නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 6-1

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 6-1

ජේම්ස් පී. කැනන්

පරිවර්තනය: පරාක්‍රම කුරුප්පු

හතරවැනි ජාත්‍යන්තරයට එහි මුල් කාලයේ ම මුහුණ දීමට සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර අරගලයක් පිළිබඳව ද, එහි ලා අභියෝගයට ලක් ව තුබූ දේශපාලන ප්‍රයුක්තීන් සම්බන්ධව ද පුළුල් සාකච්ඡාවක් පාඨකයා වෙත ගෙන එන මේ ලිපි මාලාවේ දෙවැනි භාගය අදින් ඇරඹේ.

මෙම දෙවැනි භාගයේ මුල් පරිච්ඡේදය – එනම් පොතේ 6 වැනි පරිච්ඡේදය – දීර්ඝ එකක් බැවින් එහි පරිවර්තනය කොටස් දෙකකින් පළ කරමු. එහි පළමු කොටස අද පළ කෙරේ.

මෙය, Marxists Internet Archive අන්තර්ජාල ප්‍රකාශනයේ පල වී ඇති ඉංග්‍රීසි කෘතියේ පරිවර්තනයක් වන අතර, එහි ප්‍රථම භාගයේ පස්වැනි කොටස ලෙස එන “බුද්ධිමතුන් හා කම්කරුවන්” යන පරිච්ඡේදය මෙහි අද දින පළ කෙරේ. මෙය ප්‍රවේශමෙන් හැදෑරීම මාක්ස්වාදය වෙත ආකර්ෂණය වන්නන්ට මෙන් ම, වර්තමාන ලෝක අර්බුදය විසඳීමට සමත් කම්කරු පන්තියේ විප්ලවවාදී සංවිධානය ගොඩ නැඟීම පිලිබඳ උනන්දු වන සියලු දෙනාට ද අතිශයින් ප්‍රයෝජනවත් වනු ඇත.

6. බර්න්හැම් පිළිබඳ කාරණය – 1

තථ්‍ය වේවා සිතින් මවා ගන්නා ලද හෝ වේවා පෞද්ගලික තැකීම් හා විශේෂයෙන් ම පෞද්ගලික නෝක්කාඩු පක්ෂය හා පන්තිය සම්බන්ධ ගැටළුවලට වඩා වැඩි බරක් ලෙස හඟින, සියලු පුනරුත්ථාපනය නො වූ සුළු ධනපතීන් ආකාරයෙන් ම, අපේ විපක්ෂවාදීහු ද, අප බර්න්හැම්ට “හිංසා පමුණුවමින්” සිටි බවට චෝදනා නඟමින් එම චෝදනා පතුරුවා ලීමෙහි අනලස් ව යෙදී සිටිති. විශේෂයෙන් ම පක්ෂයේ සියලු අනිෂ්ටකාරීත්වයන්හි “ප්‍රතිමූර්තිය” වන කැනන්ට නායකත්වය තුල බුහුටි මිනිසුන් සිටීම දරා සිටිය නො හැකි බවත්, ඔහුට “බර්න්හැම් පක්ෂයෙන් එළවා දැමීමට” අවශ්‍ය වූ බවත් කියනු ලැබේ. මෙම විලාපය පක්ෂයේ මානවවාදීන්ගේ යම් සහානුභූතියක් දිනා ගත් බව හා එමඟින් විපක්ෂයට යම් ඡන්ද ප්‍රමාණයක් එක් කර දුන් බව නිසැක ය. අන්‍යයෝ – අගැයීමට ලක් නො වූ නායකත්ව අපේක්ෂිතයෝ – තමාගේ ම දුක්ඛ දෝමනස්සයන්ගෙන් නිමැවුණු ඛේදාන්තයේ සංකේතයක් “හිංසනයට පත්” බර්න්හැම් තුලින් දුටහ. ගර්හාවට පාත්‍ර වූ හා පෑරුණු තුවාල සහිත සියල්ලෝ සහජාසයානුගත සහයෝගීතාවයකින් ඔහුගේ ආරක්ෂාවට ඒකරාශී වූහ.

කොයිහැටිවෙතත්, මේ කණස්සල්ල මුළුමනින් හිතින් මවා ගත්තකි. බර්න්හැම්ට කිසි දිනෙක පක්ෂයේ නිර්ධන පාන්තික පාර්ශ්වයේ කවර හෝ පෞද්ගලික එදිරිවාදුකමකට මුහුණ දීමට සිදු වී නැත. සත්‍යය එහි ප්‍රතිවිරුද්ධයයි. වාර්තාවලින් ප්‍රමාණවත් ව පෙන්වා දෙනු ලැබෙන පරිදි  සෑමවිටෙක ම ඔහු සමඟ ගනුදෙනු කෙරුනේ ඉතා මෘදු ආකාරයකිනි. අන්‍යයන්ට අහිමි වූ ස්වාධීනත්වයක් ඔහුට ලබා දෙන ලදී. ඔහුගේ ගුණාංග හා හැකියාවන් සඳහා ඉහළ ම මට්ටමේ අගය කිරීමක් ලැබුණු අතර, අපේ දිශාවට – එනම් බෝල්ෂෙවික්වාදයේ හා පක්ෂය තුළට මුළුමනින් සමෝධානය වීමේ දිශාවට – ඔහු තැබූ සෑම පියවරක් ම සාදරයෙන් හා දිරි ගැන්වීමෙන් යුතුව පිළිගන්නා ලදී. “බර්න්හැම් එළවා දමනු” වෙනුවට, ඊට බෙහෙවින් පටහැනි ලෙස, ඔහු වඩාත් පරිපූර්ණ ආකාරයෙන් පක්ෂ ජීවිතය තුලට ඇද ගැනීමට සුවිශේෂී ප්‍රයත්නයන් දැරිණ. ඒ අතරතුර ම, වඩාත් අත්දැකීම් සහිත හා දැනුම් තේරුම් සහිත සහෝදරවරු ඔහු අස්ථිර ස්ථානයක සිටින බවත්, ඉක්මණින් හෝ කල් පසු වී හෝ ඔහුට මුළු දුර ගෙවා අප සමඟ එක්වීමට හෝ ධනේශ්වර ලෝකය කරා පෙරලා යාමට හිත හදා ගැනීමට සිදුවනු ඇති බවත් දැන සිටියෝය. අවසානයේ පැමිණි නො වැලැක්විය හැකි තීරණය ඔහුගේ ම නිර්මාණයකි. 

මෑත දිනෙක මගේ පෞද්ගලික ලිපිගොනු අවුස්සා බලන විට මට, කැලිෆෝර්නියාවේ දී, 1936 නොවැම්බර් 21 දින ඩන් සහෝදරයා මා වෙත එවන ලද ලිපියක් හමු විය. මෙම ලිපිය බර්න්හැම් කෙරේ අප දැක්වූ හොඳහිත පිළිබඳ ඒත්තු ගන්වන සුළු සාක්ෂ්‍යයකි. වින්සන්ට් මෙසේ ලියා ඇත: “The Organizer (පුවත්පත) පිළිබඳ හා මැතිවරණ උද්ඝෝෂණය පිළිබඳ ඉතා හොඳ විවේචනයක් සහිත තරමක දීර්ඝ ලිපියක් බර්න්හැම් සහෝදරයා මා වෙත එවා ඇත. ජිම් ඉතා හොඳ කාර්ය කොටසක් ඉටු කරතැ’යි මම සිතමි. ඔහු ඒ සා සමීපත්වයකින් සොයා බලන බවත්, ඉතා යුහුසුළු ආකාරයකින් තමන් වර්ධනය වෙමින් සිටින බව පෙන්නුම් කෙරෙන දෘෂ්ටි කෝණයකින් කථා කිරීමට සමත් බවත් විශේෂයෙන් ම සතුටට කරුණු වේ. ඔහුගේ සටහන්වල පිටපතක් මම ඔබට එවන්නෙමි. ඉන් බොහොමයක් සෑහෙන දුරට වලංගුයැයි මම විශ්වාස කරමි. මගේ අපේක්ෂකත්වයේ බලපෑම් හා මැතිවරණය තුල සංගමයේ කර්තව්‍යයන් පිළිබඳ ඔහුගේ තක්සේරු ඉතා හොඳින් සිතාමතා බැස ගත් ඒවා නො වන බව මගේ විශ්වාසයයි. එහෙත් මහජන ව්‍යාපාරය තුල අත්දැකීම් විරල හෝ කිසිසේත් ම අත්දැකීමක් නොමැති ඔහුගෙන් යමෙකුට එවැන්නක් බලාපොරොත්තු වීම අසීරු ය.”

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 6-1
වින්සන්ට් රේමන්ඩ් ඩන් ඡායාරූපය: Wikipedia

බර්න්හැම් කෙරේ නිර්ධන පන්ති කොටස් දැක්වූ මිත්‍රශීලී ආකල්පය හා ඔහුගේ අනාගත වර්ධනය පිළිබඳ ව පැවැති අපේක්ෂා මෙම ලිපියෙන් සිත් කාවදින සුළු ආකාරයෙන් විදහා දැක්වේ. ඒ අතර ම එය බෙහෙවින් නිපුන ලෙස ඔහුගේ දුබල තැන – “මහජන ව්‍යාපාරය තුල අත්දැකීම් නොමැති”වීම – කෙරේ ඇඟිල්ල යොමු කරයි. අවාසනාවට මෙන් බර්න්හැම් මෙයට පිළියම් යෙදීමට කිසිදු ප්‍රයත්නයක් නො දැරූ අතර, අපේ ව්‍යාපාරය තුලට ස්වීකරණය වීමට ඔහු අසමත්වීම කෙරේ එය නිසැකව ම ඉතා දැඩි ලෙස දායක විය. බුද්ධිමතාගෙන් ඉගෙනීමට ඩන් කැමැත්තෙන් සිටි බව මෙම ලිපිය පෙන්වා දෙයි. කම්කරු නායකයාගෙන් යම් කිසිවක් ඉගෙන ගත හැකියැයි අදහසක් බර්න්හැම්ට කිසිදා පහළ නො වීම කණගාටුවට කරුණකි. ඉදින් ඔහු එය දැන සිටියේ නම්, ඔහුට උගෙන ගත හැකි ව තිබූ දේ රාශියකි.

බර්න්හැම්ගේ තත්ත්වය පිළිබඳව ඩන් සහෝදරයාට එකතු කළ හැකිව තිබූ තවත් සහ ඒ සා බැරෑරුම්කමකින් ම යුත් තවත් දුබලතාවයක් විය: එනම්, ඔහුට පක්ෂය තුල අත්දැකීම් නො තිබීමයි. දේශපාලන කමිටුවේ රැස්වීම් සඳහා සතියකට වරක් පැමිණීමෙන් යමෙකුට පක්ෂයක් පිළිබඳව හා එහි අභ්‍යන්තර ජීවිතය පිළිබඳව දැනගෙන සිටිය යුතු සියල්ල උගත හැකි නො වේ; තව ද, යමෙකුට සිය වැඩිමනත් කාලය තුල පක්ෂයේ බැරෑරුම් නායකයෙකු වීමට නො හැකිය. යුද්ධයට පෙර කාලයේ සමාජ-ප්‍රජාතන්ත්‍රවාදය යනු, යුද්ධ හා විප්ලවවල බාධාවකින් තොරව සම්පූර්ණයෙන් සාමාන්‍ය පරිනාමීය ක්‍රියාවලියක් හරහා ගොළුබෙලි වේගයෙන් සමාජවාදය කරා ඉදිරියට යාමට අසීමිත කාලයක් තමන්ට තුබූ බවට වූ න්‍යායය මත ක්‍රියාත්මක වූ,  පැතිරුණු, මන්දගාමී, ප්‍රතිසංස්කරණවාදී සංවිධානයක් විය. ප්‍රධාන වශයෙන් නායකත්වය පක්ෂයේ ස්වභාවයට අනුරූප විය. නීතිඥයන්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, දේශකයන්, ලේඛකයන්, මහාචාර්යවරුන් – වෙනත් ලෝකයක සිය සැබෑ ජීවිතය ගත කළ හා ස්වකීය ආත්මයාගේ යහපත උදෙසා සමාජවාදී ව්‍යාපාරයට සිය කාලයෙන් සතියකට එක් සන්ධ්‍යාවක්, වැඩිම වුවහොත් සන්ධ්‍යාවන් දෙකක්, ලබා දුන් පුද්ගලයන් – පූර්ව යුද්ධ කාලයේ සමාජවාදී පක්ෂයේ කැපී පෙනෙන නායකයන් වූයේ ඔවුන් ය.

අපි 1919 දී, රුසියානු විප්ලවයෙන් ලද ආවේශය මත මේ රටේ කොමියුනිස්ට් පක්ෂය සංවිධානය කරන කාලයේ, මේ මනස්ගාත සියල්ලට ම නැවතීමේ තිත තැබුවෙමු. විප්ලවවාදී ව්‍යාපාරයේ නායකත්වය යනු බැරෑරුම් කටයුත්තක් බව, එයමත් වෘත්තියක් වන බව සහ එය වෘත්තීන් අතර වඩාත්ම ගෞරවනීය වෘත්තීය වන බවට වූ අදහස අපට තිබිණ. කිසියම් නො වැදගත් රැකියාවක් සඳහා සිය කාලය නාස්ති කිරීම විප්ලවවාදී නායකයෙකුගේ ගරුත්වයට නො තරම් බව ද, පක්ෂය එයට අවසර දීම වරදක් බව ද අපි සලකා ගතිමු. පූර්ණකාලීන පක්ෂ ක්‍රියාකාරකයෙකු වන හෝ, පක්ෂයේ කැඳවුමක දී එසේ ක්‍රියාකිරීමට සූදානම් අයෙකු විනා අන් කිසිවෙකුට පක්ෂ මධ්‍යම කාරක සභිකයෙකු විය නො හැකි බවට අපි තීන්දු කළෙමු. 1919 දී අපේ අදහස නිවැරැදි බව මම සිතමි. විප්ලවයේ ඉහළතම ප්‍රශ්නය, හැකිතාක් ඉහළ ම මට්ටමේ කාර්යක්ෂමතාවයකින් යුතුව නිර්ධන පන්තියේ පක්ෂය සංවිධානය කිරීම බවට පත් වී ඇති ඉතිහාසයේ හෝරා යන්ත්‍රයේ වර්තමාන පැයේ දී මෙම තීන්දුව වඩාත් වැඩියෙන් නිවැරැදි වේ.

නිර්ධන පන්ති පක්ෂයක් සඳහා අරගලය: 6-1
එක්සත් ජනපදයේ කොමියුනිස්ට් පක්ෂයෙහි ප්‍රථම ලාංඡනය ඡායාරූපය: Peoples World වෙබ් අඩවියෙනි

සියලු පැති සැලකිල්ලට ගත් කල, පක්ෂයේ ඒ හෝ මේ තනතුර දැරීමට පක්ෂයෙන් පිටත නායකයෙකු පත් කර ගැනීම යෝග්‍යයැයි තමන්ගේ ම හේතූන් මත පක්ෂයට ම හැඟී යන්නේ නම් මිස, මේ නීතිය සම්බන්ධ කිසිදු ව්‍යතිරේඛයකට නිදහසට කරුණක් නැත. ස්වභාවිකව ම, එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික වගකීම් පක්ෂයට සපුරා ලිය නොහැකි හා ආර්ථික හේතූන් මත ඔහුට පරිබාහිර තනතුරක් සොයා යාමට සිදුවන අවස්ථා පවතී; එසේ පැවැතී ඇත; ඉදිරියට ද පවතිනු ඇත. පක්ෂ කටයුතු සඳහා සිය මුළු කාලය ම කැප කළ යුතු පක්ෂ සහෝදරවරුන් අතිශයින් වැඩි කොටසක් සම්බන්ධයෙන් වර්තමානයේ පවතින තත්ත්වය මෙයයි. එහෙත් එවැනි තත්ත්වයන්, පක්ෂයේ මූල්‍ය සම්පත් වැඩි දියුණු වූ කල කපා හැරිය යුතු හුදු අවස්ථානුකූල ක්‍රියාමාර්ග ලෙස පමණක් සැලකිය යුතුය.

බර්න්හැම් වැනි කැපී පෙනෙන හැකියාවන් හා ප්‍රතිභා සම්පත් දරන මිනිසෙකු පක්ෂයේ නායකත්ව කාර්යභාරයක් ඉටු කිරීම හුදෙක් ස්වභාවික ය. මෙය ලෝකය පුරා පිළිගැනුණු කරුණක් විය. ඒ අතර ම, මට හැඟී යන පරිදි, පක්ෂයේ සේවය සඳහා මුළුමනින් ම තමා ලබා දීමේ හා පක්ෂ කාර්යයන් තමාගේ වෘත්තීය බවට පත් කර ගැනීමේ වගකීම, එම තතු විසින් බර්න්හැම්ගේ උර මත තබන ලදී. අප දැන හඳුනාගත් මුල් දිනවල දී මම, ඔහු මෙම එල්ලය සහිත ව ක්‍රියා කරතැයි යන උපකල්පනය මත සිටියෙමි. ඔහුට මෙම මාවතට පිවිසීමට බාධා පමුණුවනු වෙනුවට, ඊට බෙහෙවින් පටහැනි ලෙස, මම පෞද්ගලිකව ම එම මාවත ඔහුට විවෘත කිරීමට උත්සාහයන් ගණනාවක් ගතිමි. මුලින් ම 1935 ගිම්හානයේ දී මම මෙම ප්‍රශ්නය ඔහුට ඉදිරිපත් කළෙමි. ඒ කාලයේ පවා ඔහු ට්‍රොට්ස්කිවාදීන්ගේ පරිපාලනමය අකාර්යක්ෂමතාව සම්බන්ධයෙන් අතිශය විවේචනශීලී වූයේය; වෙනකක් තබා ඔහු, මෙය ට්‍රොට්ස්කිවාදීන්ට ආවේනික දුර්වලතාවයක් ය යන න්‍යායය පවා ඉදිරිපත් කළේය. එවකට ෂැට්මන් හා කැනන් විසින් “මූර්තිමත් කෙරුණු” පක්ෂ “තන්ත්‍රය” දේශපාලන අදහස් තුල ඒ සා නිමග්න ව හුන් හෙයින්, අන් සියල්ල තිබිය දී වුව එම අදහස් ජය ගනු ඇතැයි යන ඒත්තු ගැනීම මත, එකී අදහස් සාක්ෂාත් කිරීම සඳහා අවශ්‍ය සංවිධානාත්මක හා පරිපාලනමය යන්ත්‍රය කෙරේ එය විසින් ප්‍රමාණවත් අවධානයක් නො යෙදුනු බවට වූ මතය කෙරේ ඔහු නැඹුරු වී සිටියේය. (ඒ, කැනන්ට දේශපාලන අදහස් නැති බවත්, ඒවා සම්බන්ධයෙන් ඔහුට කිසිදු උනන්දුවක් නැති බවත් බර්න්හැම් සොයා ගැනීමට පෙර කාලයේ ය.) 

එම අවස්ථාවේ, මෙම නිසැක දුබලතාවයට පිළියම් යෙදීමට අපට උදව් කරන ලෙස මිත්‍රත්වයේ ඉහළ ම ජීව ගුණයෙන් යුතුව මම ඔහුට යෝජනා කළෙමි. කම්කරු ව්‍යාපාරය සමඟ සම්බන්ධවීමේ කිසිදු අධ්‍යාශයක් නොමැති විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට උපදේශන ලබා දීමේ තුට්ටු දෙකේ ගනුදෙනුව අවසන් කර සිය ශක්තීන් හා හැකියාවන් මුළුමනින් ම පක්ෂයට කැප කිරීමට මම ඔහුට සංයුක්තව යෝජනා කළෙමි. දිනක් හමාරක් ඒ ගැන “සිතා බැලීමෙන්” පසුව ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. ඔහු ලබා දුන් හේතුව තරමක මවිත කරවන සුළු එකකි: ඔහු කියා සිටියේ, සිය ජීවිත කාලය තුල ජය ගත නො හැකි වීමට ඉඩ ඇති අභිප්‍රායයක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය මුළුමනින් කැප කිරීම ප්‍රඥාවන්ත ක්‍රියාවකැයි තමන්ට සම්පූර්ණයෙන් ඒත්තු ගොස් නැති බවය ! ස්වභාවිකව ම, මට ඔහුට සහතික කිසිත් දිය හැකි නො වීය. … 

1937 ගිම්හානයේ මා කැලිෆෝර්නියාවේ සිට ආපසු පැමිණීමෙන් පසුව, සමාජවාදී පක්ෂයෙන් අප නෙරපා දැමීමෙන් ඉක්බිති අපේ පක්ෂය ගොඩ නැගීමට අප වැඩ කරමින් සිටින කාලයේ, ඔහු ජාතික ලේකම් ධුරය භාර ගැනීම පිළිබඳ ප්‍රශ්නය මම බර්න්හැම්ට මතු කළෙමි. නැවතත් මට ලැබුනේ ‘නැත’ යනුවෙන් වූ පිළිතුරකි. මීට දෙ වසරකට යන්තම් වැඩි කාලයකට ඉහත චිකාගෝවේ පැවැති අපේ සමාරම්භක සමුළුවට පූර්වයෙන් පැවැත්වූ පූර්ව-සම්මේලන සාකච්ඡාවල දී බර්න්හැම් රුසියානු ප්‍රශ්නය පිළිබඳ ඔහුගේ සංශෝධනවාදී න්‍යාය වර්ධනය කිරීම ආරම්භ කළේය. ඊට අමතරව ඔහු, අපේ වත්මන් කටයුතුවල ඒ හෝ මේ කාරණා සම්බන්ධයෙන් පැවැති නො එකඟතාවලට වඩා අතිශයින් ප්‍රගාඪ කිසියම් වෙනස්කම් ඇති බව හැඟවෙන ආකාරයට “සංවිධානයේ ප්‍රශ්නය” මතු කරන්නට පටන් ගත්තේය. සත්‍ය වශයෙන් ම නම් ඔහුගේ විවේචන පක්ෂ තන්ත්‍රයට එල්ල වූ තරමට වඩා එල්ල කෙරුණේ බෝල්ෂෙවික්වාදයේ සංවිධානාත්මක සංකල්ප හා සම්ප්‍රදායයන්ට එරෙහි ව ය.

ඔහු, ස්ටැලින්වාදය බෝල්ෂෙවික්වාදය සමඟ අනන්‍ය කරන එකී ප්‍රජාතන්ත්‍රවාදීන් හා කිසියම් ලෙස සැසඳෙන ආකාරයකින්, විප්ලවයෙන් පසු “ප්‍රජාතන්ත්‍රවාදය” පිළිබඳ ඉමහත් උත්සුකයක් ප්‍රකාශ කිරීමට පටන් ගති. මෙකී විද්‍යමානවීම් වලින් අපි මහත් සේ කැළඹීමට පත් වීමු. පෙනී ගිය ආකාරයට ඒවායින් ඉතා පැහැදිළි ලෙස පෙන්නුම් කෙරුනේ බර්න්හැම් අප කරා නොව, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන බවයි. ඒ කාලයේ ඉතා සමීපව වැඩ කරමින් සිටි ෂැට්මන් සහෝදරයා සහ මම, බර්න්හැම්ගේ අභියෝජනාවට එරෙහිව සංවිධානාත්මක අභියෝජනාවක් හවුලේ විස්තාරණය කළෙමු. බර්න්හැම් අපේ ව්‍යාපාරයේ දේශපාලන දිශානතියෙන් ඉවතට පළා යාමේ මෙම අනතුරු හඟවන සුළු ලක්ෂණ සම්බන්ධයෙන් ඔහුත් මමත් නොයෙක් විට පෞද්ගලික කථාබහ සිදු කළෙමු. පෞද්ගලික ඝර්ෂණය අවම කිරීමේ චර්යාවක් අපි හිතාමතා අනුගමනය කළෙමු. බර්න්හැම්ගේ ගර්විත හා ප්‍රකෝපකාරී ආකල්ප නිසා මෙය පහසු කටයුත්තක් නො වූ නමුදු අපි පෞද්ගලික විරුද්ධවාදීකම් අවම මට්ටමක පවත්වා ගැනීමෙහි සමත්වීමු. මේ කාලයේ බර්න්හැම් සමඟ අප සිදු කළ එක් කථාබහක දී, ඔහුගේ කණස්සල්ල යොමු වී ඇත්තේ සංවිධානයේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපේ චිරස්ථාපිත බෝල්ෂෙවික්වාදී පිළිවෙත – හෝ අඩු තරමින් ඒ  පිළිබඳ අපේ අර්ථකථනය – පිළිබඳව බව අතිශයින් පැහැදිළි වන ආකාරයෙන් ඔහු කථා කළේය. අප, අනාගත සෝවියටයක නායකයන් ලෙස, විරුද්ධත්වය මර්දනය කිරීමෙහි ලා පමණ ඉක්මවා නිර්දය වනු ඇතැයි යන අදහස ඔහු පළ කළේය.     

කෙසේ වෙතත්, මේ කරුණු සම්බන්ධයෙන් ඔහු කිසිසේත් ම තමා පිළිබඳ විශ්වාසයෙන් පසු නො වීය. පැහැදිළිව ම ඔහු සංශයවාදයේ හා අභ්‍යන්තර ගැටුමේ අසීරු කාල පරිච්ඡේදයක් හරහා ගමන් කරමින් සිටි අතර, ඉදින් මෙම සංශය හා අභ්‍යන්තර සංඝටනය, ඔහුගේ පෞද්ගලික ජීවිතය හා පක්ෂ නායකයෙකු ලෙස ඔහු ඉසුලූ තනතුර අතර වූ බලාපොරොත්තු රහිත පරස්පර විරෝධය විසින් පොළඹවනු ලැබූවක් නො වී නම්, ඉන් එය උග්‍ර කෙරුණු බවට සැකයක් නැත. කෙසේවෙතත් අපට පෙනී ගිය ආකාරයට, බෝල්ෂෙවික්වාදය හා ස්ටැලින්වාදය සම්බන්ධයෙන් ඔහුගේ සිවරින්වාදී දැක්ම කිසිසේත්ම සම්පූර්ණයෙන් හැඩ ගැසුණු එකක් නොවීය. රුසියානු ප්‍රශ්නය පිළිබඳ ඔහුගේ සංශෝධනවාදී දෘෂ්ටිය තවමත් ආරක්ෂකවාදය හෝ පරාජකවාදය සම්බන්ධයෙන් ප්‍රතිවිප්ලවවාදී නිගමන කරා මඟ පෙන්වා නො තිබිණ. ඔහු සිය පෞද්ගලික අර්බුදයෙන් සුරක්ෂිත වී බෝල්ෂෙවික්වාදය කරා සිය මාවත පාදා ගනු ඇතැයි අපි අපේක්ෂා කළෙමු. මේ සඳහා ඉඩ හසර පාදනු වස්, මා ඉහත සඳහන් කළ පරිදි ම අපි, රුසියානු ප්‍රශ්නයේ දී වේවා, සංවිධානය පිළිබඳ ප්‍රශ්නයේ දී වේවා කවර හෝ මූලධර්ම සම්බන්ධයෙන් කිසිදු සහනයක් නො දෙමින් ම, මිත්‍රශීලී පෞද්ගලික සම්බන්ධතා පවත්වා ගෙන යාමට කළ යුතු සියල්ල කළෙමු.

පෙර කොටස් බලන්න:

හැඳින්වීම – ඩේවිඩ් හෝම්ස්12345

Leave a Reply

Your email address will not be published. Required fields are marked *