සමාජවාදය සහ යුද්ධයට හා ජන සංහාරයට එරෙහි සටන

ඇන්ඩෘ ඩේමන් විසිනි

[මෙය, “Put aside the search for half-measures!” Socialism and the fight against war and genocide යන මැයෙන් 2024 ඔක්තෝබර් 10 පල කෙරුනු ඉදිරිදර්ශනය ලිපියේ පරිවර්තනයයි.]

බදාදා [ඔක්තෝබර් 10] සමාජවාදී සමානතා පක්ෂය (සසප), ගාසා ජන සංහාරයේ වසරක සංවත්සරය සනිටුහන් කරමින් අන්තර්ජාල සාකච්ඡාවක් පැවැත්වූ අතර, මෙය මැද පෙරදිග තුල එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරයේ ඓතිහාසික මූලයන් විශ්ලේෂනය කරමින් එය නැවැත්වීමට සමාජවාදී මූලෝපායක් ඉදිරිපත් කලේය.

සසප ජාතික ලේකම් ජෝසප් කිෂෝර්; ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කම්කරු තොරතුරු පිලිබඳ සංස්කාරක ජෙරී වයිට්; සහ ලෝසවෙඅ හි ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් මෙම අවස්ථාවට සහභාගි වූහ.

පසුගිය වසර පුරා, එක්සත් ජනපද මාධ්‍ය, ගාසාවේ ජන සංහාරය, “හුදු පාපීත්වයේ” පැහැදිලි කල නොහැකි ප්‍රකාශනයක් යැයි ඔවුන් කියන, 2023 ඔක්තෝම්බර් 7 ප්‍රහාරයේ අතුරු ඵලයක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ දරා ඇත. මැද පෙරදිග යටත් විජිත පාලනයේ සියවස් ගනනක සමස්ත ඉතිහාසය, පලස්තීනය තුල ජනවාර්ගික වාර්ගික ශෝධනයේ උරුමය, ඊශ්‍රායලය 1967 සිට පලස්තීන භූමිය නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ඇති බව සහ 1991 සිට කලාපය පුරා එක්සත් ජනපද යුද්ධ සරලව නොතකා හරිනු ලැබ ඇත.

කෙසේ වෙතත්, බදාදා [ඔක්තෝබර් 10] සාකච්ඡාව මෙම සරල හා ඓතිහාසික නොවන ප්‍රවේශයට පරිපූර්නවම ප්‍රතිවිරෝධී ලෙස, ගාසා ජන සංහාරය, මනුෂ්‍ය වර්ගයා මුහුන දෙන සෑම මහා සමාජ හා දේශපාලන ගැටලුවක් සමඟම සම්බන්ධ වූ ධනේශ්වර සමාජ පර්යායේ ගැඹුරුවන අර්බුදයේ ප්‍රතිඵලයක් බව පැහැදිලි කලේය.

එසේ කිරීමෙන්, මෙම සාකච්ඡාව මාක්ස්වාදී දේශපාලන විධික්‍රමයේ සහ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉතිහාසයෙහි ශක්තිය සහ දැවෙන අදාලත්වය පෙන්නුම් කලේය.

කිෂෝර් ඔහුගේ ආරම්භක සැදහුම්වල දී, ගාසා ජන සංහාරය ධනේශ්වර සමාජය විසින් පුලුල් පරිමානව ‘ම්ලේච්ඡත්වය සාමාන්‍යකරනය කිරීමේ’ කොටසක් ලෙස විස්තර කලේය. නිල මරන සංඛ්‍යාව 41,000 ක් වන අතර, සුන්බුන්වලට වැලලී ගිය හෝ කුසගින්නෙන් හා රෝගවලින් මිය ගිය අය සලකා බලන විට සැබෑ සංඛ්‍යාව 200,000 ට ආසන්න විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය. විශ්ව විද්‍යාල සහ පාසල් මුලිනුපුටා දැමීම සඳහා “විද්‍යාලනාශනය’ [scholasticide] යන යෙදුම භාවිතා කරමින් ගාසා තීරයේ අධ්‍යාපනික සහ සෞඛ්‍ය සේවා පද්ධති හිතාමතාම විනාශ කිරීම ඔහු විස්තර කලේය.

“මෙය වනාහි, ඓතිහාසිකව ආවෘත අන්තයකට ලඟා වී ඇති සමාජයක ප්‍රකාශනයකි: ධනවාදය. සිදුවන්නේ කුමක්ද යන්න, හුදෙක් අපරාධකරුවන් වන පුද්ගලයන්ගේ ප්‍රකාශනයක් ලෙස කෙනෙකුට තේරුම් ගත නොහැක. වගකිවයුත්තන් සියල්ලන්ටම උරුම විය යුත්තේ සිරගෙවල් වූවද, ඔවුන් මගින් ප්‍රකාශයට පත් කෙරෙන්නේ ඓතිහාසික ආවෘත අන්තයකට ලඟා වී ඇති පෙරලා දැමිය යුතු සමාජ පන්තියක් සහ සමාජ ක්‍රමයකි. ගාසා තීරයේ ජන සංහාරයේ වසරක අත්දැකීමෙන් පැන නගින කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ එයයි.”

රැස්වීම ආරම්භයේදී අදහස් දක්වමින්, ‘මෙම සිදුවීම් සියල්ල ඉතිහාසය තුල මුල් බැස ඇතැ’ යි නෝර්ත් පැහැදිලි කලේය.

h

1991 දී සෝවියට් සංගමය බිදවිසුරුවීමෙන් අනතුරුව, ප්‍රධාන අධිරාජ්‍යවාදී බලය වන, එක්සත් ජනපදය, දැක ගත්තේ, [රුසියාවේ 1917] ඔක්තෝබර් විප්ලවය සිදු නොවුනි නම් තමන්ට හිමිවීමට තිබුනු සියලු දේ යලි ලබා ගැනීමට කාලය එලඹී ඇති බවයි. විජිතවාදය යලි ස්ථාපිත කිරීම, ලොව පුරා අධිරාජ්‍යවාදී පද්ධතියේ නිර්බාධිත ආධිපත්‍යය ප්‍රතිස්ථාපනය කිරීම.

“අප දැන් මුහුන දී සිටින්නේ ධනේශ්වර ක්‍රමයේ අශක්‍යතාව තුල අත්‍යවශ්‍යයෙන්ම මුල්බැස ඇති ඓතිහාසික අර්බුදයකට වන අතර, මෙම අශක්‍යතාවයටමත් ගැඹුරු මූලයන් පවතී” යයි නෝර්ත් තවදුරටත් පැවසීය

ඔහු තවදුරටත් කියා සිටියේ, “ ‘රැඩිකල් වීමට නම්, මූලයන් වෙත යා යුතු’ යැයි මාක්ස් වරෙක පැවසුවා. මෙම අර්බුදයේ මූලය කුමක්ද? වත්මන් සැහැසිකම් තේරුම් ගැනීමටත්, ඒවා සමග පොරබදනුවස් ඵලදායී ක්‍රියාමාර්ගයක් වර්ධනය කර ගැනීමටත් යන දෙකටම ඉඩ සලසන ආකාරයෙන් එම සැහැසිකම් පිහිටුවා ගන්නේ කෙසේද?

ගාසා ජන සංහාරයට එරෙහිව ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනයා විරෝධය පල කර ඇති නමුත්, ‘මෙතෙක් එම විරෝධතා බොහෝ දුරට සදාචාරාත්මක කෝපය ප්‍රකාශ කිරීමේ මට්ටමේ රැඳී ඇති අතර මූල හේතුව ආමන්ත්‍රනය කිරීම සඳහා පැහැදිලිව නිර්වචනය කරන ලද දේශපාලන වැඩපිලිවෙලක් එම විරෝධතා මගින් ප්‍රකාශයට පත් වී නොමැත. මම අදහස් කලේ, මෙයට [සැහැසිකම් වලට] ගාමකය ලබා දෙන්නේ කුමක් විසින්ද යන්න තේරුම් ගැනීම” යැයි නෝර්ත් සඳහන් කලේය.

මාක්ස්වාදීන් විසින් හඳුනාගෙන ඇති ධනේශ්වර ක්‍රමයේ මූලික ප්‍රතිවිරෝධතා නෝර්ත් සමාලෝචනය කලේය, මේවා නම්

ගෝලීය ආර්ථිකය හා [ධනේශ්වර] ජාතික රාජ්‍ය පද්ධතිය අතර ප්‍රතිවිරෝධතාද, නිෂ්පාදනයේ සමාජ ස්වභාවය හා නිෂ්පාදන මාධ්‍යයන් මත පෞද්ගලික අයිතිය ආධිපත්‍යය දැරීම අතරත් පවතින ප්‍රතිවිරෝධතාද යනුවෙනි.

“මෙම ප්‍රතිවිරෝධතා විසඳිය හැක්කේ කෙසේද? ඉතිහාසය අපට පෙන්වා දෙන්නේ ක්‍රම දෙකෙන් එකක් ඇති බවයි. එක්කෝ ඒවා අප දකින පරිදි, ගෝලීයව සහ දේශීයව, යුද්ධය හරහා, ඒකාධිපති හෝ ෆැසිස්ට් පාලන පද්ධතීන් මගින් විසඳනු ලබනවා. නැතහොත් ජාත්‍යන්තර කම්කරු පන්තියේ නැගිටීමක් හරහා සමාජ විප්ලවයක් තුලින් දේශ සීමා ඉරා දමා මානව වර්ගයාගේ ගෝලීය සමූහාන්ඩු සංගමයක් පිහිටුවීම මගින් මෙය විසඳනු ලබනවා.”

“අපේ කාලයේ මහා අභියෝගය එය යි. කවරක් ජයගනු ඇත්ද? විනාශය කරා යන ප්‍රවනතා ජයගනු ඇත්ද, නැතහොත් සමාජ පුනර්ජීවනය සඳහා වන ප්‍රවනතා ජයගනු ඇත්ද? එනම්, පාලක පන්තීන් යුද්ධය හා මහජන මර්දනය තුලින් තම අරමුනු සාක්ෂාත් කර ගනීද, නැතහොත් ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීම තුලින් කම්කරු පන්තිය මුහුන දෙන ඓතිහාසික ගැටලු විසඳා ගනීවිද?

“අපේ කාලයේ ගැටලුවලට මැද මාවතේ ප්‍රතිසංස්කරනවාදී පිලිතුරක් නැතැ” යි පවසමින් නෝර්ත් තම කතාව අවසන් කලේය.

විදේශයන්හි යුද්ධය උත්සන්න කිරීම සහ රට තුල කම්කරු පන්තියට එරෙහි යුද්ධය අතර සම්බන්ධයත්, ඒවා එකම ධනේශ්වර අර්බුදයේ පැති දෙකක් බවත් යන්න රැස්වීම පුරා වර්ධනය කෙරුනු කේන්ද්‍රීය තේමාවක් විය.

ඩෙට්‍රොයිට්හි මෝටර් රථ කම්කරුවන් අතර ජන සංහාරයට ඇති විරෝධය ජෙරී වයිට් පෙන්වා දුන්නේය. “කම්කරුවන් අතර ගැඹුරු පිලිකුලක් තිබෙනවා. … මම දන්නවා, වොරන් ට්‍රක් [ඩෙට්‍රොයිට් නගරයට පිටත ඇති ස්ටෙලැන්ටිස් එකලස් කිරීමේ කම්හල] කම්කරුවෙකු දිවා ආහාර ගන්නා කාමරයේදී තම සෙසු කම්කරුවන්ගෙන් මෙසේ ඇසූ බව: ‘ඔබෙන් බදු වශයෙන් ගන්නා ඩොලර් යන්නේ කොහාටද? මෙම ඩොලර් යන්නේ පලස්තීනුවන් ඝාතනය කිරීමට මිසයිල මිලදී ගැනීමටයි’” .

පාලක ප්‍රභූවේ යුද ප්‍රතිපත්තියට කම්කරු පන්තිය යටත් කිරීමේ ලා වෘත්තීය සමිති යාන්ත්‍රනයේ භූමිකාව වයිට් පෙන්වා දුන්නේය. “උද්ධමනයට, කම්හල් වැසීමට සහ දොට්ට දැමීම්වලට එරෙහි තම දෛනික අරගලයද, යහපත් ජීවන තත්ත්වයක් ආරක්ෂා කිරීම සඳහා සහ බෝයිං වැනි සමාගම්වල විශ්‍රාම වැටුප් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන සටනද, ධනවාදයට හා යුද්ධයට එරෙහි සටන සමග සමීපව සම්බන්ධ වන බව කම්කරුවන් විසින් තේරුම් ගත යුතු” යැයි වයිට් පැහැදිලි කලේය. “මක්නිසාද යත්, කම්කරුවන්ට එරෙහිව යුද්ධයක් දියත් කරන්නේද එම සංගතයන් විසින්ම” යැයි ඔහු තවදුරටත් පැවසීය.

අධිරාජ්‍යවාදයට එරෙහිව බලමුලු ගැන්විය යුත්තේ කම්කරු පන්තිය මිස එක් හෝ තවත් ධනේශ්වර රාජ්‍යයක් නොවන බව කථිකයෝ අවධාරනය කලහ.

“ලෙබනනය, සිරියාව, ජෝර්දානය, තුර්කිය, ඉරාකය සහ ඉරානයට දියුනු ආයුධ සපයමින් පලස්තීනුවන් වෙනුවෙන් චීනය සහ රුසියාව සහයෝගය දක්වමින් මැදිහත් වේද?” යනුවෙන් අසන්නෙකු නැගූ ප්‍රශ්නයකට නෝර්ත් පිලිතුරු දුන්නේය.

“අපට ලෝක යුද්ධය උදෙසා වැඩපිලිවෙලක් නැත. අප එක්සත් ජනපදයට එරෙහිව රුසියාවේ හෝ එක්සත් ජනපදයට එරෙහිව චීනයේ ආධාරකරුවන් නොවන අතර ඒවාට අනුග්‍රහය දක්වන්නේත ද නැත. මෙයට පිලිතුර පවතින්නේ පවතින පාලන තන්ත්‍ර මත පදනම් වූ ජාතික ආරක්ෂාවේ වැඩපිලිවෙලක් තුල නොව කම්කරු පන්තියේ ජාත්‍යන්තර බලමුලු ගැන්වීමේ පදනම මත” යැයි ඔහු පිලිතුරු දුන්නේය.

කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාවේ තේමාව වර්ධනය කරමින් කිෂෝර් ප්‍රකාශ කලේ තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, “අධිරාජ්‍යවාදයට විරුද්ධ වීමේ හැකියාව ඇති සමාජ බලවේගයක් තිබේද?” යන්න බවයි.

ඔව්, ජාත්‍යන්තර කම්කරු පන්තිය සිටිනවා යැයි ඔහු පිලිතුර දුන්නේ ය.

එයට වෛෂයිකව එම බලය පවතිනවා, නමුත් එම බලය සාක්ෂාත් කරගත හැක්කේ “කම්කරු පන්තිය” එක්සත් කිරීමේ සටන මගින්ද, සංවිධානය කිරීම මගින්ද, “සහ සියල්ලටම වඩා දේශපාලන ඉදිරිදර්ශනය සහ අවබෝධය තුලින්ද පමනි. එය වර්ධනය කල යුත්තේ කම්කරු පන්තිය තුල ය.”

රැස්වීම අවසානයේ නෝර්ත් මෙසේ පැවසීය.

“එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් මතු වන මූලික ප්‍රශ්නය නම්, ඔබට යම් ආකාරයක සරල මාර්ගයක් ඉදිරිපත් කල නොහැකිද? යන්නයි. මීට වඩා සරල විසඳුමක් නැද්ද? හොඳයි, ඊට ප්‍රතිචාර වශයෙන් අප මතු කරන ප්‍රශ්නය මෙයයි. ධනේශ්වර සමාජයේ ඉහල සිට පුලුල් ජනතාව වෙත ධනය විශාල ලෙස මාරු කිරීමකින් තොරව අප මුහුන දෙන ඕනෑම ගැටලුවකට බරපතල විසඳුමක් ගැන ඔබට සිතිය හැකිද?”

“ධනවතුන්, සුපිරි ධනවතුන්, කුඩුකේඩු ධනවතුන් තම ධනය සමුච්චය කිරීම සම්බන්ධයෙන් යම් සීමාවක් භාර ගැනීමට තත්වයන් [වාතාවරනයන්] කිහිපයක් ගැන ඔබට සිතාගත හැකිද? පන්ති එවැනි තීරන ගන්නේ නැහැ. ඒ කෙසේ වෙතත්, එය ඔවුන්ගේ පෞද්ගලික අභිලාෂයන් පිලිබඳ ප්‍රශ්නයක් පවා නොවේ. එය ආර්ථික ක්‍රමයක ක්‍රියාකාරීත්වය පිලිබඳ ප්‍රශ්නයකි. ධනවාදය තම ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා වෙහෙසෙනවා.”

නෝර්ත් මෙසේ තම අදහස් දැක්වීම අවසන් කලේය:

“මානව වර්ගයාගේ ඉතිහාසයේ වඩාත්ම නාටකාකාර වෙනසක් ඇති කල හැකි ඉතිහාසයේ මොහොතක අපි සිටින්නෙමු. සෑම ශ්‍රේෂ්ඨ කාල පරිච්ඡේදයකදීම මෙන්, දෙකින් එකක් තෝරා ගත යුතුය. එක්කෝ මනුෂ්‍ය වර්ගයා ඉදිරියට ගමන් කරනවා, නැතිනම් විනාශයට මුහුන දෙනවා. සමාජ විප්ලවය කල නොහැකි නම්, එයින් අදහස් වන්නේ මානව වර්ගයාගේ පැවැත්ම නොහැකි වන බවයි.”

“කිසිවෙකුගෙන් වැඩි යමක් අවශ්‍ය නොවන අර්ධ-පියවර, ව්‍යාජ විසඳුම් සහ පහසු මාවත් සොයා යාම පසෙකට දමන්න” යැයි ඔහු ශ්‍රාවකයෙන් ඉල්ලා සිටියේ ය.

ගාසා ජන සංහාරය සමස්ත පරම්පරාවකටම නිශ්චිත සමාජ අත්දැකීමක් ලබා දී ඇත. ලෝක ධනේශ්වර “ප්‍රජාතන්ත්‍රවාදී” රාජ්‍යයන් විසින් සිරගත කරන ලද සහ පීඩාවට පත් කරන ලද ජනතාවක් සමූලඝාතනය කිරීම කම්කරුවන් හා තරුනයන් තථ්‍ය කාලීන ව දැක ඇත. ඔවූන් දුටු බිහිසුනු දසුන් මගින්, 20 වැනි සියවසේ සිදු කෙරුනු හොලෝකෝස්ටය (සමූලඝාතනය) සිදු නොකෙරෙනු ඇතැයි යනුවෙන් පැවැති විශ්වාසය ඇතුලුව, පෙර පරම්පරාවල පැවති මිත්‍යාවන් බිඳ වැටීමට පටන් ගෙන ඇත.

ගාසා තීරයේ ජන සංහාරයෙන් වසරකට පසු, මනුෂ්‍ය වර්ගයා පසුකරමින් සිටින අර්බුදය පිලිබඳ බැරෑරුම් හා ඓතිහාසිකව පදනම් වූ විශ්ලේෂනයක් සහ ඊට ප්‍රතිචාර දැක්වීමක් සඳහා පිපාසයක් වැඩෙමින් පවතී. මෙම බිහිසුනු ඛේදවාචකයන්ට සහ බිහිසුනු අපරාධයන්ට එරෙහිව, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් මූර්තිමත් කරන ලද මාක්ස්වාදී සම්ප්‍රදාය සඳහා නව ශ්‍රාවකයක් පැමිනෙනු ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *