බෝල්ෂෙවිකයෙක් සූරා බලන්න ,මහා රුසියානුවෙකු හමුවෙනු ඇත
තිලක් කෝදාගොඩ විසිනි
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් හා එහි නායක කුමාර් ගුණරත්නම් සහෝදරයා “ජනතාවගේ මිතුරන් හා සතුරන් කව්ද?” මැයෙන් සිය පක්ෂය විසින් මහවැලි කේන්ද්‍රයේ දී සංවිධානය කර තිබූ මහජන සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය පසුගිය දා පැවැත්වීය. හරියටම පැයයි විනාඩි පනස් පහක් ඔහු එක දිගට කතාකරගෙන ගියේය. ඔහුගේ කතාවේ මුඛ්‍ය කාරණය ‘පන්තියට අරගලකාරී නිවැරදි වමේ නව වැඩ පිළිවෙළක අවශ්‍යතාව’ යනුවෙන් අවශ්‍ය නම්, නම් කළ හැකිය.
එහිදී ඔහු, වමේ අනාගත නව වැඩ පිළිවෙළ කෙටි කාලීන,මධ්‍යකාලීන හා දීර්ගකාලීන යනුවෙන් කොටස් තුනක් යටතේ විස්තර කළේය. ජවිපෙ ප්‍රමුඛ ‘ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාරගේ මැතිවරණ ඉල්ලා කරන කතාවලට ‘අත්පොළසන් දෙන’ සිය පාක්ෂිකයන් සෝපාහාසයට ලක් කළ ඔහු, දැනට පවතින වෘත්තීය සමිතිවල සීමාසහිතකම් ගැනද, ඒවා ජයගෙන ධනවාදය පෙරළා සමාජවාදය පිහිටුවීම දක්වා යා යුතු අවසන් අදියර ගැන ද අවධාරණය කළේය. ඔහුගේ සෝපාහාසයට ලක්වූ ජාතික ජන බලවේගයේ අත්පොළසන් දෙන පාක්ෂිකයන් වෙනුවට පෙරටුගාමී පාක්ෂිකයන් මෙහිදී අත්පොළසන් දෙමින් උද්යෝගයෙන් ක්‍රියාත්මක වීම දක්නට ලබුණි. කුමාර් සහෝදරයාගේ කතාවේ වෙනත් අයගේ කතාවලට වඩා විශේෂ වාමවාදී හරයක් අන්තර්ගතව නොපැවති අතර ඒ මුළු පැය දෙකක වමේ අනාගත වැඩපිළිවෙළක අවශ්‍යතාව අවධාරණය කළ කතාවේ උතුරේ දෙමළ ජනයාගේ නිදහස පිළිබඳ කාරණය ගැන එක වචනයක් සඳහන් නොකිරීමට වග බලා ගෙන තිබුණි. අඩ සියවසකට එහා සිංහල බෞද්ධ අපරාධකාරී රාජ්‍යයේ හිංසනීය මර්දනකාරී වර්ගවාදයට එරෙහිව සාමකාමීවත් පසුව මිනිස් බෝම්බ ලෙසත් දෙමළ ජනයා සිය නිදහස වෙනුවෙන් අරගල කළහ. රටේ දෙවැනි පුරවැසියන් ලෙස සැළකීමට විරුද්ධව නිදහසේ නාමයෙන් දෙමළ පීඩිත ජනයා ගෙන ගිය විමුක්තිකාමී අරගලය බර අවි යොදා හෝ මර්දනය කරන්නැයි එවකට කුමාර් සහෝදරයාද ඇතුළත් අවලංසහගත දේශපාලන බලඇනිය මර්දනකාරී රාජ්‍යය සමග එකතුව දෙමළ පීඩිතයාට එරෙහිව කෲර මර්දනයක් දියත් කළහ. ඒ අවලංසහගත වර්ගවාදී අතීතය, වර්තමානයේ සිංහල බෞද්ධ ඡන්ද පතා ඔහුගේ පැරණි දේශපාලන මිතුරන් වෙන්දේසි කිරීම කෙරෙහි කිසිදු වරදකාරී හැඟීමක්(a guilty feeling)පවා ඉතිරි නොවීම අප තේරුම් ගත යුත්තේ කෙසේද? කොහොමටත් වර්ගවාදය අගතියක් බවට පෙරළෙන්නට නම් ඊට බලයක් අවශ්‍යයය. එවකට කුමාර් සහෝදරයලා වර්ගසංහාරක රාජ්‍යයට කොන්දේසි විරහිතව වාම සළුපිළි උනා දමා මහා සිංහලයින් ලෙස ලබා දුන්නේ එම බලයයි. එය හරියටම එදා රුසියාවේ ‘මහා රුසියානුවාදයට’ පක්ෂව ඊට එකතු කළ හැකි බලය ඒ සමාජයේ දෙවැනි පුරවැසියෙකු ලෙස හෙවත් ‘ජෝර්ජියානු ජාතිකයෙක්’ ලෙස හිඳිමින් ‘ජෝෂප් ස්ටාලින්’ කළ අගතියට වඩා දෙවැනි නොවේ. දෙමළා දෙවන පුරවැසියන් ලෙස සළකන රටක කුමාර් සහෝදරයා දෙමළ ජාතිකයෙක් වී තම ජාතික නිදහස ගැන කිසිදු අදහසක් නැතිව වර නගන “ජාත්‍යන්තරවාදය” හුදු වචනයකට එහාගිය කිසිදු සාරයක් නැති හිස් වාගාලාපයක් පමණක් ලෙස පෙනී ම ගැන පුදුම නොවන්නේ එහෙයිනි. කුමාර් සහෝදරයාගේ දැන ගැනීම කෙසේ වෙතත් ඔහුගේ කතාවට හුරේ දැමූ සමාජවාදී යුතෝපියාවක් වෙනුවෙන් ශ්‍රමය දෙන පීඩිත පෙරටුගාමී පාක්ෂිකයා උදෙසා අපට කීමට ඇත්තේ ඔබගේ නායක සහෝදරවරු ‘ජාතික ගැටළුව’ හැර අන් සෑම තැනකදීම වර නගන ‘සම්භාව්‍ය මාක්ස්වාදයේ’ මේ පිළිබඳ ව එනම්, ජාත්‍යන්තර නිදහසට පෙර ‘ජාතික නිදහසේ වැදගත්කම’ අවධාරණය කරන මෙතනට අදාළ එක තැනක් අවශ්‍ය නම් සඳහන් කරන්නට හැකි බවයි. ඒ සිය පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු හා මතවාදියෙකු වූ ‘කෞට්ස්කි’, එංගල්ස්ගෙන් පෝලන්ත ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔහුගේ වර්තමාන මතය විමසූ විට ඊට එංගල්ස් දුන් පිළිතුරයි. ඒ එංගල්ස් 1882 පෙබරවාරි 7 වැනි දින කෞට්ස්කි ට යැවූ ප්‍රසිද්ධ පිළිතුරු (https://wikirouge.net/texts/en/Letter_to_Karl_Kautsky,_February_7,_1882) ලිපියයි. එහි තැනක මෙසේ සඳහන්වේ.
“…..1848 විප්ලවයේ සැබෑ කර්තව්‍යයන්ගෙන් එකක් – සහ විප්ලවයක සැබෑ සහ මායාකාරී නොවන කර්තව්‍යයන් මෙම විප්ලවයේ ප්‍රතිවිපාකයක් ලෙස සැමවිටම විසඳනු ලැබේ. මධ්‍යම යුරෝපයේ මර්දනය කරන ලද සහ විසිරී ගිය ජාතිකත්වයන්ගේ ව්‍යවස්ථාවන් විය. විශේෂයෙන් ඔවුන් ස්වාධීනත්වය සඳහා වූ දේ අවශ්‍යයෙන්ම සපයා ඇත. ඉතාලිය, හංගේරියාව සහ ජර්මනිය සඳහා විප්ලවයේ විධායකයින් වන බොනපාට්, කැවෝර් සහ බිස්මාර්ක් විසින් එවකට පැවති කොන්දේසිවලට අනුකූලව මෙම කාර්යය ඉටු කරන ලදී. අයර්ලන්තය සහ පෝලන්තය ඉතිරි විය. එය යුරෝපීය මහාද්වීපයේ තත්වයට බලපාන්නේ ඉතා වක්‍රව පමණක් බැවින් අපට අයර්ලන්තය මෙහි සලකා බැලීමෙන් බැහැර විය හැකිය. නමුත් පෝලන්තය මහාද්වීපයේ මධ්‍යයේ පිහිටා ඇති අතර එහි බෙදීම නඩත්තු කිරීම ශුද්ධ සන්ධානය නැවත නැවතත් එකට බැඳ තබන ටයි පටියයි. ඒ නිසා අපට පෝලන්තය ගැන ලොකු උනන්දුවක් ඇත.
…..ජාතික ස්වාධීනත්වය නොමැති තාක්, ශ්‍රේෂ්ඨ මිනිසුන්ට කිසිදු ආකාරයක අභ්‍යන්තර ගැටළු බැරෑරුම් ලෙස සාකච්ඡා කිරීම පවා ඓතිහාසිකව කළ නොහැක්කකි…. නිර්ධන පංතියේ ජාත්‍යන්තර ව්‍යාපාරයක් ඇති කළ හැක්කේ ස්වාධීන ජාතීන්ට පමණි…. එසේම ජාත්‍යන්තරයේ දී ප්‍රංශ ජාතිකයෝ මෙම දෘෂ්ටිකෝණය තරමක් පැහැදිලි ලෙස සැලකූහ. ඔවුන්ට ඉගැන්විය හැක්කේ ඉතිහාසගත සිද්ධීන්ට අනුව පමණි. එසේම ඔවුන් ඇතුළු තවත් කිහිප දෙනෙකුට “ජාත්‍යන්තර සහයෝගීතාවය” ගොඩ නැගිය හැකි වන්නේ සමානයන් අතර පමණක් බව ඔවුන්ට දිනපතා ඉගැන්විය යුතුය…… පෝලන්තය කොටස් කර යටත් කරගෙන සිටින තාක් කල්, ශක්තිමත් සමාජවාදී පක්ෂයකට රට තුළම වර්ධනය විය නොහැකිය……. සාමාන්‍ය අඳුරෙන් අවදි වී පොදු අවශ්‍යතාවයට සහභාගී වන සෑම පෝලන්ත ගොවියෙකුටම, කම්කරුවෙකුටම මුලින්ම මුණගැසෙන්නේ ජාතික යටත් කර ගැනීමේ කාරණයයි. මෙම කාරණය පළමු බාධකය ලෙස සෑම තැනකම ඔවුන්ගේ මාර්ගයෙහි ඇත. එය ඉවත් කිරීම සෑම නිරෝගී සහ නිදහස් සංවර්ධනයකම මූලික කොන්දේසියයි. තම රටේ විමුක්තිය තම වැඩසටහනේ ප්‍රධානත්වයට නොගන්නා පෝලන්ත සමාජවාදීන් මට පෙනී යන්නේ සමාජවාදී නීතිය, මාධ්‍ය නිදහස, සංගමයේ සහ රැස්වීමේ නිදහස ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා නොසිටින ජර්මානු සමාජවාදීන් ලෙසය. සටන් කිරීමට හැකිවීම සඳහා පළමුවෙන් නැගී සිටීමට පසක් වන ආලෝකය සහ අවකාශය අවශ්‍ය වේ. නැතිනම්, කරන කතා සියල්ල වාගාලාපයන් පමණි….. දෙවැනි පුරවැසියන් ඔවුන්ගේ අනාගත සංවර්ධනයේ අත්‍යවශ්‍ය කොන්දේසි සඳහා සටන් කිරීමට දරන ප්‍රයත්නයෙන් ඔවුන් වළක්වාලීමට හෝ ජාත්‍යන්තර දෘෂ්ටි කෝණයෙන් ජාතික ස්වාධීනත්වය ඉතා ද්විතීයික කාරණයක් බව ඔවුන්ට ඒත්තු ගැන්වීමට අපට කිසිඳු අවස්ථාවක අයිතියක් නැත. ඊට පටහැනිව, ස්වාධීනත්වය යනු ඕනෑම පොදු ජාත්‍යන්තර ක්‍රියාවක පදනම ලෙස අප ගත යුතුයි. පෝලන්ත ජාතිකයින්ගේ ජාතිකවාදී උත්සාහයන්ට එරෙහිව සටන් කරන පුද්ගලයින් කවුද? ඔවුන් සමාජවාදීන් වන්නේ කෙසේද? විශේෂයෙන්ම අපට ඔවුන්ගේ ස්වාධීනත්වය සඳහා වූ නොබිඳිය හැකි. උත්සාහය අවහිර කිරීමට කිසිම හේතුවක් හෝ අයිතියක් නැත……. මේ අනුව, යුරෝපයේ එක හා සමාන පීඩනයට ලක්වන ජාතීන් දෙකක් සිටින බව මම විශ්වාස කරමි. ඔවුන්ට ජාත්‍යන්තරවාදීන් වීමට පෙර ජාතිකවාදී වීමට “අයිතියක් පමණක් නොව වගකීමක් ද ඇත ඔවුන් වඩාත් ජාතිකවාදී නම් ඔවුන් හොඳම වර්ගයේ ජාත්‍යන්තරවාදීන් වේ….” එදා 1882 දි කෞට්ස්කි මේ ප්‍රශ්නය වර නගන්නත් ඊට එංගල්ස් පිළිතුරු දෙන්නත් හේතු වූයේ එවකට යුරෝපයේ ඇතිවිය යුතුව තුබූ සංවර්ධනයට බාධාවක් ව තිබූ යුරෝපය පුරා පැතිර තිබූ ප්‍රධාන අධිරාජ්‍යයන් ත්‍රිත්ත්වය (ඔස්ට්‍රො හංගේරියන්, පර්සියන් හා ඉංග්‍රීසීන්) යි. එංගල්ස් එදා කියන්න උත්සාහ කළේ කුමක්ද? එනම්, විශේෂයෙන් පෝලන්ත හා අයර්ලන්ත ජාතීන් තම අයිතියක් වගේම තම වගකීමක් ලෙස තමන්ගෙ ජාතික නිදහස දිනා ඉදිරියට යන විට එක විටම අධිරාජ්‍යයන් තුනක් සෙළවෙන්නට ගන්නවා යන්නයි.
කුමාර් සහෝදරයාගේ ‘අනාගත වමේ වැඩ පිළිවෙළෙන්’ දෙමළාගේ නිදහස පිළිබඳ ප්‍රශ්නය හැලුනේ අහඹුවක් නිසාද අනිවාර්යයක් නිසාද? මාක්ස්වාදීන් ලෙස දේවල් දෙස බැලිය යුත්තේ ‘ඊට අයත් ඓතිහාසික පදනම’ සැළකිල්ලට අරගෙනය. ඒ අනුව, 2009 යනු ලාංකීය ශිෂ්ටාචාරයේ මගහැරිය නොහැකි ‘ඛණ්ඩනීය මොහොතක්’ සළකුණු කරයි. අපගේ මුලධාර්මික දේශපාලන විශ්වාසන්, අපගේ දේශපාලන න්‍යායික ස්ථාවරයන් හා අපගේ අනාගත දේශපාලන සැළසුම් දේශපාලනික පරීක්ෂාවට ලක්වන ඓතිහාසික දේශපාලන මොහොතක් 2009 අපට ගෙන ආවේය. කුමාර් සහෝදරයාගේ කතාව, එදා ඒ මොහොතේ අපරාධකාරී රාජ්‍යය විසින් දියත් කළ දමිළ ජන පීඩක වර්ග සංහාරයට උද්යෝගීව දායක වූ කුමන හෝ සංවිධානයකට අනාගත ලංකාව වෙනස් කිරීමේ වාම දේශපාලන දැක්මක් තිබේ යැයි විශ්වාස නොකරන ලෙස අවිඥාණිකව කළ අවධාරණයක් දැයි ඔහුගේ කතාව වඩාත් ඕනෑකමින් සවන් දුන් මට නිරායාසයෙන් සිතුණි.
උතුරේ දෙමළ ජනයාගේ නිදහස පිළිබඳ තවමත් ඉතිරි වී ඇති ප්‍රශ්නය පිළිබඳව අප විසින් නැවත මතු කළ “ජාතික ගැටළුව ගැන අත්‍යවශ්‍ය කතාබහක්” නම් යූටියුබ් සංවාදයේ පළමු න්‍යයික කතාබහ (https://leftwin.com/project/sri-lanka/) කුමාර් සහෝදරයාට වෙන් කළේ නිකම්ම නොවේ. කිරීමට අදහස් කරන කතාබහ පිළිබඳව පුබුදු සහෝදරයා මාර්ගයෙන් දැනුවත් කර මාස හතරකට වඩා ඇදී ගොස් ඊට දිනයක් හා වේලාවක් දා ගැනීමට ඔවුන් අතින් ප්‍රමාද වූයේද නිකම්ම නොවේ. අපගේ අවශ්‍යතාව හා කතාබහ කරන වපසරියේ දිග පළල ගැන පවා කුමාර් සහෝදරයා දැනුවත් කරන ලෙස පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් අප මිත්‍ර පුබුදු සහෝදරයාව අප විසින් දැනුවත් කළේද නිකම්ම නොවේ. එසේම සිය නායකයා සමග කළ කතාබහ ප්‍රසිද්ධ කරන්නේ කවදාදැයි දෙතුන් වතාවක් ම මිත්‍රශීලීව විමසූ පුබුදු සහෝදරයාට කතාබහ ප්‍රසිද්ධ කරන මොහොතේම යැවූවද ඒ ගැන සිය අදහස අද දක්වාම නොකීවේද, එමෙන්ම තමන්ටද විවාදාපන්න මාතෘකාවක් විශේෂයෙන්ම තම නායකයා සමග කළ කතාබහක් තමන්ගේ මෙන්ම තමන්ට අදාළ වෙනත් සෑම සංසිද්ධියක්ම තම සමාජ ජාලා එකවුන්ට්වල ෂෙයා කරද්දී පුබුදු සහෝදරයා ඇතුළු පෙරටුගාමී නායක සහෝදරවරු මෙම කතාබහ පමණක් මගහැරියේ ද නිකම්ම නොවේ. මේ සියලු දේට මේ ප්‍රශ්නය පිළිබඳව අපගේ මෙන්ම ඔවුන්ගේ ඉතිහාසය ද ඊට බලපානු ලබන බව අපගේ පිළිගැනීමයි. එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආර්ථික හා සමාජ ප්‍රශ්න වෙනුවෙන් හඬ නගන හා ඒවා වෙනුවෙන් පොර බදන ඕනෑම තැනකදී කොන්දේසි විරහිතව සහයෝගය හා අවශ්‍ය නම් ඊට හැකි පමණින් මැදිහත් වන අප දෙමළ ජනයාගේ නිදහස පිළිබඳ ජාතික ගැටළුව මගහැර යන ඕනෑම මොහොතකදී ඊටද කොන්දේසි විරහිතව අවශ්‍ය විචාරශීලී මැදිහත්වීම වෙනුවෙන් එදා මෙන්ම අදත් එසේම හෙට දවසේත් කුමන බාධක යටතේ වුව ඉදිරිපත් වන බවද සඳහන් කරන්නේ සහෝදරත්වයෙනි.
“ජනතාවගේ මිතුරන් හා සතුරන් කව්ද?” මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මහවැලි කේන්ද්‍රයේ දී සංවිධානය කළ සම්මන්ත්‍රණයේ කුමාර් සහෝදරයා කළ සම්පූර්ණ කතාව යූටියුබයෙන් නැරඹූ මට එකවර මතකයට ආවේ, දාහතේ විප්ලවයෙන් පසු සිය පක්ෂය හෙවත් බෝලෂෙවික් පක්ෂයේ 08 වැනි සම්මේලනයේදී එහි ප්‍රධාන ලේකම් මෙන්ම එහි නායක ලෙනින් විසින් කරන ලද සිය පක්ෂ සාමාජිකයින්ගේ අභ්‍යන්තරයේ ඇති ආත්මීය ජාතිකවාදය එළියට ඇද වැරෙන් පහර දී කළ ප්‍රසිද්ධ කතාවය. ඒ ෆින්ලන්ත ජනයාගේ කැකෑරෙන ජාතික නිදහස පිළිබඳ ප්‍රශ්නය පළමු හා හදිසි අවශ්‍යතාවක් ලෙස ගෙන(මේ මොහොතේ ෆින්ලන්ත ජනයා සිය රට තුළ තම නිදහස වෙනුවෙන් ගෙන ගිය උද්ඝෝෂණයද හදිසි අවශ්‍යතාවක් ලෙස ගැනීමට බලපෑවේය) සිය පක්ෂය වූ බෝලෂෙවික් පක්ෂය තුළ ඒ පිළිබඳ මතය විමසා බැලීමේ අභ්‍යන්තර කතා බහක්, විවාදයක් ලෙනින් විසින් ගෙන යන ලදී. එහිදී ට්‍රොට්ස්කි ගේ සිට (පසු කාලයේ ට්‍රොට්ස්කි මේ අදහස වෙනස් කළේය) බහුතර බෝල්ෂෙවික්වරු ෆින්ලන්තයට නිදහස දියයුතුය යන ලෙනින්ගේ දේශපාලන ස්ථාවරයට විරුද්ධව විරෝධය පෑහ. නමුත් ලෙනින් ඒ සියලු විරෝධයන් පසෙකට දමා ෆින්ලන්තයේ නිදහස ප්‍රකාශයට පත් කළේය. මේ පිළිබඳව සිය පක්ෂයේ ස්ථාවරයේ ඇති මහා රුසියානු (තමන්ද රුසියානුවෙක් වුවද) ජාතිකවාදී බව ලෙනින් සිය 8 වැනි පක්ෂ සම්මේලනයේදී ප්‍රසිද්ධියේ විවේචනය කළේය.
leftwin සගරාවෙන් උපුටා ගත්තනි.