කැලපෝනියා ලැව්ගිනි කියා පාන ධනවාදයේ ව්‍යවසනය
ප්‍රියන්ත සිල්වා විසිනි
පෘථීවියේ අරම්භයේ සිටම විවිධ පාරිසරික හා දේශගුණික පරිවර්තනයන් ,වෙනස්කම් ගණනාවක් ඇති විය.අද පවත්නා ජෛව ගෝලීය ස්වරූපය ඇති වූයේද එවැනි ක්‍රියාවලීන් සමූහයකිනි.නමුත් එම ක්‍රියාදාමයන් යම් නිශ්චිත පරාසයක් හා කාල රාමුවකට ක්‍රමයෙන් අනුවර්තනය විය.
මිහිතලය මත සිදුවන භෞතික ක්‍රියාවලීන් ස්වභාවිකය යන්න ගැන විවාදයක් නැත.ස්වභාවික ක්‍රියාවලිය යටතේ සිදුවන විවිධ පාරිසරික විපත්වලට ලෝක වාසීහු මුහුණ පාති.ඊට දීර්ඝ ඉතිහාසයක් ද ඇත.නමුත් මෑත වකවානුවේ ලෝකයේ ඇති වූ විෂම දේශගුණික ක්‍රියාකාරිත්වයන් අතිශයින්ම විශ්මය ජනකය.එම ක්‍රියාවලීන් මෙතෙක් පැවති ස්භාවික භෞතික රටාවෙන් පැහැදිලිවම වෙනස් වූ ස්වරූපයන් පෙන්නුම් කරයි.මෑත වසරක වර්ෂාපතනය ඉතාම අඩු මැද පෙරදිග කලාපයට ඇද හැලුනු මහා වර්ෂාවෙන් එහි ඇතැම් ප්‍රදේශ පිරී ඉතිරී ගියේය.සෞදි අරාබියේ මං මාවත් පුරා විශාල ජල දහරාවෝ ගලා ගියහ.
කැලිපෝනියාවේ හටගත් ලැව්ගිනි ජීවිත කීපයක් බිලි ගත්තේය.ඩොලර් බිලියන 200 ආසන්න හානියක් එම ප්‍රදේශයට සිදු විය.කැලිපෝනියාව හරහා හමා ගිය කුණාටුව ලැව් ගිණි තත්ත්වය තීව්‍ර කළේය.දියුණු තාක්ෂණික උපක්‍රම තිබුණද එම ගින්න මැඩ පැවැත්වීමට අවශ්‍ය පහසුකම් නොසැපයීම සහ කම්කරු-පීඩිත මහජනයා වගේම ගහ කොළ සහ සතාසිවුන් කෙරෙහි ධනපති පාලක පන්තියේ නොතකා හැරීම පෙන්වන්නකි. මෙය ස්වභාවික ව්‍යවසනයකටත් වඩා ධනවාදයේ අනිවාර්ය නිශ්පාදනයකි.
ආසන්න ඉතිහාසයේ ඇතිවූ තවත් අපූරු සිදුවීමක් වන්නේ,සහරා කාන්තාරයට ඇද හැලුනු මහා වර්ෂාවයි.මෙම වර්ෂාපතනය නිසා කාන්තාරයේ පහත් බිම් ප්‍රදේශවල වැලි තලා මත ජලය පිරීගිය ‘විල්’ නිර්මාණය වූ බව මාධ්‍යයේ කියැවුණි.ඇතැම් ස්ථානවල විවිධාකාරයේ වෘක්ෂ ලතා පැන නැගුණු අන්දම දැක්වුණි.
පරිසරයේ ඇතිවන උෂ්ණත්වය මත උත්තරාර්ධ හා දක්ෂිණාර්ධ ගෝලවල ග්ලැසියර්, දිය වී යාමේ තර්ජනයකට ලක් වී ඇත.ග්ලැසියර් දියවීමෙන් සාගරවලට එක්වන ජල දහරා නිසා මුහුදු මට්ටමේ සීඝ්‍ර ඉහල යාමක් නුදුරු අනාගතයේ සිදුවන බවට පරිසරවේදීහු අනතුරු අඟවති.එය තව දුරටත් වර්ධනය වීමේ ප්‍රතිඵලය වන්නේ මෙතෙක් පෘථිවියේ ගොඩබිම්වලට අයත් වූ දූපත් ගණනාවක් මිහිතලයට අහිමි වීමයි.
දැනටමත් මෙම අනතුරුදායක පසුබිමේ සංඥා මාල දිවයින් හා ඇතැම් දූපත් වෙත ලඟා වී තිබේ.අවිධිමත් කාර්මීකරණය,අනාරක්ෂිත න්‍යෂ්ඨික බල ශක්ති භාවිතය නිසා පෘථිවි වායු ගෝලයේ ඕසෝන් ස්ථරයට විශාල හානිදායක බලපෑමක් සිදුවන බව පරිසරවේදීන් අවධාරණය කර සිටින්නේ දීර්ඝ කාලයක සිටය.මේ ක්‍රියාවලිය නිසා ඕසෝන් ස්ථරයේ ඇති වී තිබෙන සිදුර ක්‍රමයෙන් පුලුල් වන අතර එමගින් මිනිසාට පමණක් නොව සත්වයින්ට, තුරු ලතාවලට පවා අහිතකර කිරණ ඍජුවම පෘථිවියට එල්ල වන්නේ යැයි පරිසරවේදීහු කියති.
මිනිස් ක්‍රියාවලීන් නිසා ඕසෝන් ස්ථරයට කොතරම් බලපෑමක් වන්නේද කිවහොත් පසුගිය කොරෝනා වසංගත සමයේදී ඕසෝන් ස්ථරයේ සිදුර පටු වී ගිය බව විද්වත්හු ප්‍රකාශ කළහ.ඊට හේතු වූයේ ලෝකයේ ප්‍රධාන කාර්මික නගරවල පවා ක්‍රියාකාරිත්වය අවම වීම බව ඔවුහු පෙන්වා දුන්හ.මෙමගින් ජෛව ගෝලයේ සමතුලිත බවට මානව ක්‍රියාකාරකම් කොතෙක් හේතු වන්නේද යන්න මැනවින් පැහැදිලි වේ.
සහරා කාන්තාරය, කාන්තාරයක් වශයෙන් පැවතීම ද පෘථිවි ගෝලයේ පාරිසරික සමතුලිතතාවයට මහත් බලපෑමක් කරන බව පරිසරවේදීහු පෙන්වා දෙති.සහරා කාන්තාරය හරහා හමා යන උණුසුම් සුළං ප්‍රවාහය ප්‍රදේශයේ දුහුවිලි අංශුද සමග අත්ලාන්තික් සාගරය හරහා හමා යයි.එහිදී උණුසුම් දුහුවිලි අංශු මගින් උරා ගන්නා සාගරය මතුපිට ජල වාෂ්ප සංතෘප්ත වායු කෝෂ නිර්මාණය කරමින් ඇතුලු වන්නේ දකුණු අමෙරිකානු කලාපයටයි.
මෙහිදී ජල වාෂ්ප අඩංගු වායු දහරා මගින් එම ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ලබා දෙයි.සදාහරිත ඇමේසන් වැසි වනාන්තරය පෝෂණය වීමට එම මහා වැසි හේතු වේ.ඇමේසන් ගංගාවට විශාල ජලස්කන්ධයක් මෙමගින් එකතු වේ.ඇතැම් පාරිසරික විද්වතුන් දක්වන්නේ ,සහරා කාන්තාරය නැතිනම් ඇමේසන් වනාන්තරයක් සහ ඒ ඔස්සේ ගලා බසින අති විශාල ගංගාවක් නොමැති බවයි.
එසේ වුවද ,ඇමේසන් හා මධ්‍යම අප්‍රිකනු වැසි වනාන්තරවල පාපන්දු පිටියක් තරම් විශාල භූමි ප්‍රදේශයක් විනාශ කිරීමට ජාවාරම් කරුවන්ට ගතවන්නේ පැයකටත් අඩු කාලයක් බව පාරිසරික නිරීක්ෂක අංශ කියයි.මේ ක්‍රියාකාරිත්වයන් යටතේ මෙම වනාන්තර කලාප ක්‍රමයෙන් ඉතාම අනතුරුදායක තත්ත්වයකට පත්වෙමින් තිබේ.එය ජෛව ගෝලයේ පැවැත්මට විශාල බලපෑමක් සිදු කරයි.
මේ අතර මෝසම් වර්ෂාපතන කාල පරිච්ඡේදවල වෙනස්කම් ඇති වෙමින් තිබෙන බව දේශගුණ විද්‍යාඥයෝ කියති.මෝසම් සුළගේ බලපෑමට හසුවන ලංකාවේද මෙම වෙනස්කම් හඳුනා ගැනීමට හැකි වන බව ඔවුහු පෙන්වා දෙති.එමෙන්ම වර්ෂාපතන කාල සීමාවන්ගේ වෙනස්කම් නිසා ස්භාවික වෘක්ෂ ලතා පද්ධතියට බලපෑම් එල්ල වී තිබෙන අන්දම පැහැදිලි වෙමින් තිබේ.මේ පිළිබඳව නිරීක්ෂණය කරන ඇතැම් පරිසරවේදීන් කියා සිටින්නේ වියළි කලාපීය වනාන්තරවල පළු,වීර වැනි ශාකවල කුඩා ප්‍රමාණයේ පැල ඝනත්වය සීමා සහිත වෙමින් තිබෙන බවයි.
දීර්ඝ වියළි කාල පරිච්ඡේදයන් හා එකවර ඇදහැලෙන ධාරාණිපාත වර්ෂා රටාවන් වත්මනෙහි නිර්මාණය වී තිබෙන අන්දම පැහැදිලිය. පරිසරවේදීන් දක්වන අන්දමට, කලාපයට බලපාන මෝසම් වර්ෂාවෙන් අනතුරුව එළඹෙන දීර්ඝ වියළි කාල පරිච්ඡේදය මීට හේතු වී ඇත.එම වියළි කාල සීමාව දීර්ඝ වීම නිසා බීජයක් රෝපණය වීමට අවශ්‍ය වන කාල පරාසය ඉකුත්ව යයි.එහිදී පැලයක් හට ගැනීමට අවශ්‍ය තෙතමනය නොමැති වීම නිසා එම බීජයේ ජීව කාලය අවසන් වන බව ඔවුන්ගේ අදහසයි.
මෙම ස්වරූපය කලාපීය රටවල ස්වභාවික වන පද්ධතියට විශාල බලපෑමක් එල්ල කරයි.වන ඝනත්වයේ සීඝ්‍ර බිඳ වැටීම නිසා ඉන්දියාවේ ඇතැම් නාගරික ප්‍රදේශවල පහල වායු ගෝලීය ඔක්සිජන් ඝනත්වය පහත වැටෙමින් පවතින බව කියැවේ.එම තත්ත්වය ලංකාව වැනි දූපත් රටවල්වලද ඇතිවිය හැකි බවට පරිසරවේදීහු අනතුරු අඟවති.අප රට තුලද පොදුවේ වායු දූෂණය වීමේ ඉහල අගයක් පෙන්නුම් කරන බව පසුගිය දිනවල මාධ්‍යයේ වාර්ථා විය.මෙය දකුණු ආසියාතික කලාපයේම පැතිර යාමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වන බවද ප්‍රකාශයට පත්වුණි.මහා පරිමාණ වශයෙන් සිදුකෙරෙන ස්වභාවික වනාන්තර හානිය මීට හේතු වී තිබේ.
එමෙන්ම චීනයේ සිදුකරන අති විශාල ජල විදුලි සහ වගා ව්‍යාපෘති නිසා ඉන්දියාවේ වගා බිම් බරපතල හානියට ලක්වීමේ ඉඩ කඩ විවෘත වී ඇති අන්දම මාධ්‍යයේ ප්‍රකාශ විය.ඉන්දියාවේ ඇතැම් ගංගා සිඳී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති අන්දමද පැවසුණි.මේ යටතේ සිදුවන්නේ එක් රටක සංවර්ධනය වෙනුවෙන් තවත් ජනතාවක් විනාශ මුඛයට තල්ලු කර දැමීමකි.
අද වන විට මානවයාගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් පාරිසරික සාධකය රැක ගැනීමේ දැවැන්ත අභියෝගයකට සමස්ත ලෝක වාසීහු මුහුණ දී සිටිති.එය ලෝක ජනතාවගේ පුලුල් අයිතියක් වන තරමට ඉහලට මතු වී තිබේ.දියුණුව සහ සංවර්ධනය යනු එක්තරා ජන කොටසකට හෝ සීමා සහිත පුද්ගල සමූහයකගේ අයිතියක් නොවේ.එය සමස්ත මානවයාගේම පරම අයිතියකි.හරිත ලෝකයක් යන සංකල්පය සමස්ත මානව සමාජයටම අර්ථදායි වූවකි.එමෙන්ම එය තනි තනිව ,හුදෙකලාව සාක්ෂාත් කරගත හැකි දෙයක්ද නොවේ.
මේ වන විට පාරිසරික එකඟතාවයන් පිළිබඳ ගැටලුවද ලෝකවාසීන් හමුවේ දිග හැරී ඇත.ඇතැම් ලෝක නායකයින් මේ සම්බන්ධයෙන් දක්වන්නේ ඇල්මැරුණු ආකල්පයකි.නමුත් මෙම මාතෘකාව වත්මනෙහිදී ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ බලවත් සාකච්ඡාවට බඳුන් වේ.’සන්තාල් මූප්f’ හරිත ප්‍රජාතන්ත්‍රික සමාජ පරිවර්තනයක් ගැන සාකච්ඡා කරයි.ආර්ථික ක්‍රියාවලියේ මෙන්ම පාරිසරික සුරක්ෂාවේ එකඟතාවයන් සමග බැඳෙන සමාජවාදයක් ගැන අදහස් උදහස් මින් මතු කෙරේ.මෙය වඩාත් ශක්තිමත් ලෙස විවෘත තලයේ සාකච්ඡාවට ලක් විය යුතු අතිශය සංවේදී මාතෘකාවකි.