පාන්,ඉඩම් හා සාමය ඉල්ලා ජනතාව සටනක.රුසියාවේ දැවැන්ත පෙරළියක්. 1917 ඔක්තෝබරය

ප්‍රියන්ත සිල්වා විසිනි

රාජාණ්ඩුවාදී වැඩවසම් නීති රීති හා පැවති බරපතල පීඩාකාරිත්වය හමුවේ 1917 වසර ආරම්භයේදීම රුසියානු ජනතාව සාර් පාලනයට එරෙහිව නැගී සිටියහ.දරිද්‍රතාවයේ අන්ත අසීරු අඩියක සිටි පීඩාවට පත් වූ ජනතාවගේ මූලික ඉල්ලීම් වූයේ පාන්,ඉඩම් හා සාමයයි.නමුත් සාර් පාලනය ජනතාවගේ ඉල්ලීම් සපුරාලීමට අසමත් වූවා පමණක් නොව එම ඉල්ලීම්වලට ඇහුම්කන් දුන්නේද නැත.

විෂම සමාජ ආර්ථික ප්‍රකාශනය ඔස්සේ මතු වූ දේශපාලන මතවාදයන් රාශියකි.පරිවර්තනයක ඡායාව රුසියානු සමාජය මත පතිත වී තිබුණි.එයට පසුබිම සැළසූ සංසිද්ධි ක්‍රමයෙන් වර්ධනය විය.මෙම පරිවර්තනය ක්‍රමානුකූලව, ස්වභාවිකවම සිදුවනු ඇතැයි ඇතැම්හු අදහස් කළහ.මෙය දේශපාලන නායකත්වයක් මත සිදුවන පංති අරගලයක් මගින් සිදුකළ යුතු බව ඇතමුන්ගේ අදහස විය.පාලනයට සම්බන්ධ නිළධාරීන් හා ප්‍රභූන් ඝාතනය කිරීමෙන් මේ පරිවර්තනය සිදුකළ හැකියැයි තවත් සමහරු විශ්වාස කළහ.

බටහිර යුරෝපයේ කම්කරු නැගී සිටීමක් දෙස ඇතැමුන් අවධානයෙන් සිටි අතර ‘වී.අයි. ලෙනින්’ගේ මග පෙන්වීම මත නිර්මාණය කරන ලද බෝල්ෂෙවික් පක්ෂය පංතිමය දේශපාලන අරගලය අවධාරණය කරමින් පීඩාවට පත් රුසියානු ජනතාව සංවිධානය කිරීමේ කාර්යයට ප්‍රවේශ විය.අධික වෙහෙසකර අනතුරුදායක කර්තව්‍යයකට ඔවුන් නායකත්වය දෙන ලද්දේ පැවති තත්ත්වයන් මනාව ග්‍රහණය කරමිනි.

රුසියාවේ ග්‍රාමීය පෙදෙස්වල පීඩාවට පත් ගොවි ජනතාවට වගා කිරීමට ඉඩම් කැබැල්ලක් නොමැති විය.කාර්මික නගරවල දසදහස් ගණන් කම්කරුවෝ අතිශය දුෂ්කර පසුබිමක සිය ශ්‍රමය වැය කළහ.මෙවැනි පීඩාකාරිත්වයක් හමුවේද නාගරික පෙදෙස්වල කර්මාන්ත හා බැංකු ක්ෂේත්‍රය ඉහල ප්‍රාග්ධන සම්පාදන ක්‍රියාවලියක් යටතේ ධනේශ්වර සංවර්ධනයේ ඉහලට නැගෙමින් තිබුණි.ආයෝජනයන්හි වැඩි ප්‍රතිශතය විදෙස් සමාගම් සතු විය.

 පාන් කෑල්ලක් ලබා ගැනීමට දිගහැරුණු පෝලිම් පැවතියද, රටේ නිෂ්පාදිත ධාන්‍ය අපනයනය කෙරුණි.අධිරාජ්‍යවාදී යුද්ධය දිගින් දිගටම ඇදී ගියේය.යුධ අගල්වල සිර වී සිටි සෙබළු සාමය ඉල්ලා සිටියහ.සාර්වාදයට තව දුරටත් පාලනයේ රැඳියාවක් නොමැති මොහොතක ජනතාව නව පාලනයක් වෙනුවෙන් නැගී සිටියහ.

 තාවකාලික ආණ්ඩුවක් ඇති කිරීමට පාලන බලය අතට ගත් එන්.එප්f.කෙරෙන්ස්කි, මිලියුකොව් ඇතුලු කණ්ඩායම කටයුතු කළහ.එහෙත් ජනතා අපේක්ෂා ඉටු වූයේ නැත.ජනතාව,ඉඩම් හිමියන්ගේ හා ලිබරල්වාදීන්ගේ බලයට එරෙහිව නැගී සිටියහ.තාවකාලික ආණ්ඩුවේ පාලනයට වලංගුභාවයක් නොතිබුණි.බලය එක්තැන් වූයේ ,ජනතා බලවේගය මත ඉදි වූ සෝවියට් සභා තුලය.රුසියාව පුරා හමා ගියේ “සියලු බලය ජනතාවට”යන්නයි.

රුසියාවේ පාලන බලය දෙපසට පැද්දෙමින් තිබුණි.වාද විවාද ගණනාවක් මතුවිය.’ජනතා බලය ඉවතට වැටේද’? යන සංඥාව ඉහල යමින්තිබියදී සෝවියට් සභා බළමුළු ගැන්වීමේ කාර්යධරයා වූ ‘ලියොන් ට්‍රොට්ස්කි’ සහෝදරයා”තාවකාලික ආණ්ඩුව එපා”යන පාඨය ඉහලින්ම හඬ නැගුවේය.ඔහු පෙට්රොග්රෑඩ් සෝවියට් සභාවේ සභාපතිවරයාද විය.සෝවියට් සභාවල ක්‍රියාකාරිත්වය බෝල්ෂෙවික් පක්ෂයේ දැක්ම සමඟ සමීපව ගමන් කළේය.

සෝවියට් සභාවලට, අති විශාල රුසියානු භූමියේ පාලනය ගෙන යා හැකිද යන පැනය මතු වී තිබුණි.නූගත් ජන කොටස්වලින් සමන්විත සෝවියට් සභාවලින් පාලනයක් ගෙන ගිය හැකිද?යන විවේචනය බටහිර උගතුන් මතු කළේය.නමුත් ජනතාවගේ බලය නිවැරදි දිශාවකට ගමන් කරමින් පැවතුණි.ලෝක ශිෂ්ටාචාරයේ නව නැම්මකට රුසියාව ගමන් කළේය.ඉදි වූ කම්කරු , ගොවි, සෙබළ සභා සිය බලය ස්ථාපිත කරන ලද්දේ දැවැන්ත නැගී සිටීමක් ද සමගිනි.

1917 ඔක්තෝබරයේ 26 දින අරුණලු උදා වූයේ නව සමාජ පරිවර්තනයක සළකුණ ඉතිහාසයේ තබමිනි.පීඩාවට පත් ජනතාවගේ ජයග්‍රාහී මොහොතේ එම ක්‍රියාදාමයේ නියමුවා,වී.අයි.ලෙනින් සහෝදරයා ජනතාව ආමන්ත්‍රණය කළේ මිනිස් ශිෂ්ඨාචාරයේ එතෙක් නොපැවති සමාජයක මග පෙන්වන්නා වශයෙනි.එය ලෝක ඉතිහාසයේ අසිරිමත් ඔක්තෝබරයයි.අප මේ ගතකරමින් සිටින්නේ ශතකයක් පසුකළ එම ඔක්තෝබරයේ කාල පරිච්ඡේදයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *