IMF එකෙන් හම්බුවෙන මුදලට වඩා වැඩි මුදලක් මේ වසරේ සංචාරක කර්මාන්තයෙන් උපයලා තියෙනවා – තරිඳු උඩුවරගෙදර
විදුලි බිල අහස උසට ගිහිල්ලා . විදුලිබිල අඩුකරගන්න ආණ්ඩුවට. IMF කොන්දේසි අනුව අවසර නැහැ. හාල් ටික අතලොස්සක් ව්‍යාපාරිකයෝ ගබඩා වල හංගගෙන. ඒවා වෙළඳපොලට එන්නෙ නෑ. ඒ ව්‍යාපාරිකයෝ එක්ක හැප්පිලා හාල් ටික වෙළඳපොලට ගේන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ. ආණ්ඩුව බලයට පත් කළේ මහජනයා නමුත් අපේ ආණ්ඩුව කිව්වට ආණ්ඩුව සුරවන්නේ වෙනම පිරිසක් යැයි ජන අරගල සන්ධානයේ ජාතික විදායක සභික තරිදු උඩුවරගෙදර පවසයි.
අනුරාධපුරෙන් කොළඹ සරසවියට ගිය ළමයෙක් අන්න අද ගිණුම් කරණ ක්ෂේත්රයේ රැකියාවක් කරනවා. වැටුප රුපියල් 15,000යි. ඒ කම්පැණියේ අයිතිකාරයා තමයි ආණ්ඩුවට ආර්ථිකය ගැන උපදෙස් දෙන දුමින් ද හුලංගමුව. මිනිස්සු ජාජබයට ඡන්දය දිලා අපේ ආණ්ඩුවක් පත්කර ගත් බව උඩුවරගෙදර පැවසීය.
ඔහු එසේ පැවසුවේ ජන අරගල සන්ධානය මගින් සංවිධානය කළ IMF මර උගුලෙන් එළියට ද? ඇතුළටද?යන මැයෙන් දෙසැම්බර් (30) වන දා අනුරාධපුරයේ පැවති සම්මන්ත්‍රණය ආමන්ත්‍රණය කරමින්ය
උඩුවරගෙදර මෙසේ ද පැවසීය.
හැබැයි අද ආණ්ඩුව මොකද කරන්නෙ ? . විදුලිබිල අහස උසට ගිය වෙලාවක්. විදුලිබිල අඩුකරගන්න බැහැ ආණ්ඩුවට. IMF කොන්දේසි අනුව ආණ්ඩුවට ඒකට අවසර නෑ. හාල් ටික අතලොස්සක් ව්‍යාපාරිකයෝ ගබඩාවල හංගගෙන. ඒවා වෙළඳපොලට එන්නෙ නෑ. ආණ්ඩුවට හැකියාව නෑ ඒ ව්‍යාපාරිකයෝ එක්ක හැප්පිලා හාල් ටික වෙළඳපොලට ගේන්න. එතකොට පැහැදිලි මේ අපේ ආණ්ඩුව කිව්වට ආණ්ඩුව හසුරවන්නේ වෙනම පිරිසක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9ක ණයක් අපිට දෙන්නේ. ඒ අවුරුදු 4ක් අතුලත කඩින් කඩ. මේ අවුරුද්දේ සංචාරක කර්මාන්තයෙන් අපි ඒ ප්‍රමාණය හොයල ඉවරයි. ඒ දෙන ඩොලර් බිලියන 2.9 වෙනුවෙන් 2025 අයවැයට කොන්දේසි විශාල ප්‍රමාණයක් දාලා තියෙන්නේ. ඒ සියල්ල තියෙන්නේ ජනතාවගේ අයිතිවාසිකම් සුබසාධන කප්පාදු වෙන යෝජනා.
ලංකාව 17 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. රනිල් කියනවා අපි IMF ගියාට ඒ නිර්දේශ සම්පූර්ණ කලේ නැහෑ. ඒක තමයි අර්බුදයට හේතුව කියලා. නමුත් මීට කලින් අපි IMF ගිය 9 වතාවකින් 6 වතාවක් IMF කොන්දේසි සම්පූර්ණ කලා. හැබැයි රටේ ආර්ථිකය ඉස්සරහට ගියේ නෑ. රාජ්‍ය ආයතන ගණනාවක් පෞද්ගලිකකරණය කලා. ඒ IMF කොන්දේසි එක්ක. නමුත් දැන් ඒ සමාගම් බොහෝමයක් තිබුණ මට්ටමිනුත් පහලට කඩං වැටිලා.
අපි වගේ දුප්පත් රටවල් කොල්ලකන්න ලෝකයේ මහාපරිමාණ සමාගම්වලට අවස්ථාව දෙන ව්‍යාපෘතිය තමයි IMF එක කරන්නේ. ලංකාව වගේ රටවල ආර්ථික වර්ධනය පහල මට්ටමක තියෙද්දි තමයි ඒ ව්‍යාපාරිකයන්ට විශාල ලාභයක් උපයන්න පුලුවන්. එතකොට තමයි ඉන්දියාව ඇමරිකාව වගේ රටවලට ඔවුන්ගේ උපායමාර්ග අනුව අපේ රට පාලනය කරන්න පුලුවන් වෙන්නේ.
කෝටි ගණං ණය අරගෙන මේ අනුරාධපුරේ යාන් ඔය ව්‍යාපෘතිය කලා. පවුල් දහස් ගාණක් අවතැන් වෙලා. ගෙවල්වලට අලි පනිනවා. ඒ ව්‍යාපෘතිය නිසා ජනතාවට වුණ සෙතේ ඒක. මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ජනතාවට ලැබුණෙ මොනවද ? ණය බර සහ අවතැන් වීම විතරයි. මේ සිස්ටම් එකේ තීරණ ගන්නෙ එහෙම. ව්‍යාපාරිකයන්ට ලාභ ගන්න ඕනම විනාශකාරී ව්‍යාපෘතියක් කරනවා. අන්න ඒ විනාශය කරන්න තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අදත් ලංකාවට ඇවිත් ඉන්නේ.
ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ උගුලේ වැටෙන්න එපා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වුණ ගිවිසුම අවලංගු කරලා. වහාම ණය තිරසරකරණ විශ්ලේෂණයක් රට ඇතුලෙ කරන්න. ජනතාවට හිතකර ණය තිරසරකරණ සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. ඒකට තමයි ජනතාව මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ.