවට ලක් වේ.ඇතැම් විදෙස් හා ජාතික මාධ්‍ය ‘වත්මනෙහි මතුවී ඇති දේශපාලන ප්‍රවාහය වාමාංශික හැඩයක් ගනු ඇත’ යන පණිවිඩය ලබා දෙයි .ජන සමාජයේ බොහෝ දෙනෙකුගේ අදහසද එයයි.

         නමුත් මෙහිදී තීරණාත්මක මැදිහත්වීමක් ජාතික ගැටලුව සම්බන්ධයෙන් පැවතීම ද වැදගත්ම කරුණකි.ජාතික ගැටලුවට නිශ්චිත විසඳුමක් ලෙස දැනට ඉදිරිපත් වී ඇති 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ද නිසි පරිදි ක්‍රියාවට නැංවීමට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඉදිරියට නොපැමිණ වංගු ගැසූ බව මෙරට ජනයා දනිති.13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මෙරට නීතියක් බවට පත් වී ඇත්තේ එහි ඇතුලත් පොලිස් හා ඉඩම් බලතල සමගිනි.

          නමුත් රනිල් වික්‍රමසිංහ එම බලතල ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව නැවත වටයකින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ක්‍රියා කළේය.විශාල භික්ෂු විරෝධයක් සමග ජනතා කැළඹීමකට මුල පිරීමක් එහිදී ඇති විය.රටේ නීතියක්  බවට පත්වී ඇති කාරණයක් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැකසීම හැර නැවත ව්‍යවස්ථාදායකය වෙත හැරවීමේ නීතිමය තත්ත්වය කුමක්ද යන්න මේ සම්බන්ධයෙන් විමසිලිමත්වන ජනතාව ප්‍රශ්න කරති.

          මෙම සංශෝධනය ඉදිරියට ගෙන ඒමේදී මෙරට වාමාංශික පක්ෂ හා ප්‍රගතිශීලි ජනතාව විශාල අනතුරුදායක ස්වභාවයකට මුහුණ දුන්හ.අද වන විට මෙම සංශෝධනය නීතියක් බවට පත් වී තිබීම ගැන විවාදයක් නොමැත.ඇත්ත වශයෙන්ම ජාතික ගැටලුව යන කරුණ මෙරට දේශපාලනයේ තීරණාත්මක සාධකයක් යන්න මෙරට ජනපතිවරණයෙන්ද පැහැදිලිව ප්‍රකාශිත විය.මෙම ගැටලුව ක්‍රම ක්‍රමයෙන් පසු කාලීනව ලාංකේය වමේ ව්‍යාපාරයෙන් ගිලිහී ගිය මාතෘකාවකි.එහි අහිතකර ප්‍රතිවිපාක විවිධ රූප කායන්ගෙන් වරින් වර මෙරට ජන සමාජය ඉදිරියට ආවේය.

         13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හෝ ජාතික ගැටලුව පිළිබඳ ජාතික ජන බලවේගයේ නිශ්චිත මානය මෙරට දේශපාලනයේ හා එම දේශපාලන බලවේගයේ අනාගත පැවැත්ම කෙරෙහි දැඩිව බලපාන්නකි.මෙරට ජනතාව එම බලවේගයෙන් විශාල වෙනස්කම් රැසක් බලාපොරොත්තු වෙති. ප්‍රගතිශීලිත්වය යනු සමස්ථ ජනතාවකගේ ඉදිරි ප්‍රගතියයි.එම ගමන පසුගාමී සමාජ මූලයන් කපාගෙන ඉදිරියට ගමන් කිරීමකි.මේ මත ගමන් කිරීමේදී හමුවිය හැකි වේදනාබර අත්දැකීම්ද පවතී.නමුත් මෙරට සුලු ජාතික අයිතිය මගහැර එම මාර්ගය පාදා ගත හැකිද යන්න ගැන දැඩි අවධානයට ලක්විය යුත්තකි.

                   

                   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *