ආපනශාලා හිමියන්ගේ සංගමය සංගමයේ සභාපති අසේල සම්පත් මහතාට එරෙහිව අතුරු තහනමක් නිකුත් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කළ ඉල්ලීම ගාස්තුවට යටත්ව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසාවිනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළාය .
“පිට කෝට්ටේ මිලියන් 200 ගේ? චන්න කන්ථක අසු නොමැතිව විල මැද්දේ අමුඩය සමඟින්” ලෙස දැක්වෙන ෆේස්බුක් සටහනක් තැබීම මගින් පාරිභෝගික අයිතිවාසිකම් ක්‍රියාකාරී අසේල සම්පත් යන අය විසින් අපහාසයක් කර ඇති බවත් අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා සම්බන්ධයෙන් තව දුරටත් අපහාස කරවීම වළක්වන ලෙස ඉල්ලා සිටින අතුරු තහනම මෙසේ ප්‍රතික්ෂේප කෙරුණි .
අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉතාමත් ප්‍රවීණ සහ කීර්තිමත් පුද්ගලයෙකු බවත්, ඉහත කී ෆේස්බුක් ප්‍රකාශය හේතුවෙන් තමා මහජනතාව ඉදිරියේ අවඥාවකට පත්වී ඇතිබවත් තම කීර්තිනාමයට හානි සිදුවී ඇතිබවත් පැමිණිලේ දක්වා ඇත. විත්තිකරු විසින් තම විරෝධතාවයන්ගේ දක්වා ඇත්තේ පැමිණිලේ දක්වා ඇති පරිදි පැමිණිලිකරු කීර්තිමත් පුද්ගලයෙකු නොවන බවත් නිරන්තරයෙන් මහජනතාවගේ අවඥාවට සහ හාස්‍යට ලක්වන පුද්ගලයෙකු බවත් පාර්ලිමෙන්තුව තුලදී පවා පැමිණිලිකරු ගේ කුප්‍රකට ක්‍රියාකාරකම් සාකච්ඡවට භාජනය වී ඇති බවත් ය.
පැමිණිලිකාර මහාචාර්ය චන්න ජයසුමන වෙනුවෙන් නීතිඥ අතුල ද සිල්වා මහතාගේ උපදෙස් මත නීතීඥ මිනෝලි ඇලෙක්සැන්ඩර් මෙනවිය සහ නීතීඥ ඩී.එස්. රත්නායක මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ වී. කේ චොක්සි මහතා පෙනී සිටින ලද අතර විත්තිකාර අසේල සම්පත් වෙනුවෙන් නීතීඥ තමිලා පෙරේරා මහත්මියගේ උපදෙස් මත නීතීඥ ප්‍රතාප් වැලිකුඹුර මහතා සමඟ නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පෙනීසිටින ලදී.