සංවිධානාත්මක අපරාධ පිළිබඳ සසප ප්‍රකාශයේ ව්‍යාකූලත්වය

නන්දන නන්නෙත්ති විසිනි
“න්‍යාය මලානික ය. ජීවිතය සදාහරිත ය.“ වෛෂයික ලෝකයෙන් වියුක්ත කර ගන්නා න්‍යාය යලි යලිත් වෛෂයික ලෝකය තුලින් සොයා ගන්නා සංයුක්ත දැනුමෙන් සංවර්ධනය නො කරන්නේ නම් අපගේ දැනුම වැඩකට නැති පල් වතුර හැලියක් බඳු වේ. එනම්, එවන් මිනිසුන් තමන් ද සහිත ලෝකයේ සැබෑ තතු නොදන්නා, ඒ හේතුවෙන් ම ඉදිරි දර්ශනයකට නො සමත් පුද්ගලයන් බවට පත් වේ. අපෝහක භෞතිකවාදී මාක්ස්වාදියාගේ කාර්යය, දේවල් එවායේ සියලු සම්බන්ධතාවන් සහිතව, එනම් අදාල සියලු කරුනු විශ්ලේෂනයට නතු කර සංස්ලේශනය කිරීම තුලින් එම දෙය හා එහි චලනයේ ඊලඟ මොහොතට අවසානයක් නැතිව ලඟා වීම ය. චලනයේ සැබෑ මාවත කරුනුවලට යටින් සැඟ ව සිටී.
පසුගිය පෙබරවාරී 25, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල අංශයේ ඉදිරි දර්ශන ලිපිය මෙම අර්ථයෙන් සලකා බැලීම අපගේ අරමුන ය. ‘උසාවියේ ඝාතනය සහ “නීතිය හා විධානය” සහ “ජාතික ආරක්ෂාව” තහවුරු කිරීමේ උද්ඝෝෂනය‘ යන හිසින් එය ලියා ඇත්තේ වසන්ත රූපසිංහ සහෝදරයා විසිනි. පසුගිය 19 වන දින අධිකරනය තුල දී, ගනේමුල්ලේ සංජීව නැමති පාතාල නායකයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය නිමිති කරගෙන ලියැවුනු ලිපිය ධනපති පාලනය සංවිධානාත්මක අපරාධ කල්ලිවලට ඇති සම්බන්ධය මතු කිරීමට උත්සාහ දරා ඇත. තව ද පාලක පන්තිය ඒවා මර්දනය කිරීමේ මුවාවෙන් කඩා පනින්නේ ධනේශ්වර පීඩනයට එරෙහි වන කම්කරුවන් හා පීඩිතයන් මතට බව සඳහන් කර ඇත. එහි යෝජනා කර ඇති පරිදි, මෙම තත්වයන් අහෝසි කර නිදහස දිනා ගැනීමට කම්කරු පන්තිය ධනවාදය පෙරලා බලය තමන් අතට ගත යුතුය.
ඉහත වියුක්තයන් මහජනයා වෙත සමීප කිරීමේ මාවත ලෙස වසන්ත සහෝදරයා සලකන්නේ, පාලක පන්තිය මහජනයාට හතුරුය යන අදහස නැවත නැවතත් අවධාරනයෙන් කියා පෑමයි.

එහි සඳහන් පරිදි, “පාතාලය මැඩීම සඳහා දැඩි මර්දනකාරී නීති ඉල්ලන මෙහෙයුමකට රටේ ප්‍රධාන පුවත්පත් සියල්ල ම පාහේ සම්බන්ධ වී තිබේ.
“1948 ඊනියා නිදහසේ පටන් ම, අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා අනුව ක්‍රියාත්මක වෙමින් මහජන වෛරයට පාත්‍ර ව සිටින මෙරට පාලක පන්තියට ඇත්තේ, මහජන අරගල ලෙයින් මර්දනය කිරීමේ කුප්‍රකට ඉතිහාසයකි.
“ආන්ඩුවේ ද විපක්ෂයේ ද පන්ති අවශ්‍යතාව එකකි, දෙපාර්ශවය ම සේවය කරන්නේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට සහ ලංකාවේ මහා ව්‍යාපාරිකයන්ටය.“ මෙවන් හුදකලා ප්‍රකාශ සම්බන්ධයෙන් කෙටිම පිලිතුර රුසියානු විප්ලවයේ නායකයා වන ලෙනින් ලබා දී ශතකයක් ඉක්මවා ගොස් ඇත. “මහත්වරුනි අපි ඕවා දන්නවා. අපට ඕනෑ ඒවා එසේ වන්නේ ඇයි දැයි දැන ගැනීමට ය“
ප්‍රස්තුත ලිපියේ කතෘ එවන් බැරෑරුම් ප්‍රශ්නයකට මුහුන දීමේ සූදානමක් නැති බව ලිපිය ආරම්භයේ දීම පෙන්නුම් කලේ ය. එහු මෙසේ ලියා ඇත. “කව්බෝයි චිත්‍රපටියක දර්ශනවලට සමාන සිදුවීමට අදාල සීසීටීවී දර්ශන රැගත් පුවත් විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ජාලා සිසාරා වේගයෙන් පැතිර ගියේය. මෙම සිද්ධිය වූයේ ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජනබලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුව කියවමින් සිටින පසුබිමේ ය.“
“’ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්ව තිබීම’ ගැන විවාදයකට ආන්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැනගත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ප්‍රහාර මගින් උග්‍ර කෙරුනු, යෝධ සමාජ ප්‍රශ්න යටපත් කරමිනි.“ මධ්‍යම පන්තික විශ්මයට ආරධනා කරන විකාර රූපී කව්බෝයි කතාව ඉවත දැමූ පසු අනෙක් වැකිවල සත්‍යය ගැබ් වී ඇතැයි කිව හැකි ය. එහෙත් මෙම වියුක්ත සංකල්පයන්ගෙන් මේ කියන ප්‍රශ්න විසඳීමේ මාවතක් ඉස්මතු වීමට ඉඩක් නැත. එවිට අප ආමන්ත්‍රනය කරන්නේ විරෝධතාවන්ට ය. හුදු විරෝධතා, ධනවාදයට විකල්ප ක්‍රියා මාර්ගයක් ඉස්මතු කිරීමට සමත් නො වේ.
2025 මුල් මාස දෙක සටහන් වූයේ සංවිධානාත්මක අපරාධවල වේගවත් වැඩි වීමකිනි. ජනාධිපති අනුර කුමාර දිසානායකට අනුව කීත් නොයාර් නඩුව, ක්‍රිෂ් ගනුදෙනුව, ශ්‍රී ලංකා ගුවන් සමාගම සම්බන්ධ වංචාව, පාස්කු ප්‍රහාරය යන මේවා සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශන කඩාකප්පල් කිරීම සඳහා අපරාධ කල්ලි 5ක් එකිනෙකා ඝාතනය කර ගනිමින් සිටිති. මේ කල්ලි පහම එක තැනකින් මෙහෙය වේ. ඔහු මේ චෝදනාව එල්ල කරන්නේ හිටපු ජනාධිපති රාජපක්ෂ ඇතුලු පවුලේ අය වෙත ය. රාජපක්ෂ පාලනය වෙත ඇති මහජන වෛරය සිය ආන්ඩු බලය තහවුරු කර ගැනීම සදහා දිසානායක පරිහරනය කරයි. ඔහු මෙම අපරාධ කල්ලි කුමන සමාජ බලවේගවල ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ද යන ප්‍රශ්නය ඒ මගින් මඟ හැර යයි. උක්ත ලිපිය ද මඟ හරින්නේ මෙම මූලික ප්‍රශ්නයයි.
එම ලිපියට අනුව “1983 පටන් අනුප්‍රාප්තික ආන්ඩු …නිලනොවන මැරකල්ලි රහසේ ගොඩනගාගෙන තිබේ. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන් සමග සම්බන්ධතා සහිත පාතාලය වර්ධනය වීමට මෙය රුකුලක් විය.“ කතෘ ඊට සාක්ෂි මෙසේ ගෙන හැර පායි. “ප්‍රධාන පෙලේ දේශපාලකයන්, ඇතැම් ධනපතියන් හා පාතාල මැර කල්ලි, මිලිටරියේ හා පොලිසියේ පහල හා ඉහල නිලධාරීන් ද අතර සම්බන්ධතා ගැන තොරතුරු එලියට ආවේ හා වහාම යට ගැසුනේ වරක් දෙවරක් නොවේ.“ මේ “රුකුලක් වීම“ හැර පාතාලය පැන නැගීමට හේතු ලිපිය තුල සාකච්ඡා වන්නේ නැත. ජනාධිපති දිසානායක පවසා සිටින්නේ ද එය ම ය.
සංවිධානාත්මක අපරාධ යනු පවතින ආර්ථික සංවිධානයේ කුනු වීමේ ප්‍රකාශනයකි. පුද්ගලික දේපල ක්‍රමයේ ඓන්ද්‍රීය අංගයන් වන වංචාව, දූෂනය, ත්‍රස්ත කිරීම්, ඊනියා සදාචාරයේ සියලු සලු පිලි උනා දමා ඇත. විරැකියාව හා දුප්පත්කම ලාබ ශ්‍රමය සම්පාදනය කර ගැනීමේ අවශ්‍යතාවක් වන්නා සේ ම අපරාධවලට ද තෝතැන්නක් වන්නේ ය.
මත්ද්‍රව්‍ය ජාවාරම නීති විරෝධී මාෆියාවක් විසින් නිර්මානය කරන ලද්දක් නො වේ. 19 වන සියවසේ යුරෝපීය යටත් විජිත බලවත්හු ආසියාව පුරා අබිං ව්‍යාප්ත කරමින් සිටියහ. මේ අතර ඖෂධ කර්මාන්තය සොයා ගත් මෝෆීන්, කොකේන් සහ හෙරොයින් ලොව පුරා වසංගතයක් බවට පත්විය. චීන අධිරාජ්‍යය විසින් අබිං වෙලඳාමට එල්ල කරන ලද බාධාවට පිලිතුරු ලෙස බ්‍රිතාන්‍යය 1839 සිට චීනයට එරෙහිව යුද වැදුනි. 1842 දී චීනයට ඊට යටත් වීමට සිදු විය. 1850-60 අතර දෙවන අබිං යුද්ධයකට ද චීනයට මුහුන දීමට සිදු විය. එම කාලයේ දී ම චීන සංක්‍රමනිකයෝ ඇමරිකාවේ මෙම ද්‍රව්‍ය වෙලඳපොල නිර්මානය කලහ. සිවිල් යුද්ධය අතරතුර වේදනා නාශකයක් ලෙස භාවිතා කිරීම සඳහා මෝෆීන් විශේෂයෙන් ජනප්‍රිය වූ අතර, එමඟින් දහස් ගණනක් සොල්දාදුවෝ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූහ. 1914 හැරිසන් පනත මගින් වෛද්‍ය නොවන අරමුණු සඳහා අබිං සහ කොකේන් භාවිතය තහනම් කරන ලද නමුත් නීති විරෝධී මත්ද්‍රව්‍ය දිගටම සංසරණය විය. 1930 සහ 1940 ගණන්වල ඔපියේට් මෙන් ම මරිජුවානා ජනප්‍රිය විනෝදාත්මක මත්ද්‍රව්‍ය බවට පත්විය.
එක්සත් ජාතීන්ගේ මත් ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධ කාර්යාලය (UNODC) 2022 වසර වන විට මිලියන 292ක් මිනිසුන් මත් ද්‍රව්‍ය පරිභෝජනය කර ඇති බව වාර්තා කර තිබේ. 2021-22 කාලය තුල කොකේන් (Cocaine) ටොන් 2757ක්, – 2022-23 වසරවල ඔපිඔයිඩ් (Opioid) ටොන් 1990ක්, හෙරොයින් (Heroin) ටොන්182 – 192ක් නිෂ්පාදනය කර ඇති බව එම වාර්තාව පෙන්වා දී ඇත. එක්ස්ටැසි(Ecstasy) මරිජුවානා(Cannabis) ඇම්පෙටමින්ස් (Amphetamines) පුලුල් ලෙස පැතිර ගොස් ඇත.
2022දී ලොව මිලියන 64ක් දෙනා මත් ද්‍රව්‍ය භාවිතය නිසා ප්‍රතිකාර ලැබිය යුතු තත්වයට පත් වී ඇත. මෙසේ මරනය පවා ඉක්මන් කරන රෝගාබාධයන් පෙනී පෙනී මිනිසුන් මේවාට ඇබ්බැහි වන්නේ ඇයි? මිනිසුන්ට අසහනය දරා ගත නො හැකි ය. ඔවුන්ට ප්‍රීතිය, සතුට හා සහනය අවශ්‍ය ය. ආර්ථික දේශපාලන අසමානතාවයේ ගිලී, ජීවත් වීම හා නො වීම අතර සිටින මිනිසුන්ට එම ප්‍රීතියට හා සහනයට සදාචාරාත්මක මාවතක් නැත. මත්ද්‍රව්‍යවලට ද අන් සියලු භාන්ඩවලට මෙන් ම ප්‍රයෝජ්‍ය වටිනාකමක් ලබා දෙන්නේ මෙම තත්වය විසිනි. ඒවා උත්තේජකයන් වන අතර, ශක්තීන්, සංවේදන හා සතුට වැඩි කල හැකි, ප්‍රීතිකාරක, විනෝදාත්මක හා මනෝභාවයන් වෙනස් කල හැකි ගුනයන්ගෙන් යුක්ත ය. මහජනයාගේ මූලික අවශ්‍යතා පවා සපුරාලීමට අසමත් ධනපති සමාජ ක්‍රමයට මෙම වෙලඳපොල තව දුරටත් පුලුල් වීම නො වැලැක් විය හැකි ය. නිදසුනක් ලෙස 2013-2014 කාලයේ සිට 2021-2022 කාලය දක්වා කොකේන් නිෂ්පාදනය පමනක් සියයට 20 න් වැඩි වීම පෙන්වා දිය හැකි ය.
මෙම සමාජය අතිශයින් අනාරක්ෂිත ය. නීති විරෝධී මත්ද්‍රව්‍ය කර්මාන්තයේ වෙලඳපොල සඳහා තරඟය කන්ඩායම් අතර ලෙයින් විසඳා ගත යුතු වන අතර ජාත්‍යන්තර පරිමාන අපරාධ ජාලයන් නිර්මානය කරයි. මෙරට වර්තමානයේ ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි හා ඒවා විසින් කරනු ලබන මිනිස් ඝාතන සිදු කෙරී ඇත්තේ මෙම කොන්දේසි යටතේ ය. මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අපරාධවලට පෙලඹීම සමාජ ව්‍යසනයේ බරපතල කොටසක් නියෝජනය කරයි. ඔවුන් අතරින් කුලී මිනීමරුවන් ද, මත්ද්‍රව්‍ය වාහකයන් ද සොයා ගැනීම අසීරු නැත. අධිකරනය තුල ගනේමුල්ල සංජීව නැමැති පාතාල නායකයා ඝාතනය කරනු ලැබූ වෙඩික්කරු දුප්පත් පවුලක හැදුනු අහිංසක පුද්ගලයෙකු බව ද, කමාන්ඩෝ බලකායට බැඳී පුහුනු කාල සීමාවේ දී එයින් ඉවත් වූ තරුනයෙකු බව ද සඳහන් වෙයි. අනතුරුව ඔහු අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී ඇත.
දිගු කලක් තිස්සේ, කංසා හා අබිං ශ්‍රී ලංකාවේ පැතිර තිබිනි. 1970 ගනන්වල අවසන් භාගයේ සංචාරක ව්‍යාපාරය හරහා කොකේන්, හෙරොයින් වැනි තහනම් මත්ද්‍රව්‍ය භාවිතයට මෙරට තරුනයන් යොමු කර ගැනුනු අතර එය ඉතා වේගයෙන් පැතිරීමට අවශ්‍ය කොන්දේසි මෙහි පැවතුනි. කම්කරු පන්ති පක්ෂ ලෙස පිලිගත් සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂවල සහාය ලද්දා වූ හා, 1971 තරුන කැරැල්ල ලෙයින් මැඬ ලූ ධනපති ආන්ඩුව සිය සත් අවුරුදු කාලය තුල තමන් මුහුන දුන් බංකොලොත්කම මහජනයා මත පතිත කලේ ය. අත්‍යවශ්‍ය ආහාර හිඟයකට මුහුන දුන් ජනයා දිවි ගැට ගසා ගත්තේ යාන්තමිනි. අන්ඩුව පවත්වා ගැනුනේ හදිසි නීතිය යටතේ ය. 1977 බලයට පත් එක්සත් ජාතික පක්ෂයේ ආන්ඩුව වසර17ක් එම හදිසි නීතියෙන් ආවරනය වී සිටියේය. එම ආන්ඩුව 1989-1990 කාලය තුල 60,000ක් තරුනයන් ඝාතනය කලේ ය. පසුව බලයට පත් අනුප්‍රාප්තික ආන්ඩු 2009 දක්වා පැවතුනේ උතුරු නැගෙනහිර යුද්ධයේ ආධාරයෙනි. අප මේ සටහන් කලේ තරුන අසහනයට ආන්ඩු ලබා දුන් විසඳුම් ය.
තවද, නඩු නො අසා ඝාතනය කිරීම්, වාර්ගික ආගමික වෛරය ඇවිලවීම, යුක්තිය ඉල්ලා උද්ඝෝෂනයේ යෙදුනු කම්කරුවන් මර්ධනය කිරීම ආන්ඩුවල පිලිවෙත වී තිබූ අතර, ජාතික ජන බලවේගයේ ආන්ඩුවට වෙනත් මගක් නැති බව දැනටම තහවුරු වී ඇත. එය බලයට පත් වී තෙමසක් ගතවීමටත් පෙර සැකකරුවන් දෙදෙනෙකුගේ ඉරනම අධිකරන ක්‍රියා මාර්ගයකින් තොරව පොලිසිය විසින් තීන්දු කරන ලදී. නීති විරෝධී ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ ඉස්මතු වූයේ ද ආන්ඩු විවෘත මර්දන යන්ත්‍රයක් බවට හෙලිදරව් කල එම කොන්දේසි විසින් ම ය. එනිසා ආන්ඩුවල ක්‍රෑරත්වයත්, පාතලයත් ධනේශ්වර ආර්ථික ක්‍රමය පවතින තාක් නො වැලැක්විය හැකි ය.
ජාජබ ආන්ඩුව ‘අවුරුදු 76ක පාලන තන්ත්‍රයන්ගේ වැරදි නිසා කඩා වැටුනු රට ගොඩ නැඟීමේ‘ සටන් පාඨය තුල, ධනවාදයේ ඓන්ද්‍රීය අසාර්ථකත්වය සඟවා ගෙන සිටීමට ඉමහත් ප්‍රයත්නයක් දරයි. ආන්ඩුව දැනටමත් ප්‍රකාශ කර ඇති පරිදි රට ගොඩ නගන්නේ ජාත්‍යන්තර වෙලඳපොලෙන් වැඩි වාසි උකහා ගැනීමෙනි. ඒ අනුව වැඩි වාසි තමන් වෙත ලබා ගැනීමට හැකි වන පරිදි ජාත්‍යන්තර සංවිධාන හා සෙසු රටවල් සමග ගිවිසුම් ගත වීම ද ආන්ඩුවේ ඉලක්කයයි. ජාත්‍යන්තර ප්‍රාග්ධනය මෙහි කැඳවා ගෙන ඉන් වාසි ගැනීම එම පිලිවෙතේ තවත් අංගයකි. කෙසේ වෙතත් ආයෝජකයන් අන් කෙනෙකුගේ වාසි වෙනුවෙන් කැප වන ධනපති ලෝකයක් නො පවතී. ඒ නිසා සියලු ජනයා මේ ක්‍රියා මාර්ගය උදෙසා සිය උවමනාවන් අත් හැරීමට සූදානම් විය යුතු බවත් අරගල වලංගු නැති බවත් ආන්ඩුව නො යෙක් ආකාරයෙන් නිවේදනය කර ඇත.
තාක්ෂනයේ වර්ධනය හා එමඟින් විකසිත වූ ලෝක නිෂ්පාදනයේ භූගෝලීයකරනය, යල් පැන ගිය ජාතික රාජ්‍යවල පැවැත්ම අභියෝගයට ලක් කර ඇත. එය විශේෂයෙන් පසුගාමී රාජ්‍යවල ගෙල සිර කරයි. 2024 සැප්තැම්බර් ඔක්ස්ෆෑම් වාර්තා කර ඇත්තේ ලෝකයේ ජීවත් වන සියයට 95ක් ජනයාගේ සමස්ත ධනයට වැඩි ධනයක් පෙහොසත් සියයට 1 විසින් බුක්ති විඳින බව ය. මේ තත්වය තුල, පසුගාමී රටවල් තුලත්, සියලු රටවල වෙසෙන පීඩිත ජනතාව අතරත් පැතිරෙන දුප්පත්කම හා අපේක්ෂා භංගත්වය ජය ගැනීමට හැකි ජාතික ක්‍රියාමාර්ග තව දුරටත් නොපවතින අතර, ඒ අනුව ජාතික වැඩ පිලිවෙලවල් තවදුරටත් වලංගු නො වේ. දියුනු ආර්ථිකයන් ලෙස නම් දැරූ අධිරාජ්‍යවාදී රටවල මෙන් ම පසුගාමී රටවල ද කම්කරු පන්තියේ ඉරනම විසඳෙන්නේ මේ තත්වයට මුහුන දෙන්නේ කෙසේද යන කරුන මත ය. ඉතිහාසය තරවටු කරමින් අපට මතක් කර දෙන්නේ, ඒ වෙනුවට කිසිදු ආන්ඩුවක් හෝ සංවිධානයක් ආදේශ කල නොහැකි බව හා ධනවාදය මුලිනුපුටා දමන කම්කරු පන්ති ක්‍රියා මාර්ගය සහිත ජාත්‍යන්තර විප්ලවවාදී පක්ෂයක අවශ්‍යතාවයි. එම පක්ෂය හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව බව අභියෝග කල නො හැකි සත්‍යයකි. එහි ශ්‍රී ලංකා ශාඛාව දකුනු ආසියාව තුල මේ අභියෝගයට උර දිය යුතු සංවිධානය වන හෙයින් ම, එහි දේශපාලනික තියුනුභාවය සමස්ත කලාපයේ කම්කරු පන්තියේ ඉරනමට ඉතා සමීපව ගැට ගැසී ඇත. වර්තමාන ලෝක තත්වය තුල මේ කලාපය තුල හා ලොව පුරා වෙසෙන කම්කරු පන්තියට, අඩ සියවසකට වඩා වැඩි මූලධර්මාත්මක අරගලයක වාර්තාවෙන් පමනක් නොව එහි පාඩම්වලින් ද සන්නද්ධ කේඩරවරුන් වඩවඩාත් අවශ්‍ය වනු ඇත. අප මේ කරුන සම්බන්ධයෙන් සංවේදී වන්නේ එබැවිනි.
ජායාරූපය උපුටා ගත්තේ බී.බී.සී සිංහල වෙබ් අඩවියෙනි.