රුදුැරු කප්පාදු පියවර ක්‍රියාත්මක කරන බවට, ජවිපෙ ජනාධිපති ජාමූඅ ට සහතික වෙයි

[මෙය Sri Lanka’s JVP president reassures IMF he will implement savage austerity measures යන මැයෙන් 2024 ඔක්තෝබර් 06 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක, ඔහුගේ ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ම්ලේච්ඡ කප්පාදු සහ පුද්ගලීකරන පියවරයන් ක්‍රියාත්මක කරන බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) ඉහල නියෝජිත පිරිසකට සහතික වී ඇත.

ඔක්තෝබර් 03 සහ 04 යන දිනයන් හි, දිසානායක, ජාමූඅ නියෝජිත පිරිසක් හමුවිය. එම පිරිසට නායකත්වය දෙනු ලැබුවේ ජාමූඅ හි ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්නා ශ්‍රීනිවාසන් සහ ජ්‍යෙෂ්ඨ දූත මන්ඩල ප්‍රධානී පීටර් බෲවර් විසිනි.

සාකච්ඡා අවසානයේ ඒවා “ඵලදායි” වූ බව ප්‍රකාශ කරමින් ජාමූඅ ප්‍රකාශයක් නිකුත් කලේය. “ප්‍රතිසංස්කරන ප්‍රයත්නයන් දිගටම ගෙන යාමට බලධාරීන්ගේ කැපවීම, අපව දිරිමත් කරයි,” ජාමූඅ තවදුරටත් පැවසීය.

“ප්‍රතිසංස්කරන ප්‍රයත්න” යන්නෙන් ජාමූඅ අදහස් කරන්නේ, 2022 දී එය ශ්‍රී ලංකාවට ලබා දීමට එක ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක හදිසි ඇප නය වෙනුවෙන් විධානය කර ඇති ආර්ථික “ප්‍රතිව්‍යුහකරන” වැඩසටහන ක්‍රියාත්මක කිරීමයි. එම වැඩසටහන, ශ්‍රී ලංකාවේ ධනවාදයේ ලාභදායිත්වය දැවැන්තව ඉහල නැංවීමත්, දේශීය පාලක පන්තිය විසින් දරා සිටින නය කන්දරාව වැඩකරන ජනතාව‌ගේ වියදමෙන් ගෙවීමත් ඉලක්ක කර ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස දැනටමත් දන්ඩනීය විදුලි ගාස්තු, ප්‍රතිගාමී විකුනුම් සහ ආදායම් බදු වැඩි කිරීම් ක්‍රියාත්මක කර ඇති අතර, රාජ්‍ය ව්‍යවසාය කුනු කොල්ලයට විකුනා දැමීමටත්, රාජ්‍ය අංශයේ රැකියා මිලියන භාගයකට වඩා විනාශ කිරීමටත් කැඳවුම් කර තිබේ.

ජවිපෙ යනු දශක ගනනාවක් තිස්සේ දක්ෂිනාංශික ආන්ඩුවලට සහය දීමෙන් සහ ඒවාට සහභාගී වීමෙන් දේශපාලන සංස්ථාපිතය තුලට ඒකාග්‍ර වීමට උත්සාහ ගත් අධිරාජ්‍ය ගැති, වර්ගවාදී පක්ෂයකි. 2022 දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පලවාහල කම්කරු පන්තියේ නායකත්වයෙන් යුත් මහජන නැගිටීම දේශපාලනිකව පීලිපැන්නවීමේ දී එය වැදගත් කාර්යභාරයක් ඉටු කලේය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මාධ්‍ය විසින්, එය “වාම” පක්ෂයක් ලෙස ව්‍යාජ ලෙස ප්‍රවර්ධනය කරනවා පමනක් නොව, පසුගිය මාසයේ ජනාධිපති ලෙස තේරී පත් වූ දිසානායක බොහෝ විට ‘සමාජවාදියෙකු’ සහ ‘මාක්ස්වාදියෙකු’ ලෙස පවා විස්තර කරයි.

දිසානායක ජනාධිපති ධුරය දිනා ගත්තේ, සාම්ප්‍රදායික ධනේශ්වර පක්ෂ සහ ඒවා තුල දිගු කලක් ආධිපත්‍යය දැරූ දූෂිත ධනේශ්වර පවුල් අතලොස්සක් කෙරහි පවතින ජනතා සතුරුකමට ආයාචනා කිරීමෙනි. ඒ අතරම ඔහු, ජවිපෙ/ජාජබ ආන්ඩුවක්, මහජනතාවට, විශේෂයෙන්ම ආන්තික දුප්පතුන්ට එය වඩාත් රුචිකර වන අයුරින් වෙනස්කර ගැනීමට ජාමූඅ සමග ‘යලි සාකච්ඡා කරන’ බවට බොරු කියමින්, එහි කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට නැංවීමට ප්‍රතිඥා දුන්නේය.

ශ්‍රී ලංකා ධනවාදයේ අවිනිශ්චිත තත්වය සහ 2025 දී සහ ඉන් පසුව අයවැය අතිරික්තයන් දැවැන්ත ලෙස ඉහල දැමීමේ අවශ්‍යතාවය පිලිබඳව මැතිවරනයට පෙර සහ පසු අනතුරු ඇඟවීම් නිකුත් කිරීමත් සමග, ඕනෑම වෙනස් කිරීමක් මතුපිටින් සිදුවන්නක් පමනක් වනු ඇති බව ජාමූඅ සහ ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනය ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා වොෂින්ටනයේ සිට කතා කරමින්, ජාමූඅ හි ප්‍රධාන ප්‍රකාශිකා, ජූලි කොසැක්, ‘සැලකිය යුතු දුර්වලතා සහ අවිනිශ්චිතතාවයන් පවතී; මෙයින් අදහස් වන්නේ ප්‍රතිසංස්කරන ව්‍යාපාරය පවත්වාගෙන යාම තීරනාත්මක බව යි,’ යනුවෙන් ප්‍රකාශ කලා ය.

දිසානායක සහ අනෙකුත් ශ්‍රී ලංකා නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවන් පිලිබඳ එහි ඔක්තෝබර් 4 ප්‍රකාශය තුල, ජාමූඅ මෙසේ පැවසුවේය: “ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතිමත් වීමේ මාවතකට ගෙන යාමට උපකාර කර ඇති දුෂ්කර ජයග්‍රහන ආරක්ෂා කර ගැනීම සහ ගොඩ නැගීමේ වැදගත්කම පිලිබඳව ඔවුන් එකඟ විය.”

මෙම “අමාරුවෙන් දිනාගත් ජයග්‍රහන” යනු අන් කිසිවක් නොව, සහනාධාර සහ රැකියා කප්පාදුවත්, මිල හා එකතු කල අගය මත (විකුනුම්) බදු වැඩි කිරීමත් හරහා මහජනයාගේ දුගීභාවය වැඩි කිරීම යි.

ජනාධිපති මාධ්‍ය අංශයට (ජමාඅ) අනුව, ‘වැඩසටහනේ ඉලක්ක සඳහා කැපවීමට ජනාධිපති දිසානායකගේ කැමැත්ත ජාමූඅ අගය කල අතර ශ්‍රී ලංකා ආන්ඩුව විසින් යෝජනා කරන ලද විකල්ප ප්‍රවේශයන් පිලිබඳව සාකච්ඡා කිරීමට එකඟ විය.’

ජමාඅ මෙම ‘විකල්ප ප්‍රවේශයන්’ විස්තාරනය නොකල නමුත්, එය ‘නැවත සාකච්ඡා කල’ ජාමූඅ වැඩසටහනක් පිලිබඳ ජවිපෙ/ජාජබ හි බොරු පොරොන්දු ගැන සඳහනකි.

මෙම ‘විකල්ප ප්‍රවේශයන්’ පිලිබඳ සාකච්ඡාව, ඇප නය පැකේජය පිලිබඳ ජාමූඅ හි තුන්වන සමාලෝචනයේ කොටසක් ලෙස ගනු ලබන බවට දෙපාර්ශවය එකඟ විය. එම සමාලෝචනය වනුයේ ඇප නය මුදලේ දල වශයෙන් ඩොලර් මිලියන 350 ක සිව්වන වාරිකය නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා ආන්ඩුව කොන්දේසි සපුරා තිබේද යන්න තීරනය කිරීමයි.

තෙවන සමාලෝචනය වහාම ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. එහෙත් ජාමූඅ— දිසානායක සහ ජවිපෙ/ජාජබ ආන්ඩුව සමග වැඩ කිරීමට එය සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සූදානම අවධාරනය කරමින්—සමහර විට මාසය අවසන් වන තුරු හෝ ශ්‍රී ලංකාවේ නොවැම්බර් 14 පාර්ලිමේන්තු මැතිවරනයෙන් පසුවට පවා එය කල් දැමීමට එකඟ වී ඇත.

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයේ අත්තනෝමතික බලතල භාවිතා කරමින්, දිසානායක සැප්තැම්බර් 23 දින සිය ධුරයට පත්වී පැය කිහිපයක් ඇතුලත, පාර්ලිමේන්තු වාරය අවසන් වීමට මාස හයකට පෙර එය විසුරුවා හැරියේය.

කල්තියා මැතිවරනය පැවැත්වීමෙන් ජවිපෙ/ජාජබ බලාපොරොත්තු වන්නේ, මහජන විරෝධය හමුවේ තම කම්කරු පන්ති-විරෝධී ස්වභාවය පැහැදිලිව හෙලි වීමටත්, ජාමූඅ කප්පාදු තීව්‍ර කිරීමටත් පෙර තම දෑත් ශක්තිමත් කර ගැනීමට ය. නික්ම යන පාර්ලිමේන්තුව 2020 දී තේරී පත්වීමේ දී, ජවිපෙ/ජාජබ ආසන 225 න් 3 ක් සහ සියයට 3.8 ක ඡන්ද ප්‍රතිශතයක් පමනක් ලබාගෙන ඇත.

දිසානායක මහජන කෝපයට මුහුන දීමට තම ආන්ඩුවේ පටි තදකර ගනිමින් සිටින බව, ජවිපෙ/ජාජබ මිලිටරි-ආරක්ෂක යාන්ත්‍රනය සමග දැඩි ලෙස වෙලී සිටීමෙන්, එහි “ආර්ථික සංවර්ධන” වැඩ සටහන “නීතිය හා සාමය” මත පුරෝකථනය කර ඇති බවට පුන පුනා ප්‍රකාශ කිරීමෙන් සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ඔවුන්ගේ පූර්ව පොරොන්දු සඳහා වන කවර හෝ සඳහනක් අතහැර දැමීම මගින් තවදුරටත් පෙන්නුම් කෙරේ.

සිය තුන්වන සමාලෝචනය සමඟ ක්ෂනිකව ඉදිරියට නොයාම පිලිබඳව ජාමූඅ වෙත ස්තුතිය පුදකරමින් ජමාඅ ප්‍රකාශය මෙසේ පවසයි: “ඉදිරි මහ මැතිවරනය හේතුවෙන් ප්‍රමාදයන් පවතින අතර, තුන්වන සමාලෝචන ක්‍රියාවලියට පහසුකම් සැලසීමට සහ වැඩසටහන බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට ආන්ඩුවේ කැපවීම පිලිබඳව ජනාධිපති දිසානායක ජාමූඅ වෙත සහතික විය.”

ජනාධිපතිවරනයට පෙරාතුව, ජාමූඅ දූත මන්ඩල ප්‍රධානී බෲවර් ප්‍රකාශ කලේ, සිව්වන වාරිකය නිකුත් කිරීමට අවසර දීමේ තුන්වන සමාලෝචනයේ කොන්දේසිය නම්, 2025 දී අයවැය අතිරික්තය 2023 මෙන් හතර ගුනයකින් වැඩි කිරීමට, එසේත් නැතහොත් දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.6 සිට සියයට 2.3 දක්වා, එනම් ඩොලර් බිලියන 1.5 ට වඩා වැඩි කිරීමට ශක්‍ය සැලැස්මක් තිබියයුතු වීමයි.

මෙම ඉලක්කය සපුරා ගැනීම සහතික කිරීම සඳහා, බෲවර් පැවසුවේ, එය ‘සුදුසු ආදායම් ක්‍රියාමාර්ග සහ අඛන්ඩ වියදම් සීමා කිරීමේ ක්‍රියාමාර්ග’ වලට යටත් කල යුතු බවයි.

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ “ප්‍රතිසංස්කරන ප්‍රයත්නයන් දිගටම ගෙන යාමට ඇති කැපවීම” පිලිබඳ ජාමූඅ ප්‍රකාශය, අමතර බදු වැඩිකිරීම්, පුද්ගලීකරනය සහ රාජ්‍ය අංශයේ රැකියා කප්පාදුව වේගවත් කිරීම, මහජන සෞඛ්‍ය හා අධ්‍යාපනය තවදුරටත් කප්පාදු කිරීම පිලිබඳ විශ්වාසය සම්බන්ධයෙන් වූ ප්‍රකාශනයකි.

පසුගිය සතියේ උපදේශනවලදී, ජාමූඅ, ශ්‍රී ලංකාවේ මහා ව්‍යාපාරිකයන්ගේ සහ කුප්‍රකට එක්සත් ජනපද-ගැති ගෝලබාලයෙකු වූ, පූර්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර තිබූ, නය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ක්‍රමයකට ද කොල එලිය පෙන්නා තිබේ. මෙම යෝජනා ක්‍රමය යටතේ, ගෝලීය ප්‍රාග්ධනයේ නය දෙන මිනී මෝරුන්ගෙන් නව නය ලබා ගැනීමට දොර විවර කරමින්, ශ්‍රී ලංකාව 2022 වසන්තයේ දී පැහැර හරින ලද නය ප්‍රමානයෙන්, ඩොලර් බිලියන 12 ක පමන ජාත්‍යන්තර නය මුදලක් ආපසු ගෙවීමට නැවත සාකච්ඡා කරනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ නිල නය හිමියන්ගේ කමිටුවේ එකඟතාවය ඇතිව, ශ්‍රී ලංකාවේ නව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හුවමාරුව කලමනාකරනය කිරීම සඳහා එක්සත් ජනපදය පදනම් කරගත් තුන්වන විශාලතම බැංකුව වන සිටිබෑන්ක් පත් කර ඇත.

ඔක්තෝබර් 04 වන දා, දිසානායක, ජවිපෙ/ජාජබ අගමැතිනී හරිනි අමරසුරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සමග සාකච්ඡා පැවැත්වූහ—ඔහු, දිසානායක සැප්තැම්බර් 21 තේරී පත්වීමෙන් පසු දිවයිනට පැමිනි පලමු ජ්‍යෙෂ්ඨ විදේශ නිලධාරියා වේ.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවලට අනුව, දිසානායක, “ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක අවශ්‍යතාවලට” පටහැනි කිසිවක් නොකරන බවට ජවිපෙ/ජාජබ දැන් නිතර නිතර මහජනතාවට දෙන ප්‍රතිඥාව, ජයිශංකර් වෙත නැවත අවධාරනය කර ඇත.

මෙය හුදෙක් නවදිල්ලියට දුන් පොරොන්දුවක් පමනක් නොව, ඉන්දියානු සාගරය හරහා වැටී ඇති ප්‍රධාන නැව් මංතීරු අතර පිහිටා ඇති ශ්‍රී ලංකාව, චීනයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනි අවුලුවන මිලිටරි-මූලෝපායික ප්‍රහාරයට තව දුරටත් ඒකාග්‍ර කිරීමට ජවිපෙ/ජාජබ ආන්ඩුවේ සූදානම ප්‍රදර්ශනය කිරීමකි.

ඉන්දියාව, දකුනු හා අග්නිදිග ආසියාවේ වොෂින්ටනයේ වඩාත්ම වැදගත් මිතුරා ය. ඔවුන්ගේ චීන විරෝධී සන්ධානය, පසුගිය වසර 15 පුරා නව දිල්ලියේ විදේශ ප්‍රතිපත්තියේ සහ ගෝලීය භූ දේශපාලන මූලෝපායේ මුල්ගල බවට පත්ව ඇති ඉන්දු-එක්සත් ජනපද “ගෝලීය මූලෝපායික හවුල්කාරිත්වයේ” සාරය වේ.

ජයිශංකර්ගේ කොලඹ සංචාරය සිදුවූයේ, ජපානය සහ ඕස්ට්‍රේලියාව සමඟ චීන විරෝධී චතුර්කය හරහා ඉන්දු-එක්සත් ජනපද සන්ධානය ශක්තිමත් කිරීම පිලිබඳව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ අනෙකුත් එක්සත් ජනපද නිලධාරීන් සමඟ වොෂින්ටනයේ දී විස්තීර්න සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය. ජයිශංකර් සහ බ්ලින්කන් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය යුද්ධයේ අනෙකුත් පෙරමුනු දෙක —එනම්, එක්සත් ජනපදය සහ නැටෝව රුසියාවට එරෙහිව උසිගැන්වූ යුද්ධය සහ මැද පෙරදිග යලි බෙදීමට ඊශ්‍රායලයේ මූලිකත්වය ගත් මෙහෙයුම ගැන—කෙරෙහි ඉන්දියාවේ ආකල්පය සහ භූමිකාව ගැනද සාකච්ඡා කලහ.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ සුබපැතුම් පනිවිඩයට ප්‍රතිචාර වශයෙන් ජවිපෙ/ජාජබ නායක දිසානායක වොෂින්ටනයේ කොල්ලකාරී න්‍යාය පත්‍රයට තම පක්ෂපාතිත්වය ප්‍රකාශ කල බව ද සඳහන් කල යුතුය. යුද්ධය සහ ලෝකයේ වඩාත්ම ජනාකීර්න හා වේගයෙන්ම වර්ධනය වන කලාපය තුල ආධිපත්‍යය ඇතුලුව, ඔනෑම ක්‍රමයක් හරහා පාලනය පවත්වා ගැනීමේ අභිලාෂය ගැන කතා කිරීමේ දී, වොෂින්ටනය භාවිතා කරන සීනි තැවරූ වචන මාලාව ම භාවිතා කරමින් ‘සාමකාමී, ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක්’ සඳහා එක්සත් ජනපදය සමඟ වැඩ කිරීමට ශ්‍රී ලංකාවේ නව ආන්ඩුව කැපවී සිටින බව ඔහු පැවසීය.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටාගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *