ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනය: ගැඹුරු වන විප්ලවවාදී අර්බුදයක් මධ්‍යයේ ධනවාදය ආරක්ෂා කිරීමේ වගකීම ජවිපෙ භාර ගනී

කිත් ජෝන්ස් විසිනි

[මෙය TheSriLankanelectionsJVPassumesresponsibilityfordefendingcapitalismamidadeepeningrevolutionarycrisis යන මැයෙන් 2024 සැප්තැම්බර් 24 පල කෙරුනු ඉදිරිදර්ශන ලිපියේ පරිවර්තනයයි.]

දකුනු ආසියාතික දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක තේරී පත්වීම සාවධාන පරීක්‍ෂනයකට ලක් කිරීම උචිත වේ. ධනේශ්වර ප්‍රභූවේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ පාලන යාන්ත්‍රනයන්, වැඩෙන පන්ති ප්‍රතිවිරෝධතා සහ ගෝලීය යුද්ධය හරහා ග්‍රහලෝකය යලි බෙදීමේ අධිරාජ්‍යවාදී තල්ලුව යටතේ බිඳ වැටෙද්දී, එය ගෝලීය වශයෙන් හදිසි දේශපාලන මාරුවීම් පෙන්නුම් කරයි.

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් 23, සඳුදා, කොලඹ පිහිටි ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීමෙන් පසු රැස්ව සිටි පිරිස අමතද්දී ආරක්ෂක හමුදාපතිවරු පිටුපසින් සිටිති [ඒපී ඡායාරූප/ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලය] [AP Photo/Sri Lankan President’s Office]

වසර දෙකකට පෙර, ආන්ඩුව දැවැන්ත විදේශ නය ගෙවීම පැහැර හැරීමෙන් පසු උග්‍ර ආර්ථික හානියකින් ඇවිලවූ මහජන නැගිටීම් වලින් ශ්‍රී ලංකාව කම්පනයට පත් විය. මහජන විරෝධතා කූටප්‍රාප්තියට පත් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පලා ගොස් ඉල්ලා අස්වීමට බල කිරීමෙනි—ඒ වෙනුවට බලයට පත්වූ කුප්‍රකට එක්සත් ජනපද-ගැති අතවැසියෙකු වන රනිල් වික්‍රමසිංහ විසින් වහාම ජාමූඅ කුරිරු කප්පාදු පියවර පනවන ලදී.

දැන් ජවිපෙ සහ එහි පුලුල් ‘ජාතික එකමුතුවේ’ පෙරමුන වන ජාතික ජන බලවේගය (ජාජබ) යන දෙකෙහිම නායකත්වය දරන දිසානායක එම තනතුරට පත් කරනු ලැබ ඇත. යන්තම් වසර පහකට පෙර ජවිපෙ-ජාජබ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ දිසානායක, ඡන්ද 446,000ක්, එනම් සමස්ත ඡන්දවලින් සියයට 3.8ක් ලබා ගත්තේය. පසුගිය සෙනසුරාදා (21) පැවති මැතිවරනයේදී ඔහු මිලියන 5.63 ක් හෙවත් සියයට 42 කට වඩා වැඩි ඡන්ද ප්‍රමානයක් ලබා ගත්තේය. වික්‍රමසිංහ සහ සාම්ප්‍රදායික දේශපාලන සංස්ථාපිතයේ තවත් නායකයන් දෙදෙනෙකු වන සයිජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ නින්දිත පරාජයකට ඇද වැටුනහ.

ශ්‍රී ලංකාව ‘මාක්ස්වාදී ජනාධිපතිවරයෙකු’ තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර පුවත්පත්වල ලොකු අතුරින් මුද්‍රිත සිරස්තලවලින් ප්‍රකාශ කරයි. මෙය අමූලික බොරුවකි.

ජවිපෙ යනු සිංහල ජනතාවාදයෙන් සහ දිවයිනේ දෙමල සුලුතරයට එරෙහි සතුරුකමෙන් කරවටක් ගිලී ඇති දක්ෂිනාංශික, ජාතිකවාදී සහ වර්ගවාදී ව්‍යාපාරයකි. 1988-89 වාමාංශික හා කම්කරුවන්ගේ සංවිධානවලට මිනීමරු ප්‍රහාර එල්ල කිරීම ද ඇතුලුව, දශක ගනනාවක් තිස්සේ ජවිපෙ ශ්‍රී ලංකාවේ ධනේශ්වරයේ තීරනාත්මක මුක්කුවක් ලෙස සේවය කර තිබේ.

ජවිපෙ-ජාජබ ආන්ඩුවක් ශ්‍රී ලාංකික සමාජය (එනම් තරඟකාරී පංති) සෑදී ඇති විවිධ සමාජ කන්ඩායම් සහ අවශ්‍යතා අතර සබඳතා නියාමනය කරනු ඇති බවට, එනම් ඒවා සමගි කරන සහ සියලු දෙනාට ‘ජාතිය වෙනුවෙන් වැඩ කිරීමට’ සලස්වන බවට වන දිසානායකගේ ප්‍රකාශය, සමාජවාදයට සමාන ඕනෑම දෙයකට වඩා සමාන වන්නේ ෆැසිස්ට්වාදයට ය.

‘පිටස්තරයෙකු’ ලෙස එහි ප්‍රතිරූපය අලෙවි කරන ජවිපෙ, සාම්ප්‍රදායික දේශපාලන ප්‍රභූවේ ප්‍රකාශිත දූෂනයට එරෙහිව චෝදනා කරමින් සමාජ වියදම් වැඩි කිරීම පිලිබඳ සීමිත පොරොන්දු ලබා දුන්නේය.

මේ සියල්ල මුලුමනින්ම වංචාකාරී වේ. වික්‍රමසිංහ විසින් සාකච්ඡා කරන ලද ජාමූඅ ඇප නය පිලිබඳ “පරාමිතීන්” තුල වැඩ කිරීමට ජවිපෙ ප්‍රසිද්ධියේ කැපවී සිටී. ජාමූඅ ඇප නය, ශ්‍රී ලංකා ආන්ඩුවට රාජ්‍ය අංශයේ රැකියා ලක්ෂ ගනනක් විනාශ කරන ලෙසත්, අති විශාල තීරුබදු, බදු ඉහල දැමීම් සහ මහජන සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපනය අඛන්ඩව විනාශ කිරීම තුලින් ඉදිරි වසරවල දී විශාල අයවැය අතිරික්තයන් වාර්තා කරන ලෙසත් ඉල්ලා සිටී.

2022 සිට, ජවිපෙ මහා ව්‍යාපාරිකයන් සමඟ උද්‍යෝගිමත් ලෙස සමීප සබඳතා පවත්වා ඇති අතර ආරක්ෂක හමුදාවන් සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට එහි දිගුකාලීන උත්සාහයන් හි දිගටම දී සිටියේ ය. එය ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් සහ ජ්‍යෙෂ්ඨ ඉන්දීය නිලධාරීන් ද නැවත නැවතත් හමුවී තිබේ. කැමැත්ත හඟවන නිහඬතාවයක් රකිමින්, චීනයට එරෙහි එක්සත් ජනපදය ප්‍රමුඛ ඉන්දියානු සහාය ලැබෙන මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට ශ්‍රී ලංකාව වඩ වඩා ඒකාග්‍ර වීම ගැන ජවිපෙ කිසිදු ප්‍රසිද්ධ අදහසක් ප්‍රකාශ කර නැත.

අධිරාජ්‍යවාදය සහ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය, දිසානායක සහ ජවිපෙ මනාව කිරා මැන බලා ඇත. මැතිවරන ව්‍යාපාරය තුල, දිසානායකගේ ජනාධිපති ධූරයක් ආර්ථිකයට එල්ල කරනු ඇතැයි කියන තර්ජනයට එරෙහිව ගර්ජනා කල වික්‍රමසිංහ, දැන් පරාජය බාර ගනිමින් “අඛන්ඩ වර්ධනයේ සහ ස්ථාවරත්වයේ මාවතකට ශ්‍රී ලංකාව යොමු කරනු ඇති” බවට “විශ්වාස” කරන බව වහාම ප්‍රකාශ කලේය.

සබඳතා “ශක්තිමත්” කර ගැනීමේ දී නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශකරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රශංසනීය ප්‍රකාශ නිකුත් කලහ.

දිසානායකගේ ස්වයං-ප්‍රකාශිත ‘ ජනතාව ගේ ආන්ඩුව’ සමග කම්කරු පන්තිය සහ ග්‍රාමීය දුගීන් නුදුරේදීම දැඩි ගැටුමකට ගෙන එනු ඇති, පුපුරන සුලු පන්ති ගතිකයක් ක්‍රියාත්මක වෙමින් පවතී.

වැඩකරන ජනතාවගේ පුලුල් කොටස් ජවිපෙ කෙරෙහි තබා ඇති බලාපොරොත්තු කවරක් වුව ද, ජාමූඅ කප්පාදු බලාත්මක කිරීම නිසා, නිසැකව ම ඒවා බිඳ වැටෙනු ඇත.

එපමනක් නොව, දෙමල බහුතරයක් වෙසෙන උතුරු-නැගෙනහිර සහ වතුකරයේ දිස්ත්‍රික්කවල ජනතා විමුක්ති පෙරමුනේ වාර්ගික උසිගැන්වීම් පිලිබඳ වාර්තාව නිසා, බලයට පත්වූ ආන්ඩුව කෙරෙහි, ඔවුන් තුල විවෘත එදිරිවාදිකමක් නොවේ නම්, දැනටමත් විශාල සුපරික්ෂාකාරීත්වයක් පවතී. බහුතර දෙමල දිස්ත්‍රික්කවල, දිසානායක සියයට 10 ක් හෝ ඊට අඩු ඡන්ද ප්‍රමානයක් ලබා ගනිමින් තුන්වන හෝ හතරවන ස්ථානයට පත් විය.

හජාජාක සහ ශ්‍රී ලංකාවේ සසප හි ජවිපෙට එරෙහි දශක ගනනාවක අරගලය

අරගලයේ මීලඟ අදියර සඳහා කම්කරු පන්තිය දේශපාලනිකව සූදානම් කිරීමේ තීරනාත්මක දායකත්වයක් ලෙස, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉදිරි දින සහ සතිවලදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහ එහි ශ්‍රී ලංකා ශාඛාවේ, ජවිපෙ සහ එහි සුලු ධනේශ්වර ජාතිකවාදී දේශපාලනයට එරෙහිව සටන් කිරීමේ දේශපාලන වාර්තාව පැහැදිලි කර ලේඛනගත කරනු ඇත.

ජවිපෙ විකාශනය සහ දේශපාලන විභ්‍රමනය මාක්ස්වාදී පන්ති විශ්ලේෂනයට ලක් කිරීම, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා වන අරගලයට සහ ශ්‍රී ලංකාවේ ධනේශ්වරයට හා ලෝක අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයේ දී ගම්බද දුගීන් ඒ පිටුපස ඒකරාශී කර ගැනීම සඳහා තීරනාත්මක වේ.

1966 දී ජවිපෙ ආරම්භ කරන ලද්දේ, මාඕවාදය, කැස්ත්‍රෝවාදය සහ සිංහල ජනතාවාදයේ මිශ්‍රනයක් පදනම් කරගෙන ය. 1971 අප්‍රේල් මාසයේ දී, එය වසරකටත් අඩු කාලයකට පෙර එහි මැතිවරනයේදී සහයෝගය දුන් සහ ‘ප්‍රගතිශීලී’ ලෙස පැසසුමට ලක්කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සභාග ආන්ඩුවට එරෙහිව ග්‍රාමීය සිංහල තරුනයන්ගේ විනාශකාරී නැගිටීමකට නායකත්වය දුන්නේය.

සමාජවාදී සමානතා පක්ෂයේ (ශ්‍රී ලංකාව) පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය දුෂ්ට රාජ්‍ය මර්දනයට එරෙහිව ජවිපෙ ආරක්ෂා කලේය. ඒ අතරම, ජනතරමශපලනයසහපනවභවය‘ කෘතිය තුල, විකොස ආරම්භක ප්‍රධාන ලේකම් කීර්ති බාලසූරිය, කම්කරුවන්ගේ ආර්ථික අරගල ‘කැඳ කෝප්ප සටන්” ලෙස හෑල්ලූවට ලක් කල ජවිපෙ හි දරුනු කම්කරු පන්ති විරෝධී ස්වභාවය හෙලිදරව් කලේය; ආර්ථික අරගලය එවැනි හෑල්ලුවකට ලක් කලේ, එය අධිරාජ්‍යවාදයට එරෙහි ඔවුන්ගේ Òදේශප්‍රේමීÓ අරගලයෙන් අවධානය වෙනතකට යොමු කල බැවිනි. මාඕවාදී-ස්ටැලින්වාදී මහජන පෙරමුනු පන්නයේ ජවිපෙ කියා සිටියේ, අධිරාජ්‍යවාදය සියලු ‘සමාජ පන්ති එකට එකතු කර’ ඇති බවයි.

දෙමල කතා කරන වතු කම්කරුවන් ‘වරප්‍රසාද ලත්’ සහ ‘ඉන්දියානු ව්‍යාප්තවාදයේ’ නියෝජිතයන් ලෙස ජවිපෙ හෙලාදැකීම් ද බාලසූරිය පෙන්වා දුන්නේය. උග්‍ර දෙමල විරෝධී වර්ගවාදය ප්‍රවර්ධනය කිරීමත් සමඟ, ජවිපෙ ‘අනාගත ෆැසිස්ට් ව්‍යාපාරයකට හොඳින් ප්‍රයෝජනයට ගත හැකි කම්කරු පන්ති විරෝධී ව්‍යාපාරයක් නිර්මානය කරමින් සිටින” බවට ඔහු අනතුරු ඇඟවීය.

මෙම අනතුරු ඇඟවීම් ඕනෑවටත් වඩා සනාථ විය. 1980 ගනන්වල දී ජවිපෙ මතු වූයේ, දෙමල සුලුතරයට එරෙහි ශ්‍රී ලංකා පාලක පන්තියේ යුද්ධයේ වඩාත්ම තියුනු උපදේශකයා ලෙස ය. 1988-89 දී, එය සිංහල ආධිපත්‍යය දරන ධනේශ්වර රාජ්‍යයේ එකමුතුකමට තර්ජනයක් එල්ල කරයි යන පදනම මත ප්‍රතිගාමී ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව සන්නද්ධ කැරැල්ලක් මෙහෙයවීය. මුලදී අගමැති (පසුව ජනාධිපති) රනසිංහ ප්‍රේමදාස සහ රාජ්‍ය යාන්ත්‍රනයේ කොටස්වල අනුදැනුම ඇතිව ජවිපෙ ඝාතන ව්‍යාපාරයක් ගෙන ගිය අතර, එහි දී විකොස සාමාජිකයන් ද ඇතුලුව සිය ගනනක් වාම දේශපාලන විරුද්ධවාදීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ කම්කරුවන් මරා දැමීය.

ප්‍රේමදාසගේ සැලසුම වූයේ ජනතා විමුක්ති පෙරමුන ආන්ඩුවේ යටතට ගෙන එය රාජ්‍යයේ සහායකයකු ලෙස භාවිත කිරීමයි. මෙය කල නොහැකි බව ඔප්පු වූ විට, ශ්‍රී ලංකා රාජ්‍යය රෝහන විජේවීර සහ අනෙකුත් ප්‍රධාන ජවිපෙ නායකයින් දෙදෙනා අල්ලාගෙන පැය කිහිපයක් ඇතුලත ඔවුන් මරා දැමීය. මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවෙන් පසුව, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දකුනේ අතෘප්තිය යටපත් කිරීම ඉලක්ක කරගත් දැවැන්ත රාජ්‍ය මර්දන ව්‍යාපාරයක් අනුගමනය කරන ලද අතර එහිදී දස දහස් ගනනක් මිය ගියහ.

එසේ වුවද, 1993 දී, උතුරේ සහ නැඟෙනහිර අලුතින් මතුව ආ දෙමල කැරැල්ලට එරෙහිව “ජාතිය එක්සත් කිරීමේ” නාමයෙන්, ජවිපෙට දේශපාලන ක්‍රියාකාරකම් යලි ආරම්භ කිරීමට ඉඩ දුන්නේ එය ධනේශ්වර පාලනයේ මුක්කුවක් ලෙස නැවත වරක් භාවිතා කිරීමේ අරමුනෙනි. 1994 මැතිවරනයේදී, දෙමල-විරෝධී යුද්ධය සහ කම්කරු පන්තියේ සමාජ ආස්ථානයට එල්ල කරන ප්‍රහාරය අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා, පාලක පන්තියට ආන්ඩුමය මුහුනුවරක් දීමට ජවිපෙ උදව් කලේය. එය වසර 15 කට වැඩි කාලයක් නිලයේ සිටි, දැඩි වෛරයට ලක් වූ එජාප පාලනය වෙනුවට කුමාරතුංග සහ ඇයගේ ශ්‍රීලනිපය බලයට ගෙන ඒමට ඉවහල් විය.

ඉන් පසුව, ජවිපෙ, 2009 මැයි 40,000 දෙමල ජනයා සංහාරයෙන් අවසන් වූ ජාතිවාදී යුද්ධයේ ස්ථීරසාර අනුගාමිකයින් ලෙස සිටි අතරම, දේශපාලන සංස්ථාපිතය තුලට තව තවත් ඒකාග්‍ර විය. 2004 දී, මහා ව්‍යාපාරික ශ්‍රීලනිපය සමග මැතිවරන සන්ධානයක් තුල, පසුගිය සෙනසුරාදා මැතිවරනය තෙක් ලද ඉහලම ජයග්‍රහනය ලෙස ජවිපෙ ආසන 39 ක් දිනා ගත්තේ ය. එයට අමාත්‍ය ධූර 3 ක් පිරිනමන ලද අතර, මහා ව්‍යාපාරිකයන් විසින් කෙටුම්පත් කරන ලද කප්පාදු වැඩපිලිවෙලක් බලාත්මක කලේය; නමුත්, 2004 දෙසැම්බර් සුනාමියෙන් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා එල්ටීටීඊ කැරලිකාර පරිපාලනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට එය දැඩි ලෙස විරුද්ධ වූ බැවින් පසුව එයින් ඉවත් විය.

කම්කරු පන්තිය මුහුන දෙන දේශපාලන අභියෝගය

කම්කරුවන් ප්‍රවේසම් විය යුතුය. මෑත වසරවලදී, ජවිපෙ ප්‍රසිද්ධියේ, සිය දෙමල විරෝධී ස්වෝත්තමවාදයේ සැර බාල කරගෙන ඇත. නමුත් ජාතිකවාදය සහ වර්ගවාදය එහි ඇට මිදුලු තුලට කා වැදී ඇත. ස්වෝත්තමවාදී ආයාචනා, හමුදාවේ සහ පොලිස් ප්‍රවීනයන්ගේ ජාජබ Òසාමූහිකයන්Ó පිහිටුවීම ද ඇතුලුව, මිලිටරි-ආරක්ෂක උපකරන සමග සමීප ඇසුරක් වෙනුවෙන් එහි දිගුකාලීන උත්සාහයන් සප්‍රානික කර ඇත.

නැගී එන මහජන විරෝධයට මුහුන දී සිටින ජවිපෙ, ස්වෝත්තමවාදී ප්‍රතිගාමිත්වය උසිගන්වමින්, පොලිස්-මිලිටරි මර්දනය යෙදවීමේ තමන්ගේම සහ පාලක පන්තියේ ප්‍රතිගාමී සම්ප්‍රදායන් උකහා ගනු ඇත.

ශ්‍රී ලංකාවේ වර්ධනයන් බොහෝ විට ලෝක තත්වයේ තියුනු පෙරනිමිති හෝ කලලමය මාරුවීම් එලිදරව් කරයි

ශ්‍රී ලංකාවේ ‘දේශපාලන කම්පනය’ වෙනත් තැන්වල පුනර්කරනය වනු ඇත. පාලක පන්තියට, ආන්ඩුවේ විධායක කාර්යාල ද ඇතුලුව, තමන් මෙතෙක් අතේ දුරින් තබාගෙන සිටි ජාතිකවාදී හා ව්‍යාජ-වාම පක්ෂ මත විශ්වාසය තැබීමට වඩ වඩාත් බල කෙරෙනු ඇත. යුරෝපයේ කම්කරු පන්තියට දැනටමත් එවැනි බලවේග යලි යලිත් බලයට පත්වීමේ අත්දැකීම් තිබේ; වඩාත්ම කුප්‍රකට ලෙස ග්‍රීසිය තුල, සමාජ වියදම් ඉවත් කිරීමට විරුද්ධ වීමේ ප්‍රතිඥාවක් මත තේරී පත් වූ සිරිසා, යුරෝපීය සංගමයේ අතිශය කුරිරු කප්පාදුව වහා පැනවීය.

ඒ හෝ මේ කම්කරු පන්ති විරෝධී බලවේගවල හදිසි නැගීම ගැන පැහැදීමෙන් සිටින, එවැනි ව්‍යාපාරවලට සහයෝගය දැක්වීමට හෝ වෙනත් ආකාරයකින් අනුගත වීමට කම්කරුවන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන අවස්ථාවාදීන්ගේ අඩුවක් නැත.

කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා තීව්‍ර වූ දේශපාලන, න්‍යායික හා සංවිධානාත්මක අරගලයක කොටසක් ලෙස එවැනි බලවේග මත දේශපාලන යුද්ධයක් දියත් කල යුතුය. මෙය සමාජවාදී-ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලකින් සහ පසුගිය සියවස් එකහමාරේ මහා පන්ති අරගලවල තීරනාත්මක පාඩම් වලින් කම්කරු පන්තිය සන්නද්ධ කිරීම සඳහා එහි සියලු අරගලවලට ජවසම්පන්න ලෙස මැදිහත් වීම අවශ්‍ය වේ.

විශ්‍රාමික ගුරුවරයෙකු හා පක්ෂයේ දීර්ඝ කාලීන නායකයෙකු වන පානි විජේසිරිවර්ධන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මැතිවරනය තුල සසප බලගතු මැදිහත්වීමක් කලේ මෙම ප්‍රතිපත්තිමය පදනම මතය.

සසප දැන් ජවිපෙ ආන්ඩුවේ ප්‍රහාර වලට මුහුන දීමටත්, අරගලය ඉදිරියට ගෙන යාමටත්, යුද්ධයට, ජාමූඅ කප්පාදුවට එරෙහිව සහ සමාජ සමානාත්මතාවය සඳහා, එනම් විප්ලවවාදී සමාජවාදය සඳහා ග්‍රාමීය ජනතාව සහ අනෙකුත් පීඩිතයින් ඒ පිටුපස පෙලගස්වා ගනිමින් ස්වාධීන දේශපාලන බලයක් ලෙස කම්කරු පන්තිය එක්සත් කිරීමේ හා බලමුලු ගැන්වීමේ අරගලය වර්ධනය කරන්නේ මෙම පදනම මත ය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *