උපදේශන ආචාරධර්ම ක්‍රියාවලියක් අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

නව ආණ්ඩුව රටේ ප්‍රධාන ජාතික ගැටළුව සම්බන්ධයෙන් ප්‍රවේශම් වන අතර එහි පූර්වගාමියා විසින් සකස් කරන ලද දිශාව අනුගමනය කරන බව පෙනේ. මෙය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගිවිසුමට සහ එහි දැඩි කොන්දේසිවලට අනුකූල වීමෙන් පැහැදිලිවම දැකගත හැකිය. ජනාධිපතිවරණයට පෙර විවේචනයට ලක්කළද, රජය ආර්ථිකය සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධාන නිලධාරීන් තවදුරටත් රඳවා ගෙන ඇත. ජිනීවාහි පසුගිය සතියේ තීරණය කිරීමට තිබූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා සම්මුතිය සම්බන්ධයෙන්ද ගත්කල, අන්තර්ජාතික අභියෝගය සම්බන්ධයෙන්ද රජය එම ප්‍රවේශම අනුගමනය කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරුන් විසින් නායකත්වය දුන් පෙර ආණ්ඩු දෙක විසින් භාවිත කළ ප්‍රතිපත්තියම වත්මන් ආණ්ඩුව අනුගමනය කළ අතර, එය යෝජනා සම්මුතිය ප්‍රතික්ෂේප කිරීම වඩාත් සහයෝගීතාවක් පළකරන භාෂාවකින් සිදුකළේය.

ආණ්ඩුවේ විවේචකයන් පෙන්වාදීමට උත්සාහ කර ඇත්තේ, පෙර ආණ්ඩුව විසින් හඳුන්වාදුන් ප්‍රතිපත්තිවල ප්‍රතිලාභ මෙම ආණ්ඩුව ලබන බවයි. පෙර ආණ්ඩුව එම තීරණ ගැනීම නිසාම ජනප්‍රියත්වය අහිමිකර ගත්තේය. කෙසේවෙතත්, නොවැම්බර් 14 වැනිදා මහමැතිවරණය පැවැත්වෙන තෙක් මෙම ප්‍රවේශම්වීමේ ප්‍රවේශය දිගටම පවතිනු ඇත. මෙය රටේ ආර්ථික සහ සාමාජයීය ස්ථායීතාවයට ප්‍රයෝජනවත් වී ඇති අතර එය විවේචනය කළ යුතු නොවේ. රටේ ව්‍යාපාරික නායකයන් සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙන්ම අන්තර්ජාතික ප්‍රජාව විසින් සැළකිව යුතු කනස්සල්ලක් ප්‍රකාශ කර තිබුණේ, ආර්ථිකය අවදානම් ගමනක යන බවත්, ආණ්ඩුව වෙනස් වුවහොත් එය සෘණාත්මක තත්ත්වයකට පත්විය හැකි බවත් පවසමිනි. මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇති නොවන බව සහතික කිරීමට ආණ්ඩුව විසින් ගනු ලැබූ ඉතා ධණාත්මක පියවර මෙයින් පැහැදිලි විය හැකිය. මේවාට ඇතුළත් වූයේ ජනතාව සාම්ප්‍රදායික ආකාරයට කිරිබත් පිසීමෙන් හා අනුභව කිරීමෙන් සහ ගිනිකෙළි දැල්වීමෙන් ඔහුගේ ජයග්‍රහණය සැමරීම නොකළ යුතු බවට ජනාධිපතිවරයා කළ ඉල්ලීමයි. අතීතයේදී එවැනි ක්‍රියා ප්‍රචණ්ඩත්වයට මග පෑදූ අතර, නිරපරාධ ජීවිත විනාශ කර, රටේ කීර්තිනාමයට හා විදේශීය ආයෝජකයන්ගේ ආකර්ෂණයට හානි කළේය.

ඉදිරියේදී පැවැත්වෙන මහමැතිවරණයේදී හොඳින් ක්‍රියාකිරීමට සහ පාර්ලිමේන්තු ආසන බහුතරයක් ජයග්‍රහණය කිරීමට ආණ්ඩුවේ උපායමාර්ගය පදනම් වී ඇත්තේ ජනාධිපතිවරණයේදී ලබාගත් සාර්ථකත්වය සහ හොඳ කීර්තිනාමය තහවුරු කරගැනීම මතය. මහමැතිවරණයේදී ආණ්ඩුව තම පළමු මාස දෙකේ ක්‍රියාකලාපය සහ ලැබූ බලය අනුමත කරන විශාල ඡන්දදායකයන් පිරිසකගෙන් ධනාත්මක විශ්වාසයක් අපේක්ෂා කරයි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ඡන්දය දුන් 42%ක ඡන්දදායකයන්ගෙන් අති විශාල බහුතරයක් එසේ කළේ විරෝධතා ඡන්දයක් ලෙසිනි. සාම්ප්‍රදායික ලෙස ඡන්දය දීමෙන් ඔවුන්ට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බව ඔවුන් දුටුවේය. මෙවර කෙසේවෙතත්, ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ධනාත්මක ඡන්දයක් වන අතර එය රටේ බොහෝ ප්‍රදේශවල සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අදහස් හමුව

ජනවාර්ගික හා ආගමික සුළුතර ජනතාව බහුල ප්‍රදේශවල ජනාධිපතිවරයා ඡන්ද බහුතරයක් ලබානොගැනීම සැළකිව යුතු කරුණකි. මෙය සිදුවන්නට ඇත්තේ පසුගිය දශක පහක කාලය තුළ ජාතික ජන බලවේගයේ මව් පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ විසින් ජාතික හා ආගමික සුළුතරයන්ගේ අපේක්ෂාවන්ට සහාය නොදැක්වීම හා ඔවුන්ගේ ඉල්ලීම් හේතුවෙන් රටේ ඒකීයභාවයට හා ස්වාධීනත්වයට ඇති තර්ජනය පිළිබඳව ජාතික හා ආගමික බහුතරයේ පොදු අදහස බෙදාගැනීම නිසා විය හැකිය. ජනාධිපතිවරණ ව්‍යාපාරය අතරතුර, ජනාධිපති දිසානායක මෙම පැරණි ආකල්ප නිසා සිදුවූ හානිය හඳුනාගත්තේය. ඔහු සුළුතරයන් සම්බන්ධයෙන් අතීතයේ සිදු වූ වෙනස්කම් කිරීම් පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් පෙන්නුම් කරන කථා පැවැත්වීය. ඔහු ඔවුන්ගේ දුක් කම්කටොලු සමඟ එකත්මිකතාව දැක්වූ අතර ඔවුන්ගේ ගැටලු විසඳීමට අවංක උත්සාහයක් දැරීමට පොරොන්දු විය.

නව රජයේ කාර්යසාධනයේ පළමු සති තුන තුළ, ජාතික හා ආගමික සුළුතරයන්ට ජාතික ජන බලවේගය යනු ඔවුන් මීට පෙර දැන සිටි ජනතා විමුක්ති පෙරමුණ නොවන බව සහතික වී ඇති බව පෙනේ. මෑතකදී නැගෙනහිරට කළ සංචාරයකදී සහ එහි දෙමළ හා මුස්ලිම් සිවිල් සමාජය, ආගමික පූජකවරුන් සහ විද්වතුන් හමුවීමේදී, මුළු රටම ආවරණය වන පරිදි අදහස් හමුවක් සිදුවූ බවට හැඟීමක් ඇතිවිය. ‘ක්‍රම වෙනසක්’ සහ ‘නව මුහුණු’ සඳහා ඇති ආශාව සර්වකාලීන ය. උතුර හා නැගෙනහිර සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කෙරෙහි සහ නැවත නැවතත් තෝරා පත්කර ගත් දේශපාලනඥයන් කෙරෙහි අප්‍රසාදයක් තිබිණි. මෙම දේශපාලනඥයන් ඔවුන්ගේ ජීවිත වැඩිදියුණු කරන ප්‍රතිඵල ලබාදීමට අසමත් වී ඇත.

වර්තමානය වන විට වාර්ගික සහ ආගමික සුළුතරයන් වැඩි වශයෙන් සිටින ප්‍රදේශවල ජාතික ජන බලවේගයට සමාන කිසිවෙක් නැත. එබැවින් ජනතාවගෙන් බොහෝදෙනකුට ජනවාර්ගික හා ආගමික බහුතරයට අයත් සෙසු පුරවැසියන් මෙන් ඉදිරි මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදීමට අවශ්‍ය වනු ඇත. පසුගිය සති තුන තුළ ස්ථාවරත්වය වෙනසකට ලක්වීමට හෝ ආර්ථිකය ගිලාබැසීමට අදාළ කිසිදු මතභේදාත්මක දෙයක් සිදුනොවීම නව දේශපාලන පක්ෂය සහ නව නායකයන් තෝරාගැනීමේ ඔවුන්ගේ කැමැත්ත ශක්තිමත් කරනු ඇත. රටේ සෙසු ප්‍රදේශවල මෙන්ම, පසුගිය දශක හත තුළ සාධනීය ප්‍රතිඵල ලබානොදුන් අයව ප්‍රතික්ෂේප කිරීමට සහ අලුත් අය පිළිගැනීමට පක්ෂව ජනප්‍රිය මනෝභාවයක් නිර්මාණය වී ඇති බව පෙනේ. කෙසේවෙතත්, අපේක්ෂකයන් තෝරාගැනීමේදී ජාතික ජන බලවේගය වඩා යථාර්ථවාදී විය හැකිය. පක්‍ෂයට හිතවත්, නමුත් ඡන්දය දෙන ජනතාව එතරම් නොදන්නා අය, ජනතාවගේ විශ්වාසය ඇති අය විය යුතු නැත.

සීමිත උපදේශනය

මෙම සන්දර්භයේදී නැගෙනහිර ප්‍රදේශයේ මතු වූ කනස්සල්ලක් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. ජාතික ජන බලවේගය විසින් මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් තෝරාගැනීම සම්බන්ධයෙන් සීමිත උපදේශන පමණක් සිදුකර ඇති බව පෙනේ. අපේක්ෂකයන් තෝරාගෙන ඇත්තේ පක්ෂ ධුරාවලිය විසින් ඒකාකාරී ආකාරයකට වඩා බාහිර සාධකවලට ප්‍රමුඛතාව ලබාදෙන ආකාරයකින් බව පෙනේ. ජනතා විමුක්ති පෙරමුණ සාම්ප්‍රදායිකව ඡන්ද ලබාගෙන ඇති සහ ඔවුන්ගේ සාමාජිකත්වය පැවති ප්‍රදේශවල මෙය ගැටලුවක් නොවිය හැකිය. එම ප්‍රදේශවල ජනතාවට ජවිපෙ සාමාජිකයන් පෙනෙන්නට සිටි අතර ඔවුන් ගැන දැනසිටියහ. කෙසේවෙතත්, ජාතික හා ආගමික සුළුතරයන් ප්‍රමුඛ ප්‍රදේශවල ජවිපෙ සාමාජිකයෝ අඩුවෙන් හඳුනාගැනෙන අතර, අඩුවෙන් පෙනෙන්නට සිටිති. මෙහිදී ජනතාවට හොඳින් සේවය කර ඇති සහ ඔවුන්ගෙන් පිළිගැනීමක් ලබා ඇති අපේක්ෂකයන් හඳුනාගැනීම සඳහා පුළුල් ලෙස සිවිල් සමාජය සමඟ වඩාත් දැඩි උපදේශන ක්‍රියාවලියක් අවශ්‍ය විය හැකිය.

ඉහත සඳහන් කරුණ රජය විසඳිය යුතු පළමු අභියෝගය නම්, දෙවන අභියෝගය වන්නේ ජාතික හා ආගමික සුළුතරයන්ට මෙන්ම අන්තර්ජාතික ප්‍රජාවට ද විශ්වාසයක් වන බලය විමධ්‍යගතකරණය කිරීම සඳහා රජයේ කැපවීම ප්‍රකාශ කිරීමයි. සිය මැතිවරණ ප්‍රකාශනයේ සහ කථාවල ජනාධිපති දිසානායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පොරොන්දු විය. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ පාලනය ගෙනයන්නේ බහුතරයයි. ජාතික හා ආගමික අනන්‍යතා ක්‍රියාත්මක වන විට, මැතිවරණ ක්‍රමයට සමාන කළ නොහැකි ස්ථිර බහුතරයන් සහ ස්ථිර සුළුතරයන් පවතිනු ඇත. ප්‍රාදේශීය බහුතරයන් විසින් තෝරා පත්කර ගනු ලබන පළාත් ආණ්ඩු වෙත බලය විමධ්‍යගතකරණය කිරීම තුළින් පමණක් සුළුතරයන්ට තමන්ද ඊට ඇතුළත් බවට හැඟීමක් දැනෙනු ඇත.

මේ සම්බන්ධයෙන් නැගෙනහිර සිවිල් සමාජ සාමාජිකයන් විසින් අදියර තුනක වැඩසටහනක් නිර්දේශ කර ඇත. පළමුවැන්න වනුයේ තවදුරටත් ප්‍රමාද නොකර පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් සීමිත හා සීමාසහිත බලතල සහිත වුවද, 13 වැනි සංශෝධනය වහාම ක්‍රියාත්මක කිරීමයි. දෙවැන්න වනුයේ ව්‍යවස්ථාවේ සඳහන් වුවද තවමත් විමධ්‍යගත නොකළ හෝ හිතාමතාම හෝ නොසළකා හැරීම හේතුවෙන් කප්පාදු කර ඇති බලතල 13 වැනි සංශෝධනයට නැවත ලබාදීමයි. තෙවැන්න වනුයේ ආණ්ඩුව පොරොන්දු වී ඇති පරිදි පූර්ණ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළ බලය විමධ්‍යගතකරණය කිරීමේ ක්‍රමය වැඩිදියුණු කිරීමයි. විවිධ කලාප වල විවිධ ආර්ථික අවශ්‍යතා හා අවස්ථා ඇති බව පිළිගැනීමෙන් සංවර්ධනය පහසු කිරීමට අමතරව, විමධ්‍යගතකරණය කිරීමේ මූලධර්මය එල්ටීටීඊ යුද්ධ සමයේ ශ්‍රී ලංකාවේදී ප්‍රකාශ කළ මහාචාර්ය යොහාන් ගල්ටුන්ග් නම් මහා නෝර්වීජියානු සාම විද්වතාගේ ප්‍රඥාවන්ත වචන කෙරෙහි ද අවධානය යොමුකරයි. ඔහු කියාසිටියේ, “අපට තරමක් අකාරුණික වුවද අපේම කෙනෙකු විසින් පාලනය කිරීමට අපි කැමතියි” යනුවෙනි. මේවා සහ අනෙකුත් කරුණු පිළිබඳව උපදේශන ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද කරනවාට වඩා එය කඩිනමින් ආරම්භ කිරීම වැදගත් විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *