අද ජාජබ/ජවිපෙ ආණ්ඩුව යන්නෙත් රනිල් ,මහින්ද ගිය පාරේ – දුමින්ද නාගමුව

අද ජාජබ/ජවිපෙ ආණ්ඩුව යන්නෙත් රනිල් ,මහින්ද ගිය පාරේ - දුමින්ද නාගමුව

  ” ආණ්ඩුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින් ද ජයතිස්ස විසින් අද මාධ්‍යය වෙත ප්‍රකාශයක් නිකුත් කළා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ලංකා සංචාරය සම්බන්ධයෙන්. ඔහු කිව්වා මේ සංචාරයේදී ආරක්ෂක, බල ශක්ති, සෞඛ්‍ය සහ ඩිජිටල්කරණය කියන අංශවලට අදාලව ගිවිසුම් අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. මේ අත්සන් කරන්න නියමිත ගිවිසුම් මොනවාද සහ ඒ ගිවිසුම්වල අඩංගු කරුණු මොනවද කියන කාරණය තවමත් රටේ ජනතාවට හෙළිදරව් කරලා නෑ. අඩුමතරමින් පාර්ලිමේන්තුවටවත් මේ ගිවිසුම් ඉදිරිපත් කරලා නෑ. මේක ඉතාම බරපතළ තත්වයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.

   එහෙම ජනතාවගෙන් හංගලා අත්සන් කරනවනං ඒ ගිවිසුම් අනිවාරෙන් හොර ගිවිසුම්. මීට කලින් හිටපු සියලු ආණ්ඩුත් අනුගමනය කලේ මේ ක්‍රියාවලියම තමයි. දැන් අවුරුදු 74ක් තිස්සේ රටේ ජනතාවගෙන් හංගලා ඉතාම බරපතළ ගිවිසුම්වලට පාලකයෝ අත්සන් කළා. එක වෙලාවක නිව්ෆෝස්ට්‍රස් කියන බලශක්ති සමාගම එක්ක බැසිල් රාජපක්ෂ ගිවිසුමක් අත්සන් කලා. ඒ මහ රෑ 12.00ට. එදා ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂලාට චෝදනා කළා. අද ඒ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවම ජනතාවට හොරෙන් මෝදි එක්ක ගිවිසුම් අත්සන් කර බව නාගමුව හෙළි කළේය.


ඔහු එසේ පැවසුවේ ඉන්දිය අගමැතිවරයාගේ ලංකා සංචාරය සහ එහිදී අත්සන් කිරීමට නියමිත රටට අහිතකර  ගිවිසුම් වලට එරෙහිව නුගේගොඩ පෙරටුගාමි පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්තී සාකච්ජාවේදීය.

ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

මේ ආණ්ඩුව බලයට එනකොට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ගැන කතන්දර ගොඩක් කිව්වා. හැබැයි අද ඒ ඔක්කොම අමතක කරලා රාජපක්ෂලා රනිල්ලා ගිය පරණ පුරුදු පාරෙම ආණ්ඩුව ගමන් ගනිමින් ඉන්නවා. අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට ආණ්ඩුවේ මේ හැසිරීම හෙළා දකිනවා.

 ඉන්දීය පුවත්පත් වාර්තා කරන විදහට 1987 ඉන්දු – ලංකා ගිවිසුමෙන් පස්සේ ඉන්දියාව අපේ රටත් එක්ක අත්සන් කරන්න සූදානම් වෙන ඉතාමත් තීරණාත්මකම ගිවිසුම තමයි මේ අත්සන් කරන්න සූදානම් වෙන ආරක්ෂක ගිවිසුම.  ලංකාවට ඉන්දියානු හමුදාව මැදිහත් කරවීම, ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයට මැදිහත් වීම, ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඇතුළු ආර්ථික කලාපයට අතපෙවීම කියන කරුණු මූලික කරගෙන තමයි එදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කලේ. දැන් ආණ්ඩුව අප්‍රේල් 5 වෙනිදා අත්සන් කරන්න සූදනමින් ඉන්නේ මීටත් වඩා තීරණාත්මකම සහ භයානක ගිවිසුමක් වෙන්න පුලුවන්. මේ ගිවිසුම නිසා ලංකාව යුධමය අනතුරක වැටීමේ අවධානමක් තියනවා. 

අපි දන්නවා ආසියානු සාගරයේ මේ මොහත වෙද්දිත් ඉන්දියාව සහ චීනය දැවැන්ත බලපොරයකට අර අදිමින් ඉන්නේ. එහෙම වෙලාවක ඉන්දියාව සූදානම් වෙන්නේ අපේ රටත් එහි ඉත්තෙක් බවට පත් කරගෙන ඔවුන්ගේ ආරක්ෂක උපායමාර්ගයට ලංකාවත් ඈඳා ගන්න. මේ තත්වය ලංකාවට ඉතාම අවාසිදායකයි. රනිල් වික්‍රමසිංහත් 2023 අවුරුද්දේ මෙවැනිම අවබෝධතා ගිවිසුම් ප්‍රමාණයකට අත්සන් කළා. දැන් ඒ ක්‍රියාවලියේ ඉතුරු අර්ධය තමයි ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ සම්පූර්ණ කරන්න  සූදානමින් ඉන්නේ. 

මේක ඉතාම බරපතළ තත්වයක් සහ ලංකාවේ ජනතාව පාවා දීමක්.  ජාතික ජනබලවේග ආණ්ඩුවෙන් මිනිස්සු මෙවැනි ජනතාද්‍රෝහී ක්‍රියාවක් බලාපොරොත්තු වුනේ නෑ. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට දැන් වුනත් වෙලාව තියනවා මේ ගිවිසුම් අත්සන් නොකර නවත්තන්න. සහ ආණ්ඩුව ජනතාවගේ අනුමැතියකින් තොරව අත්තනෝමතික විදිහට මේ ගිවිසුම් අත්සන් කරන්න සූදානම් වෙනවනං ජනතාව විදිහට ඊට විරුද්ධව ගන්න පුලුවන් උපරිම ක්‍රියාමාර්ග ගත යුතුයි. මේ ජනතාද්‍රෝහී ගිවිසුම් පරාජය කිරීම සඳහා මැදිහත් වීම සියලු ජනතාවගේ වගකීමක්. ඒ සඳහා මැදිහත් වෙමු කියන යෝජනව අපි ඔබට ඉදිරිපත් කරනවා. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *