ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන සංශෝධනයකට තම පක්ෂය පක්ෂපාතී බවත්
රැවටිල්ලක් බවට පත් වන සංශෝධනයක් නොවිය යුතු බව
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහෝදරයා පැවැසීය.
පසුගියදා කැබිනට් මණ්ඩලයට 21වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර බවත් මේ වන විට දේහපාලන පක්ෂ වෙත එම සංශෝධනය ලබා දී අතර අපේ රටේ ව්‍යවස්ථාවට යහපත් සංශෝධන ඉදිරිපත් වූ අවස්ථා දෙකක් අපි දකින බවත් එකක් 17වැනි සංශෝධනයයි. නමුත් 2010 රාජපක්ෂ පාලනයට බලය අත්වූවාට පසුව එම 17වැනි සංශෝධනය මුළුමනින්ම අහෝසි කර 18වැනි සංශෝධනය ගෙන ආ බව කි අනුර කුමාර අනතුරුව 2015දී ඇති වූ විශේෂ දේශපාලන තත්වය උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදයේ දිශාවට ඇති පියවරක් ලෙස 19වැනි සංශෝධනය සම්මත කර ගත්තේය නමුත් ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ පවුල වෙත පසුගිය මහමැතිවරණයෙන් ලැබුණු බලය උපයෝගී කර ගෙන එම 19වැනි සංශෝධනය ඉවත් කර 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර බවත්
එම 19වැනි සංශෝදනය අහෝසි කිරීමට අත එසවූ සහ 19 වෙනුවට 20 අවශ්‍ය බවට පාර්ලිමේන්තුවේ කෑ මොර දුන් කණ්ඩායමම එය අහෝසි කර 21වැනි සංශෝධනය ගෙන ඒමට සූදානම් වීම ඉතිහාසයේ සරදමක් බව දිසානායක පැවැසීය .
දිසානායක එසේ පැවැසුවේ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවේදීය .
ඔහු වැඩිදුරටත් මෙසේ පැවැසීය
පාර්ලිමේන්තුවේ 17ට අත ඔසවපු, 18ට අත ඔසවපු ඊට එරෙහි 19ට අත ඔසවපු ඊට පරස්පර 20ට අත ඔසවපු අය සිටිනවා. 21 මෙම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන විට පෙර සිව් අවස්ථාවටම අත ඔසවපු අය එහි සිටිනවා. නිමල් සිරිපාල, සුසිල් ප්‍රේමජයන්ත එවැනි අයයි.
බල සූදුවේ එක් එක් අවස්ථා වෙනුවෙන් එක් එක් වගන්ති වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් වී තිබෙනවා. කෙසේ වුවද 21වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට අප හමුවේ තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප විශ්වාස කරන්නේ විවිධ අවස්ථාවල කෑලි කපා අමුණා අටවා තිබෙන මෙම ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස් කොට පූර්ණ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට ගෙන ආ යුතු බවයි. නමුත් මේ පාලකයන් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු නොකරන බව අපි දන්නවා. පාර්ලිමේන්තුවේ 20වැනි සංශෝධනය සම්මත කරන අවස්ථාවේ අධිකරණ ඇමතිවරයාත් ජනාධිපතිවරයාත් ප්‍රකාශ කළේ වසරක් ඉකුත්වීමට මත්තෙන් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවයි. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඉල්ලනවා වගේ මේ පාලකයන් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න උත්සාහ නොකරන බව අපිට පැහැදිලියි.
ඒ අනුව තිබෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීමේ දිශාවට සංශෝධනයක් ගෙන එන්නේනම් අපි පක්ෂපාතී වනවා. එහෙත් එය හුදු රැවටිල්ලක් බවට පත් වන සංශෝධනයක් නොවිය යුතුයි. 19වැනි සංශෝධනය ගෙන විටත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පිළිබඳව කල්පනා කරනු වෙනුවට මෛත්‍රීපාල සිරිසේනගේ බල කේන්ද්‍රයේ සහ රනිල් වික්‍රමසිංහගේ බල කේන්ද්‍රයේ බල වුවමනාවන් එම 19වැනි සංශෝධනය තුළ ගැබ් වී තිබෙනවා. එනිසා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් සංශෝධනය ගෙන එනු වෙනුවට බල වුවමනාවන් ඉදිරියට ගත් නිසා විකෘතිභාවයක් ඇති වුණා.
ඊළඟට, මන්ත්‍රීවරුන්ගේ වත්කම් විගණනයට භාජනය විය යුතුයැයි දැනට විශාල සාකච්ඡාවකට බඳුන්වෙමින් තිබෙනවා. අපගේ ස්ථාවරය වන්නේ විගණනයෙන් පමණක් නිවැරදිතාවය තෝරා ගන්න බැහැ. ඒ වගේම විගණන දෙපාර්තමේන්තුවට ඒ සඳහා පූර්ණ බලයක් නැහැ. ඒ නිසා මන්ත්‍රීවරුන්, ජනතා නියෝජිතයන් වත්කම් සහ බැරකම් ප්‍රකාශනයක් ලබාදුන්නාට පසුව ඒ වත්කම් සහ බැරකම් ප්‍රකාශනය මත පමණක් පදනම්ව විමර්ශනයක් කළ හැකියි. එම කාල පරිච්ඡේදය ඇතුළත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිය හැකියි. මහජන නියෝජිතයන් අයථා ලෙස උපයාගෙන තිබෙන දේපළ පිළිබඳව මහජනතාව ළඟ තොරතුරු තිබේ නම් ඒවා මෙම විමර්ශන ආයතන වෙත ලබා දෙන ලෙස ඉල්ලීමට සහ ඒ මත පදනම්ව පූර්ණ විමර්ශනයක් කිරීමට විමර්ශන ආයතවලට බලය ලබා දීම සඳහා වගන්ති ඇතුළත් විය යුතු යැයි අපි යෝජනා කරනවා.
ඒ වගේම විධායක ජනාධිපති ධුරයේ බලතල සංශෝධනය මගින් සැලකිය යුතු බලතල ප්‍රමාණයක් අගමැතිවරයාට, පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවෙන් තෝරාපත් කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවන්ට පැවරෙනවා. කෙටියෙන් පවසන්නේ නම්, ජනාධිපතිවරයා සතුව පවතින බලතල විවිධ ව්‍යුහයන්ට පැවරෙනවා. මෙහිදී වැදගත් එකක් වන්නේ අගමැතිවරයාට හා පාර්ලිමේන්තුවට බලතල පැවරීමයි. වර්තමාන අගමැතිවරයා, පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත්වූ පුද්ගලයෙක්. ඔහු ජාතික ලැයිස්තුවෙන් යාන්තම් රිංගාගෙන ආව රටෙන් ප්‍රතික්ෂේප වූ පුද්ගලයෙක්. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම අගමැතිවරයාට විශේෂ බලතල ලැබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බැලූවිට මෙවැනි විශේෂ බලතල සහිත අග්‍රාමාත්‍ය තනතුරක් දැරීමට රනිල් වික්‍රමසිංහයට සුදුසුකම් නැහැ. මොකද, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද අගමැතිවරයෙක් නිසා. 21 වැනි සංශෝධනය හරහා ලැබෙන අතිරේක බලයක් දරන අග්‍රාමාත්‍යවරයෙක් ලෙස වගකීම් දැරීමේ අයිතියක් නැහැ. ඒ නිසා මෙම ව්‍යවස්ථා සංශෝධනයේදී අන්තර්කාලීන විධිවිධානයක් ලෙස වර්තමාන පාර්ලිමේන්තුවේ කාලය සම්බන්ධ සීමාවක් ඇතුළත් කළ යුතු යැයි අපි යෝජනා කරනවා. මේ සංශෝධනයේදී අන්තර්කාලීන විධිවිධානයක් ඇතුළත් කර මේ පාර්ලිමේන්තුවේ ධුර කාලය කෙටි කළ යුතුයි.
අපේ යෝජනාව මේ නව වැනි පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු දෙකත් අවුරුදු තුනත් අතර කාලයකට සීමා කළ යුතුයි. ඊට පසුව නව පාර්ලිමේන්තු මැතිවරණයක් හරහා මන්ත්‍රීවරුන් සහ ඒ තුළින් අග්‍රාමාත්‍යවරයෙකුත් තෝරාපත්කර ගන්න ජනතාවට අවස්ථාව ලැබෙනවා. එවැනි පාර්ලිමේන්තුවකට සහ අගමැතිවරයෙකු වෙත 21 වැනි සංශෝධනයෙන් බලතල ලැබිය යුතුයි. එසේ නැතිව ඔහේ අටවා ගත්, පිනට ලබාගත් අගමැතිවරයෙකුට 21 වැනි සංශෝධනයෙන් ලැබෙන බලතල හෙබවීමේ අයිතියක් නැහැ. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනය තුළ අපි වැදගත්ම සංශෝධනයක් හැටියට වර්තමාන පාර්ලිමේන්තුවේ කාලය සම්බන්ධ සීමාවක් සහිත අන්තර්කාලීන විධිවිධාන ඇතුළත් කර, නව ජනවරමකින් පාර්ලිමේන්තුවක් සහ අගමැතිවරයෙක් තෝරා ගැනීමෙන් පසු මෙම සංශෝධන ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා ගෙන එනවා.
ඒ වගේම තවත් වැදගත් පැත්තක් වන්නේ අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමයි. පසුගිය කාලයේ අමාත්‍යාංශ ලේකම්වරුන් හිතූ හිතූ හැටියට මාරු කළා. පත්කළා. එක පරිපාලන සේවයේ නිලධාරියෙක් මේ ආණ්ඩුව යටතේ නව වැනි තනතුරටත් පත්කළ බව කීවා. ජනාධිපතිවරයාට අවුරුදු දෙක හමාරක් වන විට ලේකම්වරයෙකු ස්ථාන නවයකට මාරු කරලා. ආයතන ප්‍රධානී තනතුරුත් ඒ වගේමයි. ඒ ඒ දේශපාලන වුවමනාවන් අනුව වංචා – දූෂණවලට ඉඩ නොදෙනවා නම්, මාරු කරනවා. ඉතාමත් වැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් ගෙනඑනකොට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා එයට විරුද්ධ වීම නිසා හිටිහැටියේ මාරු කළා. මේ තත්වය තුළ අමාත්‍යාංශ ලේකම්වරුන් ව්‍යවස්ථා මණ්ඩලය මගින් පත්කළ යුතුයි කියන යෝජනාව තිබෙනවා.
මේ ආදී යෝජනා ගණනාවක් 21 වැනි සංශෝධනයට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ යෝජනා මූලික කරගනිමින් තවත් යෝජනා පිළිබඳව අපි සාකච්ඡා කරමින් තිබෙනවා. 21 වැනි සංශේධනය සම්බන්ධයෙන් අපේ මේ යෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
● මෙම 21වැනි සංශෝධනය ගැන සාකච්ඡා කරන්න අගමැතිවරයා අද සවස 4.00ට අපටත් ආරාධනා කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාත් එක්ක මාළිගා කුමන්ත්‍රණ අපට නැහැ. අධිකරණ ඇමතිවරයා විසින් 21වැනි සංශෝධනය අපට ලබාදී තිබෙනවා. මේ සඳහා යෝජනාවන් ලිඛිතව එවන්න කියා දන්වා තිබෙනවා. ඒ ලිඛිත යෝජනා ඉල්ලා තිබෙන්නේ අදට. නමුත් අපිට මේ කෙටුම්පත ලැබුණේ 25වැනිදා සවස. මේ නිසා තව දවස් දෙකක විතර කාලයක් අපට අවශ්‍ය වේවි. අපේ යෝජනා අධිකරණ අමාත්‍යවරයා වෙත ලිඛිතව ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කෙටුම්පත සම්මත කිරීමේදී පළමුව එය ගැසට් කරන්න ඕනෑ. පාර්ලිමේන්තුවට ලබාදෙන්න ඕනෑ. පසුව පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවට එන්න ඕනෑ. ඊට පස්සේ අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට එන්න ඕනෑ. ඒ අවස්ථාවලදී අපි අපේ යෝජනාවන් සහ අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙය සම්මත කර ගන්න ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට එන්න ඕනෑ. පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී අපි අපේ සංශෝධන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එසේ නොවන මාළිගා ඇතුලේ කෙරෙන සාකච්ඡාවලින් කිසි ඵලක් නැහැ.
මේ අමාත්‍යාංශවලට, මේ ජනාධිපතිට, පාර්ලිමේන්තුවට, උපදෙස් මදිකමද තිබෙන්නේ. උපදෙස් ටොන් ගණන් තිබෙනවා. මේ අයට හොරකම් කරන්න එපා කියලා අලුතින් උපදෙස් ඕනෑද? නීති කඩන්න එපා කියලා මේ අයට අලුතින් උපදෙස් දෙන්න ඕනෑ ද? මහජනයාගේ ධනය නාස්තිකරන්න එපා කියලා අලුතින් උපදෙස් දෙන්න ඕනෑද? මේක උපදේශන සේවාවලින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවෙයි. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාවට විරෝධයක් තිබෙනවා. මේ හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම තෝරා යවලා තිබෙන්නේ ඒ පළාතේ ජනතාව. අලුත් පාර්ලිමේන්තුවක් ඕනෑ කියලා හඬ නඟන ජනතාව අතේ බලය තිබෙන්නේ. ඒ නිසාමයි අලුත් ජනවරමකට අවස්ථාවක් අපේ රටේ ජනතාවට දිය යුත්තේ. ඉන් අනතුරුව එක එක ක්ෂේත්‍ර සඳහා අලුතින් උපදෙස් ලබාගන්න සූදානම්. නමුත් මේ පාර්ලිමේන්තුවට උපදේශන සේවාවලින් ප්‍රශ්න විසඳන්න බැහැ. මේ ප්‍රශ්න විසඳිය හැක්කේ ශක්තිමත්, නව ආර්ථික, දේශපාලන වැඩපිළිවෙළක් සහිත පාලනයක් පිහිටුවා ගැනීමෙන් පමණයි.
● ජනාධිපතිවරයා පිළිබඳව අපට මොනතරම් දෝෂ දර්ශන තිබුණත් ඔහු එම පුටුවට සුදුසු නැති බව ඔහු විසින්ම සනාථ කර තිබුණත්, ව්‍යවස්ථානුකූලව සහ 20 වැනි සංශෝධනය අනුව ඔහුට එම ධුරය දැරීමේ අයිතියක් තිබෙනවා. නමුත් 21 වැනි සංශේධනය මගින් ජනාධිපතිවරයා සතුව තිබෙන බලතල ප්‍රමාණයක් අගමැතිවරයාට එනවා. මේ අගමැතිවරයාත්, පාර්ල්මේන්තුවේ කවර මන්ත්‍රීවරයෙකු අගමැති ලෙස පත් කළත් එම නව බලතල ලබාගැනීම සඳහා ඔහුට සුදුසුකම් නැහැ. ඇතිවෙන්නේ විශේෂ තත්වයක්. නව බලයක් අගමැතිවරයාට පාර්ලිමේන්තුවට ලැබෙන බැවින් එම නව බලය ක්‍රියාත්මක කිරීම සඳහා නව පාර්ලිමේන්තුවක් සහ නව අග්‍රාමාත්‍යවරයෙක් තෝරා පත්කර ගැනීම සඳහා ජනතාවට අවස්ථාව දිය යුතුයි. අදාළ බලය දැරීම වෙනුවෙන් පාර්ලිමේන්තුව සහ අගමැතිවරයා තෝරා පත්කර ගන්නේ ජනතාවට ඒ වෙනුවෙන් වූ අවබෝධයකින්. දැන් පාර්ලිමේන්තුවට වත් එන්න බැරිවුණු කෙනෙක් 21 වැනි සංශෝධනය මගින් තවත් බලතල ලබා ගැනීම යුක්තිසහගත නැහැ. 21 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවටත් අගමැතිවරයාටත් අලුතින් බලතල ලැබෙන බැවින්, ඒ බලතල හෙබවීම සඳහා අලුත් පාර්ලිමේන්තුවක් තෝරාපත් කර ගත යුතුයි. 21 වැනි සංශෝධනයට අන්තර්කාලීන යෝජනාවක් ඇතුළත් කරමින් මේ පාර්ලිමේන්තුවේ නිල කාලය සීමා කළ යුතුයි. එය මේ පාර්ලිමේන්තුවට පමණක් විශේෂිත වන පරිදියි.
● රනිල් වික්‍රමසිංහ අලුත් අයවැයක් ගෙන ආ යුතු බව කියා තිබුණා. ඒ වගේම ණය සීමාව වැඩිකර ගත යුතු බව කියා තිබුණා. සමහර බදු සංශෝධන ගෙන ආ යුතු බව කියා තිබෙනවා. ඒ සංශෝධන ලැයිස්තු ගතකර කාලසීමාවකට යටත් කර, සම්මත කර ගැනීමෙන් පසුව අනෙක් ක්‍රියාමාර්ගවලට යා හැකියි. මේ අවස්ථාවේ ඇතිවී තිබෙන අර්ථික අර්බුදය විසඳීම සඳහා අත්‍යවශ්‍ය නීති සංශෝධනයක් නම් ඒ ගැන සලකා අපේ සහයෝගය ලබාදිය හැකියි.
● අගමැති තනතුර දෙන්න කෙනෙක් නැතිව තිබුණා නොවෙයි. ගන්න ඕන තරම් අය පෝලිමේ හිටියා. හැබැයි ගෝඨාභයලා දෙන්නේ පෝලිමේ ඉන්න අයගෙන් තමන්ට අවශ්‍ය කෙනාටයි. රාජපක්ෂ පවුලට තර්ජනයක් නොවන, නියත ආරක්ෂිතයෙක් බවට පත්වෙන කෙනෙකුටයි දෙන්නේ. සජිත් ප්‍රේමදාසගේ භාවිතය මනමාලි පෝරුවට නැග්ගාට පස්සේ පෙම් හසුන් ලියනවා වගේ. වැඩක් වෙන්නේ නැහැ. ස.ජ.බ. හැදිලා තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මූලික පදනම් එක්කයි. ඒ පදනම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තනතුරු ගන්න සූදානම් බව කියනවා වෙන්න ඇති.
4 thoughts on “ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන සංශෝධන වලට ජ.වි.පෙන් සහාය.”