රළ සාහිත්‍ය කලා විමර්ශන – කෘතිය ජනගත කිරීම

රළ සාහිත්‍ය කලා විමර්ශන - කෘතිය ජනගත කිරීම

ලංකාවෙ කලාව හා සාහිත්‍ය සම්බන්ධ කිසියම් බුද්ධිමය මැදිහත්වීමක් කරන්න ගත් විවිධ උත්සාහයන් අතරේ කලා සාහිත්‍ය ක්ෂේත්‍රයේම ප්‍රාමාණිකයන් ඉදිරියෙන්ම සිටී. එසේවුවද දේශපාලනික තලයේදී සහ සමාජමය අරමුණකින් කලාව විචාරය කළේ වාමාංශික ව්‍යාපාරයයි. ලෝකයේ කලා සාහිත්‍ය සම්බන්ධ එවැනි බුද්ධිමය මැදිහත්වීම් සම්බන්ධයෙන් ගත්තත් ඒ සෑම තැනකම  ඉදිරියෙන් ඇත්තේ වමේ දේශපාලනය, වාම බුද්ධිමතුන් බව නිසැකය.

1935 බිහි වූ සමසමාජ පක්ෂයේ සිට ලංකාවේ කලා සාහිත්‍ය නිර්මාණ විචාරයට මැදිහත්වී ඇත. එදා සිටම මෙරට සමාජය තුළ බුද්ධිමය කැලඹීමක් ඇතිකරන අරමුණින් කලාකරුවන්, විචාරකයන්, වාම බුද්ධිමතුන් හා රසික සහෘද මට්ටමෙන් දායක වූ ප්‍රගතිශීලී කලා සංස්කෘතික ධාරාවක් පැවැති බව අපි දනිමු. එහෙත් මේ වනවිට සාහිත්‍ය කලා ක්ෂේත්‍රය, කලා විචාරය පසුබස්වමින් වෙළෙඳපොළ චින්තනය මෙන්ම ජාතිකවාදී මන්තරය මගින් විනාශයේ ගමනකි. එය වෙනස් කිරීමට නම් වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් කලා නිර්මාණයේ යෙදීමටත් මිනිස් සිතීම වඩා පොහොසත්, වඩා ඉදිරිගාමී ආස්ථානයකට කැඳවීම වෙනුවෙන් වැඩ කන්නටත් වෙයි. ඒ වෙනුවෙන් කලාකරුවන්, රසික-සහෘද ප්‍රජාව, විචාරකයන් තමන්ගේ එක් එක් පෙරමුණුවල මෙන්ම එක් තනි අරමුණක සිට වුවද වැඩ කළ යුතු වෙයි. එවැනි පොදු අරමුණක් වෙනුවෙන් මිනිස් සමාජය කැඳවීමේදී පොදු සිතීම පුළුල් කළ යුතුවා මෙන්ම සිතීමේ දිශානතියක් නිර්ණය කළ යුතුව ඇත. එසේම කලානිර්මාණ බිහි කිරීම, සහෘද රසවින්දනය මෙන්ම කලා විචාරය වඩවඩාත් ජනතාව වෙත සමීප කළ යුතුය.

වර්තමානයේ කලා ක්ෂේත්‍රය තුළ වෘත්තිකයන්ට, ශිල්පීන්ට මෙන්ම විචාරකයන්ට ඇත්තේ ඒ වෙනුවෙන් වන වගකීමකි. එහෙත් ඒ අතරම ප්‍රගතිශීලී දේශපාලන ක්‍රියාකාරිකයන් ලෙසද මෙහිදී ඉටු කළ යුතු වගකීමක් ඇත. එනම්, කලා සංස්කෘතික වැඩබිම තුළ විවිධ මට්ටමෙන් දීර්ඝකාලයක් තිස්සේ හෙළන ලද ශ්‍රමයේ සමාජමය ප්‍රතිඵල පෙරලා පොදුජන සමාජයට උරුම කරදීමත් එහි හරය දීර්ඝකාලීන පැවැත්ම ආරක්ෂා කිරීමත්ය. ලාංකීය සමාජයේ මෙතෙක් පැවති බුද්ධිමය ව්‍යාපාර පරාජය ලැබුවේ නව ලිබරල් ධනවාදයේ සහ අධිරාජ්‍යවාදයේත්, ජාතිකවාදයේත්, අභියෝග හමුවේ සංවිධානාත්මක මතවාදී අරගලයක් නොවීම නිසාය. එසේම එකී අගති සහගත මතවාද පින්තාරු කරමින් හෝද හෝදා මඩේ දමමින් යන ප්‍රතිසංස්කරණවාදී සංස්කෘතික ආධිපත්‍යය ඉක්මවිය නොහැකි වීම නිසාය. අප සමාජයක් ලෙස අද මුහුණ දී සිටින අර්බුදය එයයි. එනිසාම වත්මන් ලෝකයේ පවතින විනාශකාරීත්වය පරාජය කරන විකල්පයක් සඳහා සමාජයේ සබුද්ධිකභාවය වෙනුවෙනුත් රස වින්දනය හා සහකම්පනය වෙනුවෙනුත් කලාව සහ කලා විචාරය සතු භූමිකාවක් ඇත. ඒ සඳහා කලා කෘති ඇසුරු කිරීමත් කලා විචාරයේ නිම් වළලු‍ පුළුල් කර වර්ධනය කිරීමත් අවශ්‍ය වේ.

මේ අරමුණු මුල් කරගෙන කටයුතු කරන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංස්කෘතික අංශය සහ ‘වම’ පුවත්පතේ ‘රළ කලා සංස්කෘතික අතිරේකයේ’ සංස්කාරක මණ්ඩලය විසින් එම අතිරේකයේ පළ කළ විචාර ලිපි මාලාවක් කෘතියක් ලෙස ජනගත කරන්නට තීරණය කර තිබේ. ඒ අනුව, ‘රළ සාහිත්‍ය කලා විමර්ශන’ කෘතිය පෙබරවාරි 06 වැනිදා සවස 3.00ට කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා  මණ්ඩල ශ්‍රවණාගාරයේදී සහෘද පාඨක ප්‍රජාව අතට පත් කෙරේ. එහිදී අදහස් දැක්වීම් සඳහා බූපති නලීන් වික්‍රමගේ, අනෝමා රාජකරුණා, අජිත් කුමාරසිරි සහ පුබුදු ජයගොඩ දායක වනු ඇත. 

මෙම අවස්ථාවට සාහිත්‍ය, කලා හා විචාරය පිළිබඳ උනන්දුවක් දක්වන සහෘදයන්ගේ පැමිණීම අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *