යුධ සංචාරක ස්ථානයක් බවට පත් වීම නිසා ලංකාව අනතුරකද ?
ප්‍රියන්ත සිල්වා විසිනි.
ශ්‍රී ලංකාවේ ආරුගම්බේ සංචාරක කලාපය දැඩි ආරක්ෂක ප්‍රදේශයක් ලෙස මෙරට ආරක්ෂක අංශ විසින් නම් කර ඇත.මේ හැරුණු විට දකුණු ප්‍රදේශයේ වැලිගම,හික්කඩුව,අහංගම වැනි ස්ථානවලද කොළඹ නගරයේ ස්ථාන කීපයකද ආරක්ෂාව දැඩි කර තිබෙන බව වාර්තා වේ.ඊට හේතු වන්නේ ඊශ්‍රායෙල් හා අමෙරිකානු සංචාරකයින් ඉලක්ක කරගත් ප්‍රහාරයක් එල්ලවනු ඇතැයි අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ලැබුණු බුද්ධි තොරතුරකි.
මේ අතර අමෙරිකානු තානාපති කාර්යාලය,නැවත දැනුම් දෙන තුරු අරුගම්බේ කලාපය තම රටේ සංචාරකයින්ට තහනම් කලාපයක් ලෙස දැනුවත් කර ඇත.පසුගිය 23 වෙනි දින රැස් වූ මෙරට ආරක්ෂක කවුන්සිලය අදාල ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීම පිළිබඳ සාකච්ඡා කර ඇති බවද මාධ්‍යයේ සඳහන් වේ.ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙරට පුද්ගලයින් තිදෙනෙකු ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇත.මේ අය ඊශ්‍රායෙල් ජාතිකයින් එල්ල කර යම් ප්‍රහාරයක් සිදු කිරීමට සැලසුම් කර තිබීම සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගෙන ඇති බවද ප්‍රකාශ වේ.
ආරක්ෂක කටයුතු තර කිරීම සම්බන්ධයෙන් සෝදිසි කිරීම්,මාර්ග බාධක යෙදීම්වලට අමතරව විශේෂ පරීක්ෂණ දියත් වෙමින් තිබෙන බව පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටී.ආරුගම්බේ සිට පොතුවිල් දක්වාම මාර්ග බාධක යොදා ඇති අතර තෝරාගත් වෙනත් ස්ථානවලද ආරක්ෂක විධිවිධාන තර කර ඇත.ඕනෑම සංචාරකයෙකුට යම් තර්ජනාත්මක ඇගවීමක් ඇති වීමේදී වහාම ආරක්ෂක අංශ ඇමතිය හැකි දුරකථන අංකද හඳුන්වා දී තිබේ.
පලස්තීන යුද්ධයට සම්බන්ධ වී සිටින ඊශ්‍රායෙල් භටයින් සිය විවේකය ගතකිරීම සඳහා ලංකාවේ,විශේෂයෙන් අරුගම්බේ වැනි ස්ථාන තෝරාගෙන තිබීම ප්‍රහාරයක් එල්ලවීමේ අනතුරට තුඩු දී ඇති බවට ජන සමාජයේ හා දේශපාලන ක්ෂේත්‍රයේ සාකච්ඡාවට ලක් වේ.එමෙන්ම පසුගිය දිනවල ඊශ්‍රායලය වෙත නවීන අවි ,භට පිරිස් හා යුධ තාක්ෂණික සහය අමෙරිකාව විසින් ලබාදීම එරට සංචාරකයින් වෙත අවදානමක් එල්ල වීමට හේතුවී තිබෙන බවට අදහස් පල වෙමින් පවතී.
මේ අතර ගාසා තීරයේ ඊශ්‍රායෙල් ප්‍රහාරවලින් විපතට පත් ජනතාවට මානුෂීය ආධාර ලබා නොදීම සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායෙල් අගමැතිවරයාට දෝෂාරෝපණය කර ඇතැයි මාධ්‍ය කියයි.ඊශ්‍රායෙල් ප්‍රහාර හමාස් සටන්කාමීන් එල්ල කරමින් පමණක් නොව සාමාන්‍ය සිවිල් වැසියන් වෙතද යොමුවීම බරපතල තත්ත්වයක් නිර්මාණය කර ඇත.මෙම ප්‍රහාරවලින් විපතට පත් බහුතරය කාන්තාවන් හා ළමුන් බව මාධ්‍ය කියයි.මේ සම්බන්ධයෙන් බලවත් අප්‍රසාදය ලෝක ජනතාවගෙන් මතු වෙමින් තිබියදී විශේෂ පුහුණුවක් සහිත හමුදා භටයින් සහ නව තාක්ෂණික යුධ මෙවලම් අමෙරිකාව විසින් ඊශ්‍රායලය වෙත සපයයි.
මෙවැනි පසුබිමක එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා දකුණු ලෙබනනයෙන් ඉවත් කර ගන්නා ලෙස ඊශ්‍රායෙල් රජය කියා සිටී.හිස්බුල්ලා සටන්කාමීන් මිනිස් පලිහක් හැටියට සාමසාධක හමුදාවලට මුවා වී සිටින බවට බෙන්ජමින් නෙතන්යානු චෝදනාත්මකව ප්‍රකාශ කරයි.ඔහු කියා සිටින්නේ බීරූට් අගනුවර ඇතුලුව ලෙබනනයේ ප්‍රධාන නගරවල සැඟවී සිටින හිස්බුල්ලාවරුන්ට එරෙහිව නොකඩවා ප්‍රහාර එල්ල කරන බවයි.2007 ආරක්ෂක මණ්ඩල නියෝගයන් අනුව ක්‍රියා කිරීමට තමන් එකගවී සිටින බව මෙහිදී ලෙබනනය කියා සිටී.සාමසාධක හමුදාවලට එල්ල වන ප්‍රහාර නවතා දැමිය යුතු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළද ඊශ්‍රායෙල් ප්‍රහාර දිගින් දිගටම ක්‍රියාත්මකව පවතී.
1947 දී දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රාහී ජාතීන් විසින් පලස්තීන භූමියේ යුදෙව් ජනාවාසයක් ස්ථාපිත කර දෙන ලදි.1948 වසරේ මැයි 14 දින ඊශ්‍රායෙල් රාජ්‍ය ප්‍රකාශයට පත් කිරීමේදී බටහිර රාජ්‍යයන් එය පිළිගත් අතර එහිදී අමෙරිකාව ප්‍රමුඛ කාර්යක් ඉටු කළේය.යුදෙව් රාජ්‍ය පිහිටුවීමේ ක්‍රියාන්විතයටද දීර්ඝ ඉතිහාසයක් ඇත.එහි මූලික වැඩ සටහන් සැලසුම් කරමින් අදියරෙන් අදියර ඉදිරියට ගැනීමට යුරෝපයේ සියොන්වාදීන් කරන ලද කාර්යය භාරයට ලෝකයේ බලවත් රාජ්‍යයෝ විශාල අනුග්‍රහයක් ලබා දුන්හ.
මැද පෙරදිග කලාපය බලවත් අර්බුදකාරී තත්ත්වයකට පරිවර්තනය කර ඇති මෙම ස්භාවය එක් අතකින් ඉතිහාසයේ සරදමකි.මේ වන විට දස ලක්ෂ සංඛ්‍යාත පලස්තීන ජනතාව ස්වකීය දේශයේම අනාතයින් බවට පත්ව සිටිති.තවත් දහස් ගණනක් මරණයට පත් වී හෝ බරපතල තුවාල ලබා සිටිති.විනාශ වූ දේපල වටිනාකම මැන දැක්වීමද අපහසුය.
යුදෙව් ජනාවාසයක් ඇති කිරීමට ගත් පියවර යටතේ පලස්තීන වැසියන්ට සිය දේශයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් අද වන විට අහිමි වී ඇත.සරුසාර ඉඩම්,අගනා වගා භූමි හා සම්පත් ඔවුන්ට අහිමි වී තිබේ.පලස්තීනයේ නිශ්චිත භූමි සීමා ප්‍රදේශ,යුදෙව් ජනාවාස ඇති කරන ලද මුල් අදියරේදී ම ගැටලු සහගත තත්ත්වයකට පත් කිරීමට අධිරාජ්‍යවාදීහු ක්‍රියා කළහ.වත්මන් ඛේදයේ අඳුරු වළාකුළු එම කාල පරිච්ඡේදයේදීම ගාසා තීරය පුරා පැතිරී ගියේය.එහි අනුකම්පා විරහිත අත්දැකීම් වර්ථමානයේදී පලස්තීන ජනයා භුක්ති විඳිති.
මේ වන විට පලස්තීනය නිශ්චිත දේශ සීමා නොමැති පාලන අධිකාරියක් පමණි.අද නිර්මාණය වී ඇත්තේ පසුගිය දසක ගණනක් තිස්සේ අධිරාජ්‍යවාදීන් විසින් ක්‍රියාත්මක කරන ලද අයුක්තියේ ප්‍රතිඵලයන්ය.පසුගිය දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වත්මනෙහි ඇති වී තිබෙන තත්ත්වය සමනය කිරීම සඳහා ගෙන එන ලද යෝජනාවට ලෝකයේ රටවල් ගණනාවක සහය ලැබුණි.මෙය කොතරම් ශක්තිමත්ද ? එය මෙම ගැටලුකර ස්වභාවයට නිශ්චිත විසඳුම් ලබා දීමට ප්‍රමාණවත්ද? යන්න විමසිය යුත්තකි.
මෙවැනි අර්බුදකාරී පසුබිමක් යටතේ පලස්තීන අර්බුදය විසදීමට සහයෝගය දක්වන එක්සත් ජාතීන්ගේ යෝජනාවට ශ්‍රී ලංකාවේ සහය දැක්වීමේ ප්‍රකාශනය ප්‍රමාද වීම ගැන විවේචන මතු විය.ලෝක බලවතුන්ගේ ග්‍රහණයට හසු නොවී පලස්තීන ජනතාව වෙනුවෙන් ඊට සහය දැක්විය යුතුය යන්න මෙරට ජනතාවගේ බලවත් විශ්වාසය වේ.එමෙන්ම ශ්‍රී ලංකාව යුධවාදීන්ට සංචාරක විවේකස්ථානයක් නොවිය යුතුය යන සංවාදයද මේ අතර මතුව තිබේ.
‘අරුගම්බේ හා දකුණු ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශ යුධ සංචාරක ස්ථාන බවට පත්ව තිබීම’ යන මාතෘකාව අපරීක්ෂාකාරීව බැහැර කළ නොහැක.සාකච්ඡාවට ලක්වෙන අන්දමට රටේ පවත්නා වීසා නීති රීතිවලින් පරිබාහිර වූ ක්‍රියාන්විතයක්ද මෙහි පවතින බවට විවේචන මතුවේ.දිවයිනේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා මෙරට සිටින සංචාරකයින්ගේ ආරක්ෂාව සැළසීම පිළිබඳ විවේචනයක් නොමැත.නමුත් මෙහි ඇති අවදානම වන්නේ පවත්නා තත්ත්වය යුධ සංචාරක ව්‍යාපාරයක් බවට පත් වීමයි.දේශපාලන නිරීක්ෂකයින් දක්වන අන්දමට තර්ජනාත්මක හා අවදානම් සහගත ස්වභාවයක් ඉස්මතු වීමට හේතු වන්නේ මෙම කාරණයයි.මෙවැනි ස්වභාවයක් නිර්මාණය වීම ලංකාවේ සංචාරක ව්‍යාපාරයටද බරපතල අනතුරුදායක තත්ත්වයකි.මේ පිළිබඳ දැඩි අවධානය යොමු කරමින් සුදුසු පියවර ගැනීම රජයේ වගකීම වී ඇත.