බෞද්ධ කන්ඩායම් විහාරස්ථාන පුලුල් කරමින් වාර්ගික ආතතීන් අවුස්සයි

ඩබ්ලිව් .ඒ .සුනිල්
[මෙය Buddhist groups in Sri Lanka provoke communal tensions by seeking temple expansion යන මැයෙන් 2025 පෙබරවාරි 19 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ශ්‍රී ලංකා හමුදාවේ සහාය ලබන බෞද්ධ කන්ඩායම්, උතුරේ, යාපනය අර්ධද්වීපයේ, කන්කසන්තුරේ අසල පිහිටි තයිට්ටි ගම්මානයේ බෞද්ධ විහාරස්ථානයක් පුලුල් කිරීමට ප්‍රකෝපකාරී ලෙස උත්සාහ කරමින් සිටිති.
මෙම විහාරස්ථානය, අනුප්‍රාප්තික කොලඹ ආන්ඩු විසින් බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව දියත් කරන ලද වාර්ගික යුද්ධය තුල, 1990 දී අවතැන් වූ දෙමල පවුල් 14 ක පෞද්ගලික ඉඩම්වල, ශ්‍රී ලංකා හමුදාව විසින් නීති විරෝධී ලෙස ඉදිකරන ලද්දකි. කලින් කුඩා ඉඩමක පැවති තිස්ස විහාරය නම් වන මෙම විහාරය, හමුදාව විසින් අත්පත් කරගත් ඉඩම් භාවිතා කරමින් පුලුල් කර ඇත.
නීත්‍යානුකූල ඉඩම් හිමියන් විසින් ගොනු කරන ලද නඩුවක් නොසලකා හරිමින්, විහාරස්ථානය පුලුල් කිරීම ආරම්භ කරන ලද්දේ, 2021 දී එවක හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසිනි. 2023 ජුනි 3 වන දින විහාරස්ථානය නිල වශයෙන් විවෘත කරන ලදී. එතැන් පටන්, සෑම මසකම පුර පසලොස්වක පොහොය දිනයේදී ප්‍රදේශවාසීන් එයට එරෙහිව විරෝධතා දක්වා ඇත.
ජාතික බුද්ධි කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන සමස්ත ලංකා බෞද්ධ කොංග්‍රසයේ (ඒසීබීසී) සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ විසින්, පන්සල නැවත පුලුල් කිරීම සඳහා තවත් ඉඩම් අත්පත් කර ගන්නා ලෙස ඉල්ලා යවන ලද ලිපියක්, පෙබරවාරි 6 වන දා, දෙමල ජාතික ජනතා පෙරමුනේ (ටීඑන්පීඑෆ්) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම ලිපිය ලියා ඇත්තේ 2025 දෙසැම්බර් මාසයේදී ය. නව සැලැස්ම, ප්‍රාදේශීය විරෝධය තවදුරටත් අවුලුවා තිබේ.
තිස්ස විහාරය, 2009 මැයි මාසයේදී එල්ටීටීඊයේ පරාජයත් සමඟ වසර 26 ක වාර්ගික යුද්ධය ලේ වැකි ලෙස අවසන් වීමෙන් පසු, හමුදාව සහ බෞද්ධ කන්ඩායම් විසින් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පිහිටුවන ලද සිය ගනනක් බෞද්ධ සිද්ධස්ථානවලින් එකකි. සිංහල-බෞද්ධ රාජ්‍යයේ ආධිපත්‍යය ප්‍රදර්ශනය කිරීමේ මාධ්‍යයක් ලෙස කොලඹ ආන්ඩු මෙම වාර්ගික ප්‍රකෝප කිරීම්වලට සහාය දී තිබේ.
මිලිටරි පිටුබලය ලත් බෞද්ධ කන්ඩායම් වාර්ගික ආතතීන් උත්සන්න කිරීමට උත්සාහ කරන අතර, දෙමල ජාතිකවාදී පක්ෂ, ඔවුන්ගේ පැත්තෙන්, දෙමල ජනතාව අතර සිංහල විරෝධී ස්වෝත්තමවාදය ඇවිස්සීම සඳහා මෙම ගැටලුව උපයෝගී කර ගෙන ඇත. ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයිටීඒකේ), ඊලාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊපීඩීපී) සහ ටීඑන්පීඑෆ් යන සියල්ලෝම මෙම උද්ඝෝෂනයට සම්බන්ධ වී සිටිති.
පෙබරවාරි 9 වන දින, අයිටීඒකේ නායක සහ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මාධ්‍ය හමුවකදී, ආන්ඩුව මෙම විහාරස්ථානය ඉවත් කිරීමට පියවර නොගතහොත් ඔවුන් එය කඩා දමන බවට අනතුරු ඇඟවීය. පෙබරවාරි 11 සහ 12 යන දිනවල, දෙමල පක්ෂ, තවත් කන්ඩායම් කිහිපයක් සමඟ එක්ව විහාරස්ථානය ඉවත් කර ඉඩම එහි හිමිකරුවන්ට ආපසු ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවක් කැඳවූහ.
පොලිසිය මල්ලාකම් මහේස්ත්‍රාත්වරයාගෙන් විරෝධතාවය තහනම් කිරීම සඳහා අධිකරන නියෝගයක් ලබා ගත් නමුත්, විරෝධතාකරුවෝ එය ප්‍රතික්ෂේප කලහ. අධිකරන නියෝගය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා ටීඑන්පීඑෆ් නායක පොන්නම්බලම්ට සිතාසි නිකුත් කලේය. ඔහු රුපියල් 100,000 ක ඇප මත නිදහස් කරන ලද අතර නඩුව ජුනි 26 වන දිනට කල් තැබින.
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර, සේනාධිනායකයා ලෙස “වර්ධනය වෙමින් පවතින තත්වය සොයා බලන ලෙස” ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. “පුපුරන සුලු වර්ධනයක්” දෙස “ඇස් පියා නොගන්නා” ලෙස ඔහු කොලඹ පාලක සහ විපක්ෂ පක්ෂවලින් ඉල්ලා සිටියේය. වීරසේකර ඔහුගේ සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය සඳහා කුප්‍රකටය.
යුද අපරාධකරුවෙකු යැයි චෝදනා ලැබ සිටින විශ්‍රාමික ජෙනරාල් ජගත් ඩයස්, අයිටීඒකේ නායක ශ්‍රීධරන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටියේය. “[ඔහු] ප්‍රචන්ඩත්වයට අනුබල දෙන බව ආන්ඩුවට නොසලකා හැරිය නොහැකි” බවත්, වහාම ක්‍රියා කිරීමට අපොහොසත් වීම “අනෙකුත් කරදර ඇති කරන්නන් දිරිමත් කරනු ඇති” බවත් ඩයස් පවසා තිබේ.
වාර්ගික ආතතීන් ඇවිස්සීමේ මෙම උත්සාහයන් මධ්‍යයේ, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනතා බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ, ඒ කෙරෙහි පවතින සහයෝගීතාවය ද පැහැදිලිය. ජනවාරි 31 වන දින දිසානායකගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමක් පැවති අතර එහිදී මෙම ගැටලුව මතු කරන ලද මුත්, කිසිවක් කර නොමැත.
පසුගිය වසරේ ජනාධිපතිවරන සහ පාර්ලිමේන්තු මැතිවරනවලදී, දිසානායක උතුරේ මැතිවරන ව්‍යාපාරයේ යෙදුනේ තම ආන්ඩුව යටතේ ආරක්ෂක හමුදා විසින් පාලනය කරන ලද ඉඩම් එහි හිමිකරුවන්ට ආපසු ලබා දෙන බවට පොරොන්දු වෙමිනි. අනෙකුත් මැතිවරන පොරොන්දු මෙන්ම, ආන්ඩුව මෙම පොරොන්දුව ද අතහැර දමා ඇති අතර, අයිතිකරුවන්ට අක්කර කිහිපයක් ආපසු බෙදා දී ඇත. කඳවුරු සහ කෘෂිකාර්මික ගොවිපල සඳහා එහි අක්කර දහස් ගනනක් තවමත් හමුදාව විසින් පාලනය කරනු ලැබේ.
තිස්ස විහාරස්ථානය සම්බන්ධයෙන් ආන්ඩුව හමුදාව සමඟ ඇති කරගත් දුස්සන්ධානය බෞද්ධ මූලධර්ම, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු විසින් හෙලි කරන ලදී. මෝනිං පුවත්පතට අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම ගැටලුව සම්බන්ධයෙන් “තීරනයකට එලඹීම” සඳහා ආරක්ෂක හමුදා ඇතුලු අදාල අමාත්‍යාංශ සමඟ සාකච්ඡාවක් පවත්වන බවයි.
‘බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් යටතේ විහාරස්ථානය ලියාපදිංචි කිරීමට ආන්ඩුව අදහස් කරන බව’ අතපත්තු පැවසීය; මන්ද, කලින් එහි ලියාපදිංචි කිරීමට ඇතුලත් වූයේ ඉඩම පමනක් බැවිනි. හමුදාව විසින් ඉදිකරන ලද ස්ථානයේ ‘හමුදාව සහ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන විහාරස්ථාන දෙකක් තිබෙන’ බව ඔහු තවදුරටත් පැවසීය.
වෙනත් වචන වලින් කිවහොත්, නීති විරෝධී ලෙස ඉදිකරන ලද විහාරස්ථානය නිල වශයෙන් ලියාපදිංචි කිරීමට ආන්ඩුව දැනටමත් තීරනය කර තිබේ. මෙය පුදුමයක් නොවේ. ශ්‍රී ලංකාවේ ප්‍රතිගාමී ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බුද්ධාගම “ප්‍රමුඛ” ආගම ලෙසත් සිංහල රාජ්‍ය භාෂාව ලෙසත් ස්ථාපිත කර ඇත. මෙම වාර්ගික ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට ජවිපෙ/ජාජබ නැවත නැවතත් පොරොන්දු විය.
විහාරස්ථානය පිලිබඳ එහි ස්ථාවරය, ජනවාර්ගික හා ආගමික බෙදීම් හරහා ‘සමානාත්මතාවය’ වෙනුවෙන් පෙනී සිටින බවට සහ වාර්ගික ප්‍රකෝප කිරීම්වලට විරුද්ධ වන බවට දිසානායක සහ ඔහුගේ ජවිපෙ/ජාජබ කරන ව්‍යාජ ප්‍රකාශ හෙලිදරව් කරයි. නොවැම්බර් 21 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දී, ‘බෙදීම්වාදී ජාතිවාදී දේශපාලනය’ හෝ ‘ආගමික අන්තවාදය මුල් බැස ගැනීමට’ නැවත ඉඩ නොදීමේ වගකීම ආන්ඩුව භාර ගන්නා බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, කොලඹ දේශපාලන සංස්ථාපිතයේ සියලුම පක්ෂ මෙන්, ජවිපෙ ද වාර්ගික යුද්ධයට උපරිමයෙන් සහාය දුන් අතර හමුදාවේ කුරිරුකම් සහ යුද අපරාධ ආරක්ෂා කලේය. සිංහල වාර්ගික දේශපාලනය මත පදනම් වූ ජවිපෙ, හමුදා සහ බෞද්ධ සංස්ථාපිතයේ සහයෝගය මත දැඩි ලෙස රඳා පවතී.
දිසානායක ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් නියම කරන ලද කප්පාදු පියවර ක්‍රියාත්මක කරමින් සහ වැඩ කරන ජනතාවගේ සමාජ තත්වයට පහර දීම ගැඹුරු කරමින් සිටින තත්වයන් යටතේ, සිංහල-බෞද්ධ කන්ඩායම් හෝ දෙමල පක්ෂ ස්වෝත්තමවාදී හැඟීම් ඇවිස්සීම කම්කරු පන්තිය බෙදීමට පමනක් හේතු වේ.
කාලයක් තිස්සේ පවතින අයිටීඒකේ පක්ෂය ඇතුලු දෙමල පක්ෂ, දෙමල ජනතාව අතර පුලුල් ලෙස අපකීර්තියට පත්ව ඇති අතර පසුගිය වසරේ මැතිවරනවලදී නින්දිත පරාජයක් අත්විඳ ඇත. නොවැම්බර් මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරනයේදී මඩකලපුව හැර උතුරු හා නැගෙනහිර සියලුම මැතිවරන දිස්ත්‍රික්ක ඔවුන් පරාජයට පත් විය.
මෙම පක්ෂ සහ නායකයින් කෙරෙහි වන සතුරුකම පැන නගින්නේ, වැඩ කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඔවුන් අසමත් වීමෙන්, ජාමූඅ කප්පාදු න්‍යාය පත්‍රයට ඔවුන් දක්වන සහායෙන් සහ කොලඹ ආන්ඩුවලින් වැඩි වරප්‍රසාද ලබා ගැනීමට උත්සාහ කිරීමේ මාධ්‍යයක් ලෙස ඇමරිකානු අධිරාජ්‍යවාදයට දෙන සහායෙනි.
හමුදාව, සිංහල-බෞද්ධ වර්ගවාදී කන්ඩායම් සහ දෙමල වාර්ගික පක්ෂ විසින් හිතාමතාම අවුස්සනු ලබන නවතම වාර්ගික ආතතීන්, කම්කරු පන්තියට බරපතල අනතුරු ඇඟවීමකි. කම්කරු පන්තිය මෙම වර්ගවාදී ව්‍යාපාරයට විරුද්ධ විය යුතු අතර සියලු දෙනාගේ සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතුව සඳහා සටන් කල යුතුය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලවා හල, ඔහුගේ ආන්ඩුව බිඳහෙලූ 2022 අප්‍රේල්-ජූලි මහජන නැගිටීම, ජවිපෙ/ජාජබ ආන්ඩුව සහ සමස්තයක් ලෙස ධනේශ්වර පාලක පන්තිය තුල හොල්මන් කරයි. මිලියන සංඛ්‍යාත සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් සහ ග්‍රාමීය දුගීන් එම විරෝධතා සහ වැඩ වර්ජන සඳහා සහභාගී වූහ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ වාම කන්ඩායම්වල සහාය ඇතිව, වෘත්තීය සමිති නිලධරයන්, අන්තර් කාලීන ධනේශ්වර පාලනයක් සඳහා—ජවිපෙ/ජාජබ සහ සමගි ජන බලවේගය වැනි—විපක්ෂ පාර්ලිමේන්තු පක්ෂවල යෝජනාවට සහාය දැක්වීම දෙසට මහජන ව්‍යාපාරය හරවා යැවීමෙන් එය පාවා දුන්හ.
සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්, සියලු ආකාරවල විෂකුරු වර්ගවාදය සහ ජාතිකවාදය ප්‍රතික්ෂේප කල යුතුය. ලොව පුරා පාලක පන්ති සහ ඔවුන්ගේ ආන්ඩු කම්කරුවන් අතර භේද ඇති කිරීම සඳහා ස්වෝත්තමවාදය සහ විදේශික භීතිකාව භාවිතා කරමින් සිටිති. ඊට ප්‍රතිචාර වශයෙන්, කම්කරු පන්තියේ සටන් හඬ විය යුත්තේ, ජාත්‍යන්තර එක්සත්කමය.
සමාජවාදී සමානතා පක්ෂය (සසප), උතුරෙන් හා නැගෙනහිරින් වහාම ශ්‍රී ලංකා හමුදාව ඉවත් කර ගන්නා ලෙස බලකර සිටී. වාඩිලාගෙන සිටින හමුදා දෙමල ජනතාව මර්දනය කිරීමට පමනක් නොව, වාර්ගික ආතතීන් ඇවිස්සීමට ද පෙරමුන ගෙන ඇත.
වාර්ගික වෙනස්කම් කිරීම අවසන් කිරීම සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සාක්ෂාත් කරගත හැක්කේ, ධනවාදය පෙරලා දමා සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන කම්කරු-ගොවි ආන්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා ග්‍රාමීය ජනතාවගේ සහාය ඇතිව සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් ගෙනයන ඒකාබද්ධ අරගලයක් හරහා පමනි. සමාජවාදී සමානතා පක්ෂය දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව එක්සත් සමාජවාදී සම්මේලනයක කොටසක් ලෙස ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී ජනරජයක් කැඳවුම් කර සිටී.
වැඩ කරන ජනතාවගේ සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සඳහා සියලුම වැඩබිම්වල සහ ග්‍රාමීය ප්‍රදේශවල ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප කැඳවුම් කරයි. සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් සඳහා වන සටනේදී කම්කරු පන්තිය සහ ග්‍රාමීය ජනතාව පෙලගැස්වීම සඳහා මෙම ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයින් මත පදනම් වන ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී සම්මේලනයක් ගොඩනඟමු.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අනුග්‍රහයෙනි.