මහාචාර්ය තිස්ස විතාරණ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් මහාමැතිවරණයට.

ප්‍රියන්ත සිල්වා විසිනි.

ලංකා සමසමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මෙවර මහාමැතිවරණයට ඉදිරීපත් වී සිටී. ප්‍රධාන මාධ්‍යයවලද සමාජ මාධ්‍යයේද මේ බව ප්‍රකාශයට පත් වේ. මෙය දේශපාලන ක්ෂේත්‍රයේ විවිධාකාර සංවාද ඇති කිරීමට තුඩු දී ඇති කරුණක් බවට පත්ව ඇත.

සමසමාජ නායකයාගේ මෙම ඉදිරිපත් වීම පක්ෂය ගත් තීරණයක්ද නැතහොත් ඔහුගේ තනි තීරණයක්ද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත. නමුත් වාර්තා වන තොරතුරු අනුව ලංකා සමසමාජ පක්ෂයේ ද පැහැදිලි එකඟතාවයක් මේ සම්බන්ධයෙන් නොමැති අතර පක්ෂයේ විකල්ප කණ්ඩායම ලෙස සැළකෙන සාමාජිකයන්ගේ බලවත් විවේචන මීට එල්ල වෙමින් තිබේ.

මෙරට අරගලයක් ඇති කිරීමට හේතු භූත වූ කරුණු නිර්මාණය කළ කණ්ඩායමක් සමග සමසමාජ නායකයා ජාතික ලැයිස්තුවකට ඇතුලත් ව තරග වැදීම පිළිබඳ ජනතාව විමසිලිමත් වෙති.එමෙන්ම මෙම ලැයිස්තුවෙන් ඉදිරපත්ව සිටින ඇතැම් පුද්ගලයින් සමග එකම ලැයිස්තුවක තරග කිරීමට තරම් පරාජිත තත්ත්වයකට සමසමාජ නායකයා පත්වූයේ ඇයිද යන්න ගැන විමසති.

ඇතිව තිබෙන මෙම තත්ත්වය මීට පෙර මෙරට දේශපාලනයේ අවස්ථා කීපයකදීම ලංකා සමසමාජ පක්ෂය ගත් තීන්දුවලට නොදෙවෙනි වන බව බොහෝ දෙනෙක් අදහස් කරති.ඒ හැරත් මෙවැනි ස්භාවයක් මතු කරන ලද්දේ රටේ ඇති වූ පසුගාමී තත්ත්වයට එරෙහිව මෙරට ප්‍රගතිශීලි හා වාමාංශික කඳවුර බලවත් විරෝධයක් ප්‍රකාශ කරමින් නැගී සිටින මොහොතකදීය.එමෙන්ම ලංකා සමසමාජ පක්ෂය තුල ‘යතුර බලවත් කරමු’ යන මාතෘකාව කරලියට පිවිසෙමින් තිබෙන පසුබිමකය.

 ලංකා සමසමාජ පක්ෂය නැවතත් එහි අතීත ක්‍රියාන්විතයන් හරහා ඉදිරියට පැමිණිය යුතුය යන සංවාදය පසුගිය කාලයේදී එම පක්ෂය තුල සාකච්ඡාවට ලක් වෙමින් තිබුණි.පසුගිය ජනපතිවරණ උණුසුම ඉහල යමින් තිබියදී මෙම මාතෘකාව තියුණු සාකච්ඡාවට ලක් වෙමින් ඉදිරියට පැමිණයේය.එහිදී පක්ෂයේ වාමාංශික මුහුණුවර බලවත් ලෙස මතු කරමින් ගමන් කළ යුතුය යන්න හා අනෙකුත් වමේ පක්ෂ සමග එකඟතාවයන්ගෙන් ඉදිරියට යා යුතු බව සඳහන් කෙරුණු සාකච්ඡා පැන නැගුණි.

මෙරට තවත් වමේ පක්ෂ හා කණ්ඩායම් එම කාරණය මත සාකච්ඡාවලට සහභාගී විය.දැනට විසිරී සිටින, පක්ෂයේ මධ්‍යම කාරක සභාවද එකට එකතු වී රැස්වීම් පැවැත්විය යුතුය යන්නද එහිදී සැළකිල්ලට ලක් වූවකි.සමසමාජ පක්ෂයේ මුල් කාලීන දේශපාලන ක්‍රියාකාරිත්වයන් ගැන මේ වන විටද අගැයීමට ලක් කරන ඇතැම්හු මේ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පල කළ අතර බලාපොරොත්තු සහගතව අදහස් උදහස් ප්‍රකාශ කළහ.නමුත් මෙම මැදිහත්වීම්වල ඵලදායි බවක් මතු වූයේ නැත.සිදු වූයේ මෙම කරුණු සම්බන්ධයෙන් මැදිහත් කරුවන් වශයෙන් කටයුතු කළ ක්‍රියාධරයින් දුර්මුඛ වීමය

සමසමාජ පක්ෂ නායකත්වයේ හුදෙකලා බල අධිකාරිත්වය මෙම බිඳ වැටීම්වලට හේතු වූ බවට විවේචන පැන නැගුණි.එම අධිකාරී ස්භාවයට ප්‍රතිවිරුද්ධ වූවන්ට විවිධ චෝදනා එල්ල වුණි.තවත් ඉදිරි පියවර කීපයකදී ලංකා සමසමාජ පක්ෂය මුල්කරගෙන ජනපතිවරණ සංධානයක් පිළිබඳ සංවාදයක් මතු විය.මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කීපයක්ද පැවැත්වුණි.නමුත් සමාජවාදී මතවාදය සමග එකඟ නොවෙන අදහස් ගණනාවක් එහිදී ඉදිරියට පැමිණියේය.එම සාකච්ඡාවලට සහභාගී වූ ඇතැම්හු, සමසමාජ පක්ෂයේ මුල් කාලීන දේශපාලන ක්‍රියාකාරිත්වයන් හා ස්ථාවරයන් පිළිබඳ ගැඹුරින් සාකච්ඡාවට ලක් කළහ.පක්ෂයේ ඉදිරි ගමන ඒ වටා ගොනු විය යුතු බවට අදහස් ප්‍රකාශ කළහ.

 නමුත් මෙම සාකච්ඡාවලට සහභාගී වූ ඇතැම් පුද්ගලයින්ගෙන් හා සංවිධානවලින් මතු වූයේ සාකච්ඡාවල හරයෙන් බොහෝ ඈත් වූ මතවාදයන්ය.සමහර අදහස් කිසිදු ආකාරයකින් සමාජවාදී හෝ කම්කරු පංති දේශපාලනය සමග සමීප නොවුණි.ලංකා සමසමාජ පක්ෂයේ ‘යතුර’ සළකුණ යටතේ තරඟ වැදීමේ අදහස් මෙහිදී ඉදිරිපත් වුවද ශක්තිමත් වාම බලයක් ගොඩනැගීමේ ප්‍රකාශනය  බෙල හීන විය.

 ලංකා සමසමාජ පක්ෂයේ ‘සමාජවාදී අර්ථය ප්‍රාණවත් කළ යුතුය’ යන අදහස නැවතත් මතු වෙමින් තිබේ.එහෙත් ඒ සඳහා ගුණාත්මක සක්‍රීය වැඩ සටහනක් ඉදිරිපත් වී නොමැත.එම තත්ත්වය ගොඩනැගිය හැක්කේ වඩා ශක්තිමත් වාම දේශපාලන මුහුණුවරකින් ඉස්මතු වීම තුලින් පමණකි යන අදහස් ඉදිරිපත් වුවද ඊට නිශ්චිත ක්‍රියාන්විතයක් සැළකිය යුතු බලයකින් ඉදිරිපත් වන බවක් පැහැදිලි නොවේ.

 කෙසේ වුවද සමසමාජ නායකයාගේ වත්මන් ක්‍රියා කලාපය ගැන මෙරට වාමාංශිකයින්ගේ බලවත් දෝෂ දර්ශනයට ලක් වේ.ඇතමුන් දක්වන අන්දමට මෙය දෙවෙනි වන්නේ නව සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පසුගිය මහාමැතිවරණයේදී එක්සත්  ජාතික පක්ෂයෙන් කලුතර දිස්ත්‍රික්කයට තරඟ කළ අවස්ථාවට පමණි.එහිදී වික්‍රමබාහු දැඩි අවධාරණයට ලක් කළ ප්‍රකාශනය වූයේ ධනේශ්වර ප්‍රජාතන්ත්රවාදී විප්ලවය ජයග්‍රහණය කිරීමයි.නමුත් මෙම මහාමැතිවරණයේදී තිස්ස විතාරණ මහාචාර්යවරයාගේ ඉදිරිපත් වීම කුමක් අරඹයා ද යන්න මෙතෙක් පැහැදිලි වී නැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *